විවිධ තිරිඟු පිටි වර්ග සහ ඒ ඒ තිරිඟු පිටිවලින් හදන්න ගැළපෙ​න කෑම වර්ග ගැන දැනුවත් වෙමු!

තිරිඟු පිටි කියන්නේ විශාල ආහාර ප්‍රමාණයක් නිපදවන්න ගන්න මැජික් පිටි වර්ගයක්. මේ පිටි සාපේක්ෂව මිලෙන් අඩුයි. ඒ වගේම ඕනි තැනක මිලදී ගන්න තියෙනවා. ඒ නිසාම තිරිඟු පිටි කෑම ලොව පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මේ පිටි වර්ග රටවල් අනුව වෙනස් වෙනවා වගේම ඒ ඒ කෑම ජාති අනුව යොදාගන්නා පිටි වර්ගත් වෙනස් වෙනවා. අපි මේ පිටි වර්ග ගැන තොරතුරු ටිකක් සොයාබලමු. 

 

1. තිරිඟු සහ තිරිඟු කෙටීම 

තිරිඟු අපේ රටේ වැවෙන්නේ නැහැ. ඒ නිසා එහි ඇටය මොන වගේද කියලා අදහසක් ගොඩක් අයට නැහැ. හාල් ඇටයේ නිවුඩ්ඩ තියෙන විදිහට වඩා වෙනස් විදිහකට තමයි තිරිඟු ඇටයේ නිවුඩ්ඩ තියෙන්නේ. මේ තිරිඟු ඇටයේ තියෙන නිවුඩු කොටස් එක්කම සහ එය ඉවත්කරලා ආදී වශයෙන් දෙආකාරයකට පිටි කරගන්නවා. ඒ වගේම පිටි කොටන ආකාරය, කොටන ක්‍රියාවලියේදී නිකුත් වෙන තාපය වගේ කාරණා අනුවත් තිරිඟු පිටි වල ස්වභාවය තීරණය වෙනවා. අපේ රටේ මූලික වශයෙන් ප්‍රීමා කර්මාන්ත ශාලාවෙන් තමයි පිටි නිකුත් වෙන්නේ සෑහෙන කාලයක් තිස්සේ. ඒත් ඉන්දියාවේ එහෙම තිරිඟු වැවෙන නිසා අපිට හාල් එනවා වගේ විවිධ නම් වලින් පිටි වර්ග ඉන්දියානු වෙළඳපොලේ තියෙනවා. 

 

2. චක්කි ආටා පිටි 

ඉන්දියාවේ කෑම ජාති හදන්න ගන්න ඉන්දියානු මෝල් වල අඹරන තිරිඟු පිටි මේ නමින් හැඳින්වෙනවා. චක්කි කියලා හඳුන්වන්නේ ඉන්දියාවේ මේ තිරිඟු අඹරන්න ගන්න මෝල් විශේෂය. එහිදී තිරිඟු ඇටයට සිදුවන හානිවීම වැඩි නිසා පෝෂණ ගුණයේ යම් අඩුවක් තිබෙන බවක් තමයි කියවෙන්නේ. චක්කි ආටා පිටි කියන්නේ සම්පූර්ණ තිරිඟු ඇටයේ සියළු කොටස් අඹරලා හදන ආටා පිටි නැතිනම් තිරිඟු පිටි. මේ ආටා පිටි චපාති, රොටී, පූරි ආදී ඉන්දියානු ආහාර හදන්න ඉන්දියාවෙදි පාවිච්චි වෙනවා. 

 

3. ආටා පිටි 

නිවුඩ්ඩ ඇතුළත් විදිහට කොටපු හෝල් ග්‍රේන් වීට් ෆ්ලා (whole grain wheat flour) විදිහට හඳුන්වන පිටි තමයි ආටා පිටි කියන්නේ. මේක ඉන්දියාවෙන් ආපු නමක්. අපේ රටේ ප්‍රීමා එකේ පිටි එහෙම ආටා පිටි නම නැතිව හෝල් ග්‍රේන් කියලා කෙලින්ම සඳහන් කරලා තියෙනවා. මේ පිටි අපි හැමදාම දකින සුදුපාට පාන්පිටි වලට වඩා මද දුඹුරු පාටක් ගන්නවා. මේ පිටිත් ඉන්දියානු ආහාර හදන්න වඩාත් සුදුසුයි. පාන් බනිස් ආදිය හදන්න පුළුවන් වුණත් ඕල් පර්පස් පිටි තරම් ලොකු රසවත් බවක් නැහැ. 

 

4. ඕනම දේකට ගන්න පිටි

ඉංගිරිසියෙන් ඕල් පර්පස් වීට් ෆ්ලා (all purpose wheat flour) කියන්නේ මේ පිටි වලට. අපේ ගමේ හංදියේ කඩපිලේ, බේකරියේ ආදි හැම තැනම ඉතා බහුලව තියෙන්නේ මේ පිටි. මේ පිටි වල නිවුඩ්ඩ නැහැ. තිරිඟු ඇටයේ සුදු පැහැ කොටස  පමණක් කොටන නිසා මේ පිටි සුදු පාටයි. පෝෂණ ගුණය සාපේක්ෂව අඩුයි. මේ සුදුපාට පිටි ලංකාවේ අපිට කන්න දෙන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා කියලත් ජනකාන්ත මතයක් තියෙනවා. ඒත් මේ ඕල් පර්පස් ෆ්ලා කියන්නේ ලෝකේ වටේ ගොඩක් රටවල බේකරි වැඩවලට සහ පාන්පිටි කෑම හදන්න ගන්න පිටි වර්ගයක්. බේකරි වැඩ වලට මේ පිටි කදිමයි. 

 

5. පාන් හදන පිටි (Bread flour) 

ඉහළ මට්ටමේ වෘත්තීය බේකරිකරුවන් පාන් හදන්නට වෙනම පිටි වර්ගයක් යොදාගන්නවා. ඒ පිටි වල ග්ලූටන් අගය 13%කට ආසන්න වෙනවා. මේ පාන් හදන පිටි සුදුම පාට නැහැ, මද මඩ පාටක් තියෙනවා. මේ පිටි පාන් හදන්න වගේම රෝල්ස් හදන්න සහ පීසා වල යට කොටස වගේ දේවල් හදන්නත් යොදාගන්නවා. 

 

6. කේක්, පේස්ට්‍රි පිටි 

කේක් පිටි වල ග්ලූටන් අගය 7-9% අතර වෙනවා. මේ පිටි පාන් හදන පිටි වලට වඩා මෘදුයි. වර්ණයෙන් වඩාත් සුදුයි. මේ තිබෙන මෘදු ගතිය කේක් සහ පේස්ට්‍රි ආදියට වඩාත් ගැළපෙනවා. කේක් සහ කේක් ආශ්‍රිත නිෂ්පාදන වලට මේ පිටි යොදාගන්නවා. කේක් වල රස ගැන වඩාත් සැළකිලිමත් වෙන බටහිර රටවල මේ පිටි වර්ග පුළුල් ලෙස පාවිච්චි වෙනවා. 

 

7. සෙල්ෆ් රේසින් පිටි 

ස්වයංක්‍රීය පිටි විදිහට පරිවර්තනය කරන්න පුළුවන් වුණත් ඒ නමින් ඔබට වෙළඳපොලේ මිලදී ගන්නට, හොයාගන්නට මේ පිටි නැති නිසා සෙල්ෆ් රේසින් ෆ්ලා (self raising flour) කියන එක වඩාත් උචිතයි. සෙල්ෆ් රේසින් ෆ්ලා වලදි කේක් සහ පේස්ට්‍රි නිෂ්පාදන වලට ගැළපෙන විදිහට එහි බේකින් සෝඩා, බේකින් පවුඩර් සහ ලුණු ඇතුළත් කරලා තියෙනවා. මේ පිටි වල කොපමණ බේකින් පවුඩර් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවාද කියලා බලලා ගන්න එක කෝකටත් හොඳයි. මේ පිටි වලින් ගෙනා ගමන් ලේසියෙන් අපේ කෑම වර්ග හදාගන්න පුළුවන් වුණත් මේ පිටි ගෙනත් වැඩි කලක් නිරාවරණව තිබුණොත් මේ පිටි වල තිබෙන ඒ බේකින් ගුණාංග නැතිවෙලා යනවා. 

 

මේ පිටි වලින් ගුණදායක වැඩිම වර්ගය වන්නේ ආටා පිටි හෙවත් හෝල් ග්‍රේන් පිටි. ඒත් ඒ පිටි මිල ටිකක් වැඩියි. ඒ වගේම ඒ පිටි වලින් පේස්ට්‍රි, කේක්, පාන් නිෂ්පාදන හදන්න බැහැ. ඒ වගේම කේක් සහ පාන් වලට විශේෂ තිරිඟු පිටි වර්ග මිලදී ගත්තොත් ඒවායේ තිබෙන ග්ලුටන් නිසා අපේ බේකරි නිෂ්පාදන රසයෙන් වගේම පෙනුමෙනුත් හොඳට හදාගන්න පුළුවන්. ඉතින් කෑම වර්ග හදන්න සුපිරි වෙළඳසැලට ගිහින් පාන් පිටි තෝරද්දි අදාළ පිටි මොනවාද ඒ කියන සරළ අදහසක් ඔයාලට මෙයින් එන්නට ඇති. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *