පෝෂ්‍යදායී කැඳ වර්ග ටිකක් බොමුද? මෙන්න හදාගන්න ක්‍රම

කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක පෝෂ්‍යදායී දේවල් මඟ ඇරිලද? හම්බ කළා වගේ නෙමෙයි ශරීර සුවතාවය ගැනත් හිතන්න ඕනේ. දවසේ වේල් 3ට අමතරව හර්බල් ඩ්‍රින්ක් එකක් වගේ ගන්න තියනවනම් ඒක ගොඩක් වැදගත්. අද අපි ගෙනාවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් කැඳ වර්ග ටිකක්. බීලා අපිටත් රස කියන්න ඕනි හොඳේ. 

 

1. කොළකැඳ

කොළ කැඳ හදාගන්​න නම් අපිට බොහොමයක් කොළ වර්​ග ගන්න පුළුවන්. ඒ කියන්නෙ ගොටුකොළ,වැල්පෙනෙල, කරපිංචා, පාස්ලි, නීරමුල්ලිය මේ වගේ කොළ වලින් කැඳ හදන්න පුළුවන්. පොදුවේ කොළ කැඳ එකක් හදන හැටි කියන්නම්කෝ අද.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කැමති කොළ වර්ගයක් 
  2. සුදු හෝ රතු හාල් මිටක්
  3. සුදුළූණු බික් 5-6ක්
  4. ගාගත් පොල් කෝප්ප 2
  5. රස අනුව ලුණු

 

  • මුලින්ම කොළ ටික හො​ඳට හෝදලා මෝරපු දඬු තියේනම් අයින් කරගන්න. 
  • දැන් කො​ළ ටික පොඩියට කඩලා පොල් කෝප්ප භාගයක් හා වතුර ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරන්න. 
  • වෙනම භාජනයක් අරගෙන හාල් ටික හා සුදුළූණු දාලා තැම්බෙන්න තියන්න. හාල් තැම්බුනාම හදාගත්තු යු​ෂ ටික මිරිකලා දාන්න. ගාගත් පොල් ඉතිරි ටිකෙන් මිටිකිරි අරන් ඒකත් දාගන්න. හොඳට හැදි ගාගෙන,රස අනුව ලුණු දාගන්න.

 

2. මුංඇට කැඳ

මුං ඇට තම්බලා කන්න අකමැති පොඩි බබාලටයි ලොකු බබාලටයි ඔක්කොටම බොන්න මුංඇට කැඳ ගෙනාවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. තම්බාගත් මුං ඇට කෝප්ප 1
  2. පොල්කිරි කෝප්ප 2
  3. චොප්කරගත් සුදුළූණු බික් 2
  4. ලුණු රස අනුව
  5. චොප්කරගත් ඉඟුරු ටිකක්
  • තම්බාගත් මුං ඇට භාජනයකට දාලා හැන්දකින් පොඩි කරගන්​න. ඒ ටික පොඩි උනාම සුදුළූණු හා ඉඟුරු ටික දාලා ලිපේ තියන්න. පොල් කිරි ටික දාගෙන හොඳට හැඳි ගාන්න.රස අනුව ලුණු එකතු කර ගන්න.

 

3. සව් කැඳ 

ඇඟ නිවෙන්න කියාපු බීමක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සව් ග්‍රෑම් 100
  2. හකුරු බෑයක්
  3. මිටි කිරි කෝප්ප 1
  4. දියකිරි කොප්ප 1/2
  5. කුරුඳුපොතු, එනසාල්, කරාබුනැටි
  6. කජු ටිකක්
  7. රස අනුව ලුණු

 

  • සව් ටික හෝදලා තැම්බෙන්න තියන්න. තැම්බෙන අතරට ටික ටික හැඳි ගාන්න. මේකට එනසාල්, කරාබුනැටි සහ කුරුඳුපොතු කෑල්ලක් දාගන්න. මේක තැම්බෙන අතරට හකුරු ටික ග්‍රේට් කරගන්න. දැන් සව් ටික තැම්බුනාම හකුරු ටික එකතු කරගෙන හොඳට හැඳි ගාන්න.
  • හකුරු දිය උනාට පස්සෙ මිටිකිරි ටික එකතු කරන්න. කිරි මදි වගේ නම් දිය කිරි ටිකකුත් දාන්න. රස බලලා ලුණු දාගන්න. 
  • කිරි ටික උතුරනකොට ටික ටික ඝන මිශ්‍රණයක් හැදෙනවා. ඒ නිසා හොඳට හැඳිගාන්න කැටි වෙන්න නොදී. කජු ටික ටිකක් බැදලා අරන් සව් එකට දාගෙන රස බලන්න.

 

4. කිරි කැඳ 

කවුරුත් බොන්න ප්‍රිය කරන කැඳ එකක් තමයි මේ. දවසේ ඕනම වෙලාවක බොන්න පුළුවන් ඇඟ සිසිල් කරන පානයක්නේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුදු හාල් මිටක් පමණ
  2. සුදුළූණු බික් 8-10
  3. පොල්කිරි කෝප්ප 3ක්
  4. රස අනුව ලුණු 
  5. ගම්මිරිස් කුඩු 

 

  • හාල් ටික හෝදලා වතුර ටිකක් වැඩියෙන් ලිප තියන්න. ඒකට සුදුළූණු ටිකත් දාලා බත බෙරි වෙන්න වගේ උයාගන්න. වතුර ටික හිඳුනාම පොල්කිරි ටික එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. පොල්කිරි ටික නටනකල් හැන්දකින් කලවම් කරගන්න.
  • කැමතිනම් බත් ටික පොඩි කරගෙ​න කැඳ එක හදාගන්​නත් පුළුවනි. අවශ්‍ය අය උඩින් ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා බීමට ගන්න.

 

5. ඕට්ස් කැඳ

උදෑසන ආහාරයක් විදියට ඕට්ස් කියන්නෙ ගොඩක් ගුණ කෑමක්. ඕට්ස් අපිට කැමති විදියට හදාගන්න පුළුවන්. මෙන්න ඕට්ස් කැඳ හදන හැටි. මේක නම් හරිම ලේසියි හදාගන්න 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඕට්ස් ග්‍රෑම් 200
  2. පොල්කිරි කෝප්ප 2
  3. සුදුළූණු ටිකක්
  4. රස අනුව ලුණු

 

  • ඕට්ස් ටිකට වතුර ටිකක් දාලා ඒකටම චොප් කරගත් සුදුළූණු දාලා තැම්බෙන්න තියන්න. හොඳට තැම්බුනාම පොල්කිරි ටික දාල ටිකක් වහලා තියන්න. රස අනුව ලුණු දාගන්න.
  • කිරි ටික උතුරගෙන එනකොට ලිපෙන් බාලා හොඳට හැඳිගාන්න. ටිකක් නිවෙනකල්ම හැඳිගාන්න මොකද මේක කැටි ගැහෙන්න බලන නිසා. 

 

 

6. කොහිල කැඳ

මේවා කටු පිටින් ගිල්ලවන්න ඕනේ අයත් මේ පැත්තට ආවට කාරි නෑ ඕන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හො​ඳට පැහුණු කොහිල අලයක්
  2. සුදු කැකුළු හාල් මිටක්
  3. සුදුළූණු බික් 4-5
  4. පොල්කිරි කෝප්ප 2
  5. රස අනුව ලුණු

 

  • හාල් ටික සෝදලා අරන් වතුර ටිකක් දලා තැම්බෙන්න තියන්න. ඒකට කපාගත් සුදුළූණු ටික දාන්න. කොහිල ටික පොඩියට කපාගෙන වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් මේක අර හාල් මිශ්‍රණයට දාලා තැම්බෙන්න තියන්න. හො​ඳට තැම්බුනාම පොල් කිරි ටික එකතු කරලා රස අනුව ලුණු දාගන්න.

 

7. කුරක්කන් කැඳ

බර අඩු අයට වගේම නිරෝගීව ඉන්න කැමති හැමෝටම හොඳ උදේ වේලක් කියලා කියන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රතු හාල් මිටක් පමණ
  2. කුරක්කන් පිටි මේස හැඳි 6ක්
  3. පොල්කිරි කෝප්ප 2ක්
  4. එන්සාල් ඇට 2ක්

 

  • හාල් ටික වතුර වැඩියෙන් දාලා බෙරිවෙන ගාණට උයාගන්න. පොල්කිරි එකට කුරක්කන් පිටි ටික දාලා දියකරගන්න. එනසාල් ටිකත් එකතු කරගන්න. හොඳට බෙරි වෙන්න උයාගත් බත් එකට පොල්කිරි එක කලවම් කරගන්න. ලිප අඩු කරලා හොඳට හැඳිගාන්න.
  • රස බලලා ලුණු දාගන්න. උතුරගෙන එනකොට ලිපෙන් බාගන්න. හොඳට හැඳිගාන්න ඕන මොකද මේක කැටි ගැහෙන්න බලන නිසා. පැණි රසට ආස නම් සීනි ටිකකුත් එකතු කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *