පලස්තීනයේ ශෝකාලාප​ය

මීට මාසයකට විතර කලින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් උත්සන්න වෙද්දී ලංකාවේ අපිත් සුපුරුදු විදිහටම දෙපැත්තට බෙදිලා මේ රටවල් දෙකට සහයෝගය පළ කරන්න පටන් ගත්තා (අපිට ඉතින් බෙදිලා මරාගන්න තියනවනන් වෙන රටක ප්‍රශ්නයක් වුණත් කමක් නෑනෙ) නමුත් ශ්‍රී ලංකා රජය සහ බොහෝ දේශපාලන පක්ෂ ගත්තේ පලස්තීනයට හිතවාදී ස්ථාවරයක්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. රාජ්‍යතාන්ත්‍රික වශයෙනුත් පලස්තීනය අපි අපේ මිතුරෙක් විදිහට සළකනවා, යුද්ධය පවතින අවස්ථාවේදී ඊශ්‍රායලය මගින් විවිධ අවි ආයුධ ලබාගත්තත් පලස්තීනය සමග පැවති මිත්‍රත්වයට එයින් බාධාවක් සිද්ධ වුණේ නැහැ.

ලයිෆි අපේ අද උත්සාහය පලස්තීන ගැටුම සහ පලස්තීනය පිළිබඳව යම්තාක් දුරකට ඔබව දැනුවත් කරන්න. මොකද සමාජ මාධ්‍ය ජාලය තුළ ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨත්වය ගැන ඕනතරම් ලිපි හුවමාරු වෙනවා. නමුත් පලස්තීනය සම්බන්ධයෙන් යහපත් සටහන් හුවමාරු වෙනවා අඩුයි. ඇතැම් පාර්ශව නම් කියන්නේ මේ දේ සිද්ධ වෙන්නේ සංවිධානාත්මකව කියලා. ඒ ගැන කතා කරන්න ගියොත් මේ ලිපියේ අවධානය වෙනතක යොමු වෙන හින්දා වැඩි දුරටත් ඒ ගැන අපි කතා කරන්නේ නැහැ.

 

 

1. ආගමික ගැටළුවක්ද?

ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක්. පලස්තීනයේ ජීවත් වෙන්නේ ඉස්ලාම් ආගම අදහන බැතිමතුන්. ලංකාවේ ඇතැම් අයගේ මතයක් තියෙනවා මේ ගැටුම ඇතිවෙන්න බලපාන්නේ ආගමික මතවාද වල තියෙන පරස්පරතාවය කියලා. ඒ මතය වැරදියි. මේක භූමිය සම්බන්ධ ගැටළුවක්. 19 වැනි සියවසේදී යුරෝපය පුරා ජාතිකත්වය පිළිබඳව අදහස් මතු වුණා. යුදෙව් ජාතික චින්තකයෙකු වන තියඩෝර් හර්සෙල් තමයි ලෝකය පුරා විසිරී හිටපු යුදෙව්වන් සඳහා පලස්තීනය පිහිටි භූමියේ රාජ්‍යයක් ගොඩනැගිය යුතුයි කියන අදහස මුලින්ම ඉදිරිපත් කරන්නේ. ඒ සඳහා ඔහු පාදක කරගන්නේ යුදෙව් ආගමික ග්‍රන්ථවල එන විශ්වාස කීපයක්.

 

 

2. සාමකාමී පලස්තීනය 

ඊශ්‍රායල් රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමට පෙර පලස්තීනය පිහිටි භූමියේ ඉස්ලාම් ජාතිකයන්, කිතුණු බැතිමතුන් සහ යුදෙව්වන් සාමකාමීව ජීවත් වුණා. ඇතැම් අවස්ථාවල මුස්ලිම් ජාතිකයන් තමන්ගේ යාච්ඤා මෙහෙයන් පවා සිද්ධ කළේ තම මිත්‍ර යුදෙව්වන්ගේ නිවාස තුළයි. එසේම අරාබි ජාතිකයන් තමන්ගේ දරුවන් යුදෙව් පාසල් කරා එව්වෙ ඔවුන් විනයානුකූල  ශික්ෂණයක් පාසල් පද්ධතිය තුළින් ලබා ගනු ඇතැයි යන අපේක්ෂාවෙන්. එසේම යුදෙව්වන් සහ ඉස්ලාම් බැතිමතුන් අතර  අන්තර් විවාහත් ඒ ප්‍රදේශයට සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බා.

 

 

3. ප්‍රශ්න වල ආරම්භය 

පළවෙනි ලෝක යුද්ධයේ අවසානය දක්වාම පලස්තීනය පිහිටි භූමි ප්‍රදේශය පාලනය කරන ලද්දේ ඔටෝමන් අධිරාජ්‍යය විසින්. එම යුද්ධය අවසානයේදී ඔටෝමන් අධිරාජ්‍යය බිඳවැටීමත් සමඟ එම ප්‍රදේශවල බලය බ්‍රිතාන්‍යයන්‍ට හිමිවුණා. ලෝකය පුරා බ්‍රිතාන්‍ය යටත් විජිතවල ඔවුන් අනුගමනය කළ බෙදා වෙන් කොට පාලනය කිරීමේ ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍යයන් විසින් පලස්තීනය තුළත් අනුගමනය කරනු ලැබුවා. එපමණකින් නොනැවතුණු ඔවුන් යුදෙව්වන්ව පලස්තීනය වෙත පැමිණ පදිංචි වීමට දිරිමත් කළා. මෙහි ප්‍රතිඵලය වූයේ 1939 පමණ වන විට යුදෙව් ජනගහණය පලස්තීනය තුළ ලක්ෂ තුනකින් පමණ වැඩි වීමයි.

 

 

4. 1948 යුද්ධය

පලස්තීනය පිහිටි භූමිය රාජ්‍යයන් දෙකකට බෙදා වෙන් කිරීමේ උත්සාහය අසාර්ථක වීමත් සමඟ ඊශ්‍රායලය සහ  අනෙකුත් අරාබි රටවල් අතර යුද්ධයක් ඇති වුණා. ඊශ්‍රායලය නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණු අතර පලස්තීන ප්‍රජාවට තමන්ගේ භූමියෙන් වැඩි කොටසක් අහිමි වුණා. ලක්ෂ 7කට අධික පලස්තීනුවන් ප්‍රමාණයක් ආරක්ෂාව පතා අසල්වැසි අරාබි රටවල් වෙත පළා ගියා.

 

 

5. ඉන්ටිෆාඩා

ඉන්පසුවත් වරින් වර භූමියේ අයිතිය වෙනුවෙන් ඊශ්‍රායලය යුධ වැදුණු අතර එම සෑම අවස්ථාවකම පාහේ අරාබි රටවල් සහ පලස්තීනය පරාජය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා. මේ මඟින් ඔවුන් තව තවත් තම භූමි ප්‍රමාණය වැඩි කර ගැනීමට සමත් වුණා. 1987 පළමු ඉන්ටිෆාඩා ලෙස හැඳින්වුණු නොසන්සුන්තාවයක් පලස්තීන වැසියන් අතර පැතිර ගියා. සිවිල් වැසියන් රැගත් කාර් රථයක් ඊශ්‍රායල ආරක්ෂක ට්‍රක් රථයක් සමග ගැටීමත් සමග විරෝධතා රැල්ලක් ආරම්භ වුණා. එපමණකින් නොනැවතුණු පලස්තීනුවන් විවිධ ප්‍රහාරයන් ඊශ්‍රායල් හමුදාව වෙත එල්ල කිරීමට කටයුතු කළා. ඊශ්‍රායලය විසින් නිර්දය ලෙස මෙම නොසන්සුන්තාවය මර්දනය කිරීමට කටයුතු කළා.

 

 

6. යුදෙව්වන්ගේ බලහත්කාර පදිංචිවීම් 

පලස්තීන පාලනයෙන් අල්ලා ගන්නා ලද බටහිර ඉවුරේ  ප්‍රදේශවල ඊශ්‍රායලය විසින් සංවිධානාත්මකව යුදෙව්වන් පදිංචි කිරීම සිද්ධ කරනු ලබනවා. ඊශ්‍රායල පලස්තීන සාම සාකච්ඡා ක්‍රියා මාර්ගයකදී ඇතිවන ප්‍රධානම අභියෝගය වන්නේ මෙයයි. මෙවැනි බලහත්කාර පදිංචිවීම් නිසා තම නිජ බිම අහිමි වූ පලස්තීනුවන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඊශ්‍රායලය අවධානයක් යොමු කරන්නේ නැහැ.

 

 

7. වැළකුණු සාම වෑයම 

වතාවන් කීපයකම සාම සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව 2000 වසරේදී අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ මැදිහත් වීමෙන් පලස්තීන නායක යසර් අරපත් සහ ඊශ්‍රායෙල අගමැති එහුඩ් බරක් අතර සාම සාකච්ඡා ආරම්භ වුණා. ආරම්භයේදී ධනාත්මක මට්ටමෙන් ආරම්භ වුණත් සුපුරුදු පරිදි එම සාකච්ඡා වටයත් අසාර්ථක වුණා. කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පවසන්නේ අනාගත සාම වෑයමක් සඳහා බිල් ක්ලින්ටන් සාම සාකච්ඡා වල උපදේශන භාවිතා කළ යුතු බවයි. අනතුරුව බුෂ්, ඔබාමා, ට්‍රම්ප් වැනි ජනාධිපතිවරුන් යටතේදීත් එම වෑයම සාර්ථක වුණේ නැහැ. අපි බලමු බයිඩන් ජනාධිපතිවරයාටවත් මේ පාර්ශව දෙක සාම සාකච්ඡා සඳහා ගෙන එන්න පුළුවන්ද කියලා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *