අලුත් අත්දැකීම් එකතු කරන ලෝකයේ සුන්දරම නගර

නගරවල සිටින අයට තවත් නගරයකට ගොස් නැරඹීමට යමක් තිබේද? සත්තකින්ම ඔව්. ලංකාවේ ඉන්දියාවේ වැනි රටවල නාගරික වටපිටාවන් ඇස් වලට එතරම් ආකර්ෂණීය නොවන දර්ශන වලින් පිරුණු, තනිකර මිනිස් හිස් ගොඩක්. ඒත් කලක පටන් ඉතිහාසයේ පැවත එන සැලසුම් සහගත නගර කියන්නේ නරඹන්න, විඳින්න සංචාරකයින් ලොව නන්දෙසින් ඇදී එන තැන් බවට පත් වෙලා. ඉතින් අපි ඒ වගේ ආකර්ෂණීය නගර කිහිපයක් ගැන තොරතුරු බලමු.

 

1. ඉතාලියේ වැනීසිය

ඉතාලිය ලොව සුන්දරම නගර රැසක හිමිකාරිනියකි. මිලානෝ, රෝම්, ෆ්ලොරන්ස් ආදී නගර ඉතාලියට එක් කරන්නේ ආඩම්බරයකි. ජලයෙන් යට වී ඇති වැනිසියේ ඉපැරණි ගොඩනැගිලි සහ මාර්ග වල ධාවනය වන ගොන්ඩෝලා බෝට්ටු වල නැගී වරක් හෝ ගමන් කිරීමට සංචාරකයෝ ආශා කරති. එම නිසාම වැනීසිය කලක් ඕවර් ටුවරිසම් එනම් සංචාරකයින් අධික වීම නිසා ගැටළුවලට මුහුණ පා තිබුණි.

 

2. ප්‍රංශයේ පැරිස්

ප්‍රේම කරන අයට සුදුසු වටපිටාවක් යැයි සැළකෙන පැරිස් නගරය ජීවමාන නගරයකි. එහි ඇති අයිෆල් කුළුණ එය නරඹන්නට යන අයට දැකගැනීමට ලැබෙන මහඟු ස්මාරකයකි. නූතන ප්‍රංශ නගරය මෙන්ම ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් පැරණි තාලයේ ගොඩනැගිලි, මාර්ග සහ නිර්මාණ පැරිස් නගරය පුරා විහිදී පැතිරී තිබේ. පැරිස් නගරය ඓතිහාසික මෙන්ම නූතන නගරයක් නිසා නූතන විනෝදාස්වාද අංගද පැරිස්හි පහසුවෙන් හමුවේ. අවන්හල්, ක්ලබ්, සංගීත ප්‍රසංග, උත්සව ආදිය නිතරම පැරිස් නගරය බලන්නට එන සංචාරකයින්ට අලුත් අත්දැකීම් එකතු කරයි.

 

3. ඉන්දුනීසියාවේ යෝග්‍යාකර්තා

ජකර්තා පිහිටා ඇති ජාවා දූපතේම ඇති යෝග්‍යාකර්තා යනු ඉන්දුනීසියාවේ පැරණි නගරයකි. ලන්දේසි යටත්විජිත සමයේදී පවා යෝග්‍යාකර්තාවේ සිටි කුමාරවරු වෙනමම පාලනයක් ගෙන ගියහ. එම නිසා පැරණි මාළිගා සිහිවටන නගරය පුරා විසිරී තිබේ. ජකර්තා, සුරබයා ආදී නගරවල ඇති කළබල ගතිය නැති යෝග්‍යාකර්තාව ඉන්දුනීසියාවට ඇදී එන සංචාරකයින් ආකර්ෂණය කරගනී. ඒ ආසන්නයේ ඇති බෝරොබුදුර් සහ ප්‍රම්බන් ආදී ඉපැරණි පුරාවිද්‍යාත්මක සිහිවටන නිසා කුඩා නගරය තවත් ජනප්‍රිය වී තිබේ.

 

4. ඉන්දියාවේ ජයිපූර්

ඉන්දියානු නගර යනු සාමාන්‍යයෙන් ශබ්දයෙන් ජනයාගෙන් පිරී ගිය අපිරිසිදු වටපිටාවක් සහිත නගර වේ. එහෙත් රාජස්තානයේ අගනුවර වූ ජයිපුර් සැලසුම් සහග නගරයකි. එහි සංචාරකයින්ට බලාගන්නට හැකි පැරණි රජවාසල් සිහිවටන රැසකි. දැඩි හිරු රැසින්, කාන්තාර වටපිටාවකින් වසරේ වැඩි කාලයක් තිබෙන මුත් ජයිපූර් ඉන්දියාවේ ඇති සුන්දර නගරයකි. දිල්ලියේ සිට කිලෝමීටර 200ක සීමාවෙන් පිහිටා ඇති ජයිපූර් ඉන්දියාවේ රාජස්තානයේ ඇති රන් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන සංචාරක ස්ථාන අතරින් එකකි.

 

5. එංගලන්තයේ එඩින්බරෝ

කුඩා මංමාවත්, ඉපැරණි ගොඩනැගිලි සහ සංසුන් වටපිටාවක් ඇති එඩින්බරෝ අපව පැරණි එංගලන්තය කරා රැගෙන යයි. ආතර් රජතුමාගේ මාළිගාව, බලකොටු සහ ස්මාරක රැසක් එඩින්බරෝ හි දැකගන්නට තිබේ. පැරණි බලකොටු සහ ස්වාභාවික කඳු ශිඛර ඇති එඩින්බරෝ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ අගනුවර ලෙස ඇති සුන්දරම නගරයකි.

 

6. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි

සුප්‍රකට ඔපෙරා හවුස් නිසා ජනප්‍රිය වන සිඩ්නි නගරය නූතන සක්‍රීය නගරයකි. එහි ඇති සිඩ්නි වරායත් ඒ වරාය පසෙකින් ඇති නගරයත් ඔස්ට්‍රේලියානු වාණිජ නගරයට වඩාත් සුන්දර දසුන් ඇතුළත් කරයි. සිඩ්නි නිව් සවුත් වේල්ස් ජනපදයේ අගනුවර වන අතර දැන් ශ්‍රී ලාංකිකයෝද රැසක් සිඩ්නි ආසන්නයේ ඔස්ට්‍රේලියානුවන් ලෙස පුරවැසි බව ලැබී ජීවත් වෙති.

 

7. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්

නගරයත් සමග මදක් ඈතින් අති කඳුවැටිය නගරයේ ඕනෑම තැනකට මැනවින් දර්ශනය වේ. ඒ හා සමානවම ආසන්නයෙන් සුන්දර වෙරළ තීරයද කේප් ටවුන් නගරයට සමීපය. කඳුවැටියත් වෙරළත් අතර මනරම් භූමියක පිහිට ඇති කේප්ටවුන් අප්‍රිකාවේ ඇති සුන්දරම නාගරික වටපිටාවකි. උසස් සංස්කෘතිය, මිත්‍රශීලී මිනිසුන් සහ අඩුමිල සංචාරක අත්දැකීම් නිසා කේප්ටවුන් ලොව වටා සංචාරකයින් ආකර්ෂණය වෙන කදිම නගරයකි.

 

සුන්දර නගර ඉදිකිරීමත්, ඒවා පවත්වාගෙන යෑමත් ලේසි පාසු කාර්යයක් නෙමෙයි. ස්වභාවික පිහිටීම අනුව යම් සුන්දරත්වයක් නගරයකට එක් වුණත් ඒ නගරවැසියෙන්ගේ, පාලකයින්ගේ සැලසුම් නගරයට එක් කරන්නේ තවත් ආලෝකයක්. නගරයක විඳින්නට තිබෙන එක් දෙයක් තමයි නගරයටම ආවේණික වූ සංස්කෘතික ජන ජීවිතය. ඉතින් ලෝකේ ලස්සන නගරයක් බලලා ඇත්දැකීම් විඳගන්න ආස අයට මේ ආටිකල් එක වැදගත් එක්ක වේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *