ලිංගික සතුට නැති කරන සෙක්ස් ෆෝබියාස්

අද අපි කතා කරන්න යන්නේ බය හිතෙන කතාවක් ගැන. හැබැයි මේ බය හිතෙන කතා අහන්න ලැබෙන්නේ සෙක්ස් නිසා. දැන් ඕගොල්ලො හිතනව ඇති සෙක්ස් නිසා බය වෙන්න සිද්ධ වෙන්නේ සමාජ රෝග නිසා හරි එහෙම නැත්තන් අනියම් සම්බන්ධතාවක් රටට එළි වීම නිසා කියලා. ඔව් හැබැයි ඒවත් ඉතින් බය වෙන්න ඕන දේවල් තමයි. ඒත් මේ කියන්න යන්නේ සමහර ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව ඇතැම් අය තුළ පවතින අහේතුක බයවල් කීපයක් ගැන. බැලූ බැල්මට මේවා විහිළු වගේ පෙනුණාට මේවා විහිළු ම නම් නෙමෙයි. අත්දැකීම් නැති වුණාට මේ වගේ ෆෝබියාස්වලින් පෙළෙන අය අපි අතරම ඉන්න පුළුවන්. යම් කෙනෙක් හරි සමහරක් විට මේ ආටිකල් එක කිය​වන ඔයාම වුණත් මේ වගේ ෆෝබියා එකකින් පෙළෙනවා කියලා දැනෙනවනම් ඉක්මනින්ම මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහීම අනිවාර්යෙන්ම කරන්න. ඒ වගේම මෙහෙම ෆෝබියාවක් ඇතිවීම අසාමාන්‍ය තත්ත්වයක් විදිහට සලකන්න කිසිසේත්ම අවශ්‍ය නෑ, කියන එකත් මතක තියා ගන්න.

 

1. Ithyphallophobia

මේ ෆෝබියා තත්ත්වය Medorthophobia/Phallophobia යන නම්වලිනුත් හැඳින්වෙනු ලැබෙනවා. මේ ෆෝබියා තත්ත්වය පිරිමි පාර්ශවය වගේම කාන්තා පාර්ශවය තුළත් දක්නට ලැබෙනවා. මේ ෆෝබියා තත්ත්වය ඇති පුද්ගලයන් බිය වෙන්නේ ලිංගේන්ද්‍රය ප්‍රාණවත් වීම / ඍජුවීම පිළිබඳව. ඇතැම් කාන්තාවන් ජීවිතය පුරාවටම අවිවාහකව ඉන්නත් මේ තත්ත්වය බලපානවා.මේ ෆෝබියා තත්ත්වයෙන් පෙළෙන පිරිමි, ලිංගේන්ද්‍රය සෘජු වුණු වහාම පිරිසක් ඉදිරියේ ඉන්නවා නම් එම පිරිසෙන් සැඟවීමටත් උත්සාහ කරනවා. දරුණු ම තත්ත්වය වන්නේ මේ හේතුව නිසා ඇතැම් අය තමන්ගෙම  ලිංගෙන්ද්‍රයට හානි කරගන්න පෙළඹීම.

 

2. Medomalacuphobia

මේ ෆෝබියා තත්ත්වය අපි කලින් කතා කරපු Ithyphallophobiaවේ ප්‍රතිවිරුද්ධ තත්ත්වය. මේ ෆෝබියා තත්ත්වය නම් බලපාන්නේ පිරිමි පාර්ශ්වයට විතරයි. මේ ෆෝබියා තත්ත්වයෙන් පෙළෙන පිරිමින් ලිංගික ඇසුරකදී තමන්ගේ ලිංගේන්ද්‍රය ප්‍රාණවත් නොවේය යන බියෙන් පෙළෙනවා. අධික ලෙස මේ ෆෝබියා තත්ත්වයෙන් පෙළීම නිසා ඇත්තටම ඔවුන්ට ලිංගේන්ද්‍රය  සෘජු නොවීම සහ ක්ෂණික මෝචනය වැනි තත්ත්වයන් ඇති වෙනවා. නමුත් මෙවැනි ෆෝබියා තත්ත්වවලට මනෝ චිකිත්සක ප්‍රතිකාර වගේම ඖෂධ ප්‍රතිකාරයක් තිබෙනවා.

 

3. Gymnophobia

මේ ෆෝබියාවෙන් පෙළෙන අය නිරුවත් වීමට හා නිරුවත දැකීමට අති මහත් බියක් දක්වනවා. මේ ෆෝබියා තත්ත්වයන් ඇතිවීමට සමහර අවස්ථාවල ඔවුන්ගේ පවුල් පසුබිමත් බලපානවා. මෙවැනි අය දැඩි ලෙස ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කරනවා. සම්පූර්ණ අඳුරු කාමර තුළ ලිංගිකව එක්වීම මෙවැනි ෆෝබියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ට එය මගහරවා ගැනීමට ගැනීමට සිදු කළ හැකි එක උපක්‍රමයක්. නමුත් ඇතැම්විට මේ හේතුවෙන් සහකරුගේ හෝ සහකාරියගේ ලිංගික තෘප්තිය  නො ලැබී යන්න පුළුවන්. ඒ නිසා මෙවැනි අවස්ථාවල මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අතිශය වැදගත් වෙනවා.

 

4. Menophobia

මේ ෆෝබියාව කාන්තාවන් අතර සුලබ තත්ත්වයක්. ඒ ඔසප් වීමට ඇති බියයි. ඔසප් වීමේදී වෑහෙන රුධිරය දැකීම මේ බියේම එක්තරා තත්ත්වයක්. ඔසප් සමයේදී සිදුවන ශාරීරික සහ මානසික වේදනාවන් මේ ෆෝබියා තත්ත්වය ඇති වීමට එක හේතුවක්. මේ ෆෝබියා තත්ත්වය පිරිමින් අතරත් තියෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. නමුත් ඔසප් සමය තුළ තමන්ගේ සහකාරියව ප්‍රතික්ෂේප කරන්න ඇතැම් පිරිමින් පෙළඹෙන්නේ නොදැනුවත්වම ඔවුන් තුළ පවතින මේ ෆෝබියා තත්ත්වය නිසයි. 

 

5. Oneirogmophobia

මේ ෆෝබියා තත්ත්වය තරුණ පිරිමින් අතර සුලබ තත්ත්වයක්. තෙත් සිහින (wet dreams) දැකීම නිසා ස්වප්න මෝචනය ඇතිවීම හේතුවෙන් මොවුන් තුළ මේ ෆෝබියා තත්ත්වය ඇති වෙනවා. විශේෂයෙන් එහි දී ඇඳ ඇතිරිලිවල තැවරී ඇති ශුක්‍රාණු නිසා තම පවුලේ හෝ වෙනත් ද අයගේ සමච්චලයට ලක් වේය යන බිය නිසා මේ තත්ත්වය වැඩි වෙනවා. ඔබ වැඩිවියට පැමිණුනු දරුවන් සිටින දෙමව්පියන් නම් මෙය සාමාන්‍ය තත්ත්වයක් බව පැහැදිලි කිරීම මගින් ඔවුන් තුළ මෙවැනි ෆෝබියා තත්ත්වයන් ඇතිවීම ව​ළක්වා ගන්න පුළුවන්.

 

6. Erotophobia

මේ ෆෝබියාවෙන් නම් අපේ රටේ බොහෝ දෙනෙක් පෙළෙනවා ද මන්දා කියන ප්‍රශ්නේ ඇති වෙනවා. අද අපේ රටේ බොහෝ දෙනෙක් ලිංගික කියන වචනය ගෑවුණු ඕන දේකට බයයි. මේ නිසාම අපේ රටේ දරුවන්ට නිසි පරිදි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ලිංගිකත්වය හා සම්බන්ධ වුණු ඕනෑම දෙයකට ඇති බිය Erotophobia  නමින් හඳුන්වනු ලබනවා. 

 

7. Tocophobia

මේ ෆෝබියාවෙන් බොහෝවිට පෙ​ළෙන්නේ කාන්තාවන්. ගර්භනී වීම සහ දරුවන් ලැබීමේ දී ඇතිවන වේදනාව ගැන අහේතුක ව සිතන මේ ෆෝබියාවෙන් පෙළෙන අය ඒ හේතුවෙන් ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේකෙන් අදහස් කරන්නේ නෑ ඔවුන් දරුවන්ට ආදරය නොකරන අය කියලා. දරු ප්‍රසූතියේදී කාන්තාවන් මිය යෑම ගැන කම්පනය ගෙනදෙන අත්දැකීම් ලබපු පිරිමින් පවා මෙම ෆෝබියා තත්ත්වයෙන් පෙළෙනවා. මනෝ වෛද්‍යවරයෙකු හරහා මේ ෆෝබියා තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙය මගහරවා ගන්න පුළුවන්.

 

අපි වෙනදා වගේ කමෙන්ට් තීරුවේ ඔබේ අදහස් පළ කරන්න කියනවා වගේම මේ මේ ආටිකල් එක අනිවාර්යෙන් ශෙයා කරන්න කියන ඉල්ලීමක් අපි කරනවා.හේතුව ඔබ නොදන්නවා වුණාට මෙවැනි ෆෝබියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් ඔබේ මිතුරු ලැයිස්තුවේ ම ඉන්න පුළුවන්.මේ ආටිකල් එක දැකලා ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු වෙනවා නම් මේ ආර්ටිකල් එකේ පරමාර්ථය ඉෂ්ට වුණා කියලා අපි හිතනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *