කෑම ඩිලිවරි වැඩිවීම එක්ක වෙනස් වුණු ආහාර රටාව

කෑම එකක් අරං, ලබු කැටයක් අරං ඉස්සර අපේ මුතුන් මිත්තෝ පැල් ලගින්න ගියා. දුර ගමනක් යද්දිත් ලොකු බත් මුලක් අරං ගිහින් වතුර තියෙන තැනකින් දිගෑදිලා ඒක බුදින එකත් අපිට ලොකු දෙයක් නෙමෙයි. ඔය විදිහට කෑම අරං ගිහින් කන්න හුරු වුන අපිට ළඟකදී ඉඳන් ඒක ටිකක් වැඩියෙන් කරන්න වුණා. මොකද කොරෝනා වලින් වළකින්න ඇලීම් ගැටීම් අඩුවෙන් කෑම කන්න පුළුවන් විදිහක් තමයි කෑම ඩිලිවර් කරගැනීම කියන්නේ. ඉතින් ඔහොම ඇතිවුණ අලුත් කෑම ඩිලිවරි නිසා වෙනස්වුන ආහාර රටාවන් සහ සමාජ රටාවන් ගැන අපි ටිකක් සොයා බලමු.

 

1. ඩබ්බවාලා ඩිලිවරි

ගෙදර උයන කෑම වේල අපි ඉන්න ඔෆිස් එක දක්වා රැගෙන එන ඩබ්බවාලා ක්‍රමවේදය ඉන්දියාවේ මුම්බයි වල අති සාර්ථක කෑම ඩිලිවරි ව්‍යාපාරයක්. ඒකෙදි බයිසිකල් වලින් ගෙදරට ගොසින් එකතු කරගන්න කෑම වේල් වල මුලින් කේතයක් සඳහන් කරනවා. ඒ කේත හඳුනාගෙන අදාළ පාර්ශව දුම්රිය හරහා කෑම වේල ඔෆිස් එකට ඩිලිවර් කරනවා. මේ ක්‍රමයේදී එක මිලියනයකට අවස්ථා හතරකදී පමණයි වරදිනවා කියන්නේ. ඒ කියන්නේ සාර්ථකත්වය බොහොම වැඩි සිස්ටම් එකක්. මේ නිසා ඉන්දියාවේ මුම්බයි වල මේ සර්විස් එක ගන්න අයට ඔෆිස් එකේ ඉඳන් ගෙදරින් ලැබෙන කෑම වේල උණුවෙන්ම රස විඳින්න අවස්ථාව හමුවෙලා තියෙනවා. මෙය ලෝකේ ෆුඩ් ඩිලිවරි සිස්ටම් අතර පැරණි සහ විශ්වසනීය ක්‍රමවේදයක්.

 

2. ඉන් ස්ටෝර් ඩිලිවරි සහ තර්ඩ් පාටි ඩිලිවරි

පීසා කඩවල සහ ප්‍රසිද්ධ කඩවලින් ගෙදර දොරට කෑම ඩිලිවරි කරන එක කලක පටන් තිබුණ දෙයක්. ඒකෙදි එයාල කස්ටමර්ට තමුන්ගේම බයික් හෝ වාහන මගින් ගෙදරට කෑම ඩිලිවර් කළා. ඒත් ශාඛා රැසක් තියෙන ෆුඩ් චේන් වලට සහ පැතිරුණ බිස්නස්වලට හැරුණාම අනෙක් අයට තර්ඩ් පාටි අය තරම් හොඳ සේවාවක් මේ තමුන්ගේ ඩිලිවරි සර්විස් හරහා දෙන්න අමාරුයි. ඇරත් ඌබර් හෝ අනෙක් ඩිලිවරි සර්විස් වල වගේ ඇප් සේවාවන්, ඩිස්කවුන්ට් ආදියත් දෙන්න තමුන්ගේ ඩිලිවරි සේවාවකදි අමාරුයි. ඩිලිවරිවලට යන වියදමත් තර්ඩි පාටි ඇප්ස් වලදි අඩුයි. එක් ඩිලිවරිකරුවෙක් ගතහොත් ඇප් සේවාවකදි පැයකට කරන්න පුළුවන් ඩිලිවරි ප්‍රමාණයත් සාපේක්ෂව වැඩියි. ඒ නිසා කෑම කඩවලට ඇප්ස් වලින් ඩිලිවරි කරන එක තමුන්ගේම ඩිලිවරි සර්විස් තියාගන්නවාට වඩා ලේසියි ගොඩක් වෙලාවට.

 

3. හැම කෑමම ඩිලිවර් කරන්න පුළුවන්ද?

ෆ්‍රෙන්ච් ෆ්රයිස් හෙවත් හොඳට බැදපු අල පෙති හෙම ඩිලිවර් කරලා අපේ අතට එද්දි සීතල වෙලා ඉවරයි. තෝසයක්, පීසාවක් බාපු ගමන් පිච්චි පිච්චි කන ආතල් එකත් නැහැ ඩිලිවර් කළාම. ඉන්දියානු කෑම වේල් වලදි කෑම යුනිට් ගාණ හෙවත් එක කෑම වේලකට තියෙන අමතර කෑම වර්ග ගාණ වැඩියි. අපි සරලව හිතුවොත් අපිට හාමුදුරුවන්ට දෙන දානයක් වගේ එකක් ඩිලිවරි කරන්න පුළුවන්ද? කෝස් කීපයකට දෙන ආහාර වේලක් වන දානය ඩිලිවර් කරන්න අමාරු ඉලක්කයක්. විශාල පේපර් තෝසේ, ගෝදම්බ රොටි, කොත්තු රොටි හෙමත් අපි එවෙලේ කඩෙන් කනවාට වඩා ඩිලිවර් කළහම ඒකේ තියෙන පෙනුම වෙනස්. ඒත් බේකරි කෑම වර්ග, පීසා, හොට්ඩෝග්ස්, බර්ගර් වගේ ඒව නම් පෙනුම වෙනස් වන්නේ අඩුවෙන්. ඒ එක්ක ඩිලිවරි වලදි සවුත්තු නොවන කෑම වර්ග කොලිටිය, අඩු නොවන කෑම වර්ග වැඩිපුර ඩිලිවර් කෙරෙනවා.

 

4. කොරෝනා සහ කෑම රටාව

කොරෝනා පැතිරීමත් එක්ක මුලින්ම චීනයේ වුහාන් වල ලොක් වීම ඇරඹුණා. චීනය කියන්නේ ඔන්ලයින් ගෙවීම් පද්ධති දියුණු රටක්. එහෙදී මිනිස්සු ඔන්ලයින් ගෙවලා කෑම නිවෙස් වලටම ඇණවුම් කරගත්තා. අධික ලෙස කාර්යබහුල වූ කෑම ඩිලිවරිකරුවන් දොරින් දොරට කෑම බෙදුවා. ලංකාවෙත් මාර්තු අප්‍රේල් මාසවලදී කෑම බීම ගෙවල් වලට ඩිලිවරි කරන සේවාවන් ඉතා ඉක්මනින්ම ජනප්‍රිය වුණා. වෙනදා වගේ කෑම කඩ ඇරලා සාමාන්‍ය තත්ත්වයට එන්න ජුනි මුල් කාලේ වගේ ගත වුණ නිසා වෙනදා ඇප්ස් දිහා නොබලපු උදවියත් ඒවා හරහා කෑම ඇණවුම් කරන්නට හුරු වුණා. ඒ වගේම අලුතින් කෑම හදන බෙදන තැනුත් එකතු වුණා. කොරෝනා නිසා ගෝලීය වශයෙන්ම මිනිස්සු අහාර ඩිලිවර් සේවා වලට ඇති නැඹුරුව වැඩි වුණා.

 

5. චූන් පාන් ඩිලිවරි

මේක ලංකාවේ අපිට විශේෂ ඩිලිවරි ක්‍රමයක්. ලංකාවට එන විදේශිකයිනුත් මේ චූන් පාන් ගැන පුදුමයට පත් වෙලා තියෙනවා. ඒකෙදි බේකරි කෑම සහ වෙනත් කෑම ටිකක් හැඩට පේන වාහනයක දාලා මියුසික් එකක් එක්ක යනවා. ලංකාවේ ඉන්න කෙනෙක්ට නම් චූන් පාන් කියන දේ විස්තර කරන එකෙත් තේරුමක් නැහැ. කොහොම වුනත් පුංචි බේකරියක් අපේ ගේට්ටුව ගාවට එනවා වගේ හැඟීමක් මේ චූන් පාන් ඩිලිවරි වලින් අපිට ලැබෙනවා. චූන් පාන් ගන්න අයට නම් ඒ සද්දේ අවුලක් නැහැ. ඒත් අනෙක් අයට නම් විවිධ චූන් පාන් වාහන හැන්දෑවට, උදේට දාන සද්දේ නම් කණට කරදරයක්.

 

6. කෑම පිංතූර කලාව

කෑම කියන්නේ මීට විසි වසරකට වගේ පෙර අපි බොහෝවිට සුවඳින් සහ කටින් රස විඳින දෙයක් වුණා. ඒ යුගයේ කෑම ගැන දැන්වීම් ගියේ රූපවාහිනියේ විතරයි. පත්තර සහ රේඩියෝ වල දැන්වීම් ගියත් කෑම වල යථා ස්වරූපය ඒවා හරහා ලැබුනේ නැහැ. අද වෙද්දි කෑම කියන්නේ කන දෙයක් වගේම පොටෝ ගහලා බෙදාහදාගන්න දෙයක් බවටත් පත් වෙලා ඉවරයි. යූ ටියුබ් හරහා තියෙන කෑම චැනල් වලින් කෑම හදනවා වගේම කෑම රස විඳලා, “ආහ්… ම්ම්… නියමයි… උහ්” කියලා කෑම රසවිඳින එක බලන්නත් වෙනමම කණ්ඩායමක් පුරුදුවෙලා ඉන්නවා. ඒ වගේම ඉන්ස්ටා වල ෆිල්ටර් හරහා කෑම අපි ඇත්තටම දකිනවාටත් වඩා ඇහැට, මොළයට කික් එකක් ලැබෙන විදිහට අපිට පෙන්නුම් කරනවා. මේ පිංතූර සහ වීඩියෝ හරහා රස කෑම වලටත් වඩා පෙනුම වැඩි කෑම අපිට සමීප කරනවා. ෆුඩ් ඩිලිවර් සේවාවන් වලදිත් කෑම සහ කඩ රේටින් වලින් යම් තැනක් ලැබුණත් කෑම වල පෙනුමටත් ලොකු අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම යූ ටියුබ්, ඉන්ස්ටා ආදී කෑම ප්‍රදර්ශනයට ඉඩ ලැබෙන අන්තර්ජාල අවකාශ නිසාත් අපි දැකලා ලොබ බඳින කෑම එවෙලේම ඕඩර් කරගන්න පුළුවන් කියන හීනය සැබෑකරගන්නත් අද ඩිලිවරි සේවා නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා.

 

7. කෑම ඩිලිවරි ජීවිත

කෑම ඩිලිවරි එක්ක ඇතිකළ නව සංස්කෘතියේ අලුත්ම අංගයක් විදිහට කෑම ඩිලිවරි කරන පුද්ගලයින් පිරිසක්ද අලුතින් බිහි වුණා. වෙනත් රැකියාවන් කරන ගමන් වුණත් කෑම ඩිලිවර් කරන්න ඕනි කෙනෙක්ට පුළුවන්. ඒ වගේම මෙතෙක් කල් වැඩක් නැතිව ඔහේ බලන් ඉන්නවා කියලා බැනුම් අහපු තරුණ ත්‍රී රෝද රථ රියදුරන්ගේ ගොඩට තව කෑම ඩිලිවරි කරන කොල්ලෝ තොගයකුත් එකතු වුණා. කොළඹ හොඳ කෑම තියෙන තැනක දැන් මේ ඌබර් ඊට්ස් සහ පික් මී ෆුඩ්ස් ඩිලිවරිකරුවන් සුලබ දසුනක්. විවිධාකාර පණ්ඩිතයින් මෙය මොන විදිහකට දැක්කත් මේ සේවාව මගින් අලුත් රැකියා අවස්ථා නිර්මාණය වුණා. හැන්දෑවට සෙට් වෙලා කන එක ගෙදර අයට ප්‍රායෝගිකව අපහසු නම් මේ විදිහේ හොඳ තැනකින් ඇප් එකෙන් බලලා කෑම ටිකක් ඕඩර් කරගන්නට දැන් පුළුවන්. ඒ වගේම කන්න උයන්න කම්මැලි සහ වෙලාවක් නැති ඕනි වෙලාවක අපේ ඇඟිලි තුඩින් ඇණවුම් ඇතුළු කරනකල් ඇප්ස් වල කෑම මග බලාගෙන ඉන්නවා.

 

මේ ආහා​ර ඩිලිවරි නිසා ඩිලිවරි වලට වඩාත් පහසු ආකාරයේ කෑම වැඩිපුර අලුතින් එකතු වීමේ තත්ත්වයක් නිර්මාණය වෙනවා කියලා එංගලන්තයේ මීඩියා වලින් අනාවරණය කරගෙන තිබුණා. ඔවුන්ට අනුව ඩිලිවරි කිරීමට පහසු කෑම වර්ග වැඩිපුර ජනතාවට සමීප කරවන්න ඒ අදාළ ඇප්ස් සහ කඩ ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒ අනුව ඉස්සරහට කෑම කියන්නේ දිවට රස විතරක් නෙමෙයි, ඇසට කැමරාවට හැඩට පේන, පහසුවෙන් ඩිලිවරි කරන්නත් පුළුවන් දෙයක් වේවි. අපේ බත්, මාලු පිනි, හොදි සහිත කෑම වුණත් ෆ්‍රෙෂ්වට සහ වඩාත් පහසුවෙන් ඩිලිවරි කරන්න පුළුවන් ක්‍රම සහ විධිත් ඉස්සරහට කරළියට ඒවි. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *