සරසවිය යනු ජීවිතයේ හමුවන සුන්දරතම තැනකි. ජීවිතයේ ජවය සහ ශක්තිය පිරිපුන් කාලයක් සරසවියේ ගත කරන සිසුන්ට ඒ අවට පරිසරය අධ්‍යාපනයට ලබා දෙන්නේ අමතර බලයකි. පාඩම් වැඩ කිරීමටද අවට පරිසරය පහසුවකි. අධ්‍යයන කටයුතු වලින් මදකට මිදී එළියට පැමිණි විට මනරම් දර්ශන, සිසිල් වාතය පිරුණු උද්‍යානමය හැඟීමක් දැනේ නම් එය අධ්‍යනය ලබන සිසුන්ට පහසුවකි. සරසවි යනු පොත් වල තිබෙන දැනුම වාචිකව සිසුන්ට ලබා දෙන ටියුෂන් වැනි වටපිටාවක් නොවේ. ඒවායේ සිසුන් පර්යේෂණ කරමින්, අධ්‍යයනයන්හි නිරත වෙමින් සකල ලෝකයාටම වැදගත් වන දැනුම උත්පාදන කිරීමේ කටයුතු වලද නිරත වෙති. ලෝක මට්ටමේ දී ලොව ඇති සුන්දරතම සරසවි මොනවාද? අපි ඒ ගැන මදක් සොයාබලමු.
1. රෝයල් රෝඩ්ස් විශ්ව විද්‍යාලය
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ පිහිටා ඇති මේ සරසවියට අයත් භූමිභාගය අක්කර 642කි. ඒ භූමිය තුළ බයිසිකල් පැදීම, ඇවිදීම, කඳුනැගීම ආදී ඉසව් වලට අවශ්‍ය ස්ථානද තිබේ. මෙය අතීතයේදී ගල්අඟුරු කැනීමේ ස්ථානයක් වී තිබේ. මෙහි පිහිටා තිබූ ඓතිහාසික ගොඩනැගිලි පසුකාලීනව සරසවියේ පරිශ්‍ර සඳහා යොදාගෙන තිබේ. සරසවිය තුළම ඩෝම් ලෙස සැකසූ නවාතැන් 147ක් සිසුන් වෙනුවෙන් විවෘතව තිබේ. සරසවියටම අයත් පෞරාණික ස්ථානයක් වන හාට්ලි පාක් ජාතික උරුම අඩවියේ මනස්කාන්ත උද්‍යානයක් සහ පෞරාණික ගොඩනැගිලි පිහිටා තිබේ . සරසවියේ එම මනරම් උද්‍යානය පළාතේ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදාගනී.
2. හොං කොං විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය
ජනාකීර්ණතම දූපතක් වන හොං කොං හි තාක්ෂණික විශ්ව විද්‍යාලය 1991 තරම් මෑත භාගයේ ඉදිවූවකි. එය සයුරට යාබදව දූපත්ද පිහිටි මනරම් භූමිභාගයක පිහිටා තිබේ. ඒ සරසවිය අක්කර 120ක් පුරා විසිරී පැතිරී පවතී.
3. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය
නූතන ඉංග්‍රීසි කතාකරන දියුණු ලෝකයේ ඉහළතම විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් 1096 තරම් ඈත කාලයේදී ආරම්භ වී තිබේ. එය දැනට ක්‍රියාත්මක වන ලොව පැරණිතම විශ්ව විද්‍යාලයක් වේ. ලොව මෑත කාලයේ කුමන අවුරුද්දක් සැලකුවද ඔක්ස්ෆර්ඩ් සරසවිය ලොව හොඳම විශ්ව විද්‍යාල අතරට එක්වී තිබේ. ලංකාවේ කීර්තිමත් දේශපාලකයින් දෙදෙනෙකු වන ලලිත් ඇතුලත්මුදලි මහතා සහ එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා ඔක්ස්ෆර්ඩ් හි උපාධිධරයෝය. ඔක්ස්ෆර්ඩ් හි සිසුන් පවසන ලෙසට ඒ සරසවි ජීවිතය යනු එයටම ආවේණික වූ චමත්කාරජනක ජීවිතයකි.
4. කේප්ටවුන් විශ්ව විද්‍යාලය – දකුණු අප්‍රිකාව
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් විශ්ව විද්‍යාලය අප්‍රිකාවේ ඇති මුල්පෙළේ සරසවියකි. එය කේප්ටවුමේ ඇති ඩෙවිල්ස් පීක් නිම්නයේ පිහිටා තිබේ. රන් සහ දියමන්ති සොයා දකුණු අප්‍රිකාවට ඇදුනු යටත් විජිත පාලකයෝ 1880දී කේප්ටවුන් විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට මුල පිරූහ. 2004 වනවිට 20,000ක සිසුන් පිරිසක් අධ්‍යාපනය ලැබුව කේප්ටවුන් සරසවිය අද වනවිට විවිධ අප්‍රිකානු ජාතීන් අධ්‍යාපනය ලබන සොබාසිරි සපිරි අවකාශයකි.
5. කේම්බ්‍රිජ් සරසවිය – එංගලන්තය
කේම්බ්‍රිජ් සරසවිය යනු අයිසෙක් නිවුටන්, චාල්ස් ඩාවින්, ස්ටීවන් හෝකින්ස් වැනි ලොව පතල විද්‍යාඥයින්ට පණ දුන් ලොව ඇති සුපිරිතම සරසවියකි. කේම්බ්‍රිජ් සරසවි විද්‍යාර්ථීන් 90ක් පමණ නොබෙල් තෑගි ලබාගෙන තිබේ. වර්ෂයේ සෑම කාලයකදීම මහජනයාට විවෘත කේම්බ්‍රිජ් හි පුරාතන උරුමයන් රැගත් කෞතුකාගාර 9ක් තිබේ. ඒ පුරාතන ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රමවලට තැනුණ ගොඩනැගිලි සහ ඉදිකිරීම් කේම්බ්‍රිජ් සරසවියට ගෙන එන්නේ අභිමානයකි.
6. ඔටාගෝ සරසවිය – නවසීලන්තය
දර්ශනීය නවසීලන්තයේ පිහිටා ඇති ඔටාගෝ සරසවිය නවසීලන්තයේ නගර 5ක මණ්ඩප පිහිටා ඇති විශාල සරසවියකි. එහි කවර මණ්ඩපයක් වුවද සිත්ගන්නාසුලු අයුරින් නිමවා තිබේ. 1871 දී ආරම්භ කෙරුණ ඔටාගෝ සරසවිය නවසීලන්තයේ පැරණිතම උසස් අධ්‍යාපන වටපිටාවකි. ඔටාගෝ සරසවියේ සිසුන් 20,000කට ආසන්න ප්‍රමාණයක් ඉගනුම ලබන අතර, එයින් 12,000ක්ම ගැහැණු සිසුන් වෙති.
7. ටරුඩන් විශ්ව විද්‍යාලය – මොරොක්කෝව
මොරොක්කෝව යනු අප්‍රිකානු මහද්වීපයේ ඉහළ කෙළවර පිහිටි කාන්තාරමය පරිසරයක් ඇති රටකි. මොරොක්කෝවේ මේ ටරුඩන් විශ්ව විද්‍යාලය ඒ කාන්තාරමය පරිසරයට ගැලපෙන ගෘහනිර්මාණ ශිල්පයෙන් අනූනය. එසේම මොරොක්කෝවේ පෞරාණික ගෘහනිර්මාණ ශීල්පීය කුශලතාවයන්ද ටරුඩන් ඉදිකිරීමේදී ලැබී තිබේ. යාබද ඇට්ලස් කඳුවැටිය සෑම ගොඩනැගිල්ලකටම පාහේ මැනවින් දර්ශනය වන පරිදි අභ්‍යන්තර උයන් වතු ආදියද ඇතුළත්ව මේ සරසවිය තනා තිබේ. එහි වාස්තු විද්‍යාත්මක යෙදීම් අනුව ස්වභාවික ආලෝකය ඇතුළේ ඇති දේශන ශාලා වලටද බාධාවක් නොවන පරිදි යොදාගත හැකි ලෙස නිමවා ඇත.
අධ්‍යාපන ආයතන සැලකීමේදී ඒවා වඩාත් දර්ශනීය අයුරින් නිමවීමට වාස්තු විද්‍යාඥයෝ උත්සාහ කරති. එසේම පෞරාණික වටිනාකම් ඇති ඇතැම් අධ්‍යාපන ආයතන වසර සියගණනක් තිස්සේ සිය තේජස ලොවට පෙන්වමින් සිසුන් රැසක් දායාද කර තිබේ. අධ්‍යාපනය ලබන්නේ කවර විෂයයක් වුවද, සෞන්දර්යෙන් අනූන බිමකදී අධ්‍යාපනය ලැබීම එක් අතකින් සිසුනගේ වාසනාවකි.
Cover Image Source – timeshighereducation.com
Leave a Reply