ටැටූ එකක් ගහන්න හොඳ සංකේතයක් තෝරගමුද? ඊට කලින් ඒ සංකේත වල තේරුම් දැනගමුද?

 ටැටූ එකක් ගහන එක ලේසි වැඩක් නෙවෙයි කියලා ගොඩක් දෙනෙක් කියන්නේ හේතු කීපයක් නිසා. සමහරු බයයි රිදෙයි කියලා. තව සමහරුන්ට ටැටූ ගහලා ගෙදර යන්න වෙන්නෙ නෑ, ටැටූ කඩේ නවතින්න තමයි වෙන්නේ. හැබැයි ඉතින් හැමෝම ගහන මකරයි, ගැරඬියයි, මඕරි රටා ටිකයි නැතුව වෙනස් විදියේ ටැටූ එකක් ගහන්න හිතන කෙනෙක්ට ඔය හැම එකටම වැඩියෙන් අමාරු කාරණාව තමයි තමන්ට ගැලපෙන විදියේ ටැටූ එකක් ඩිසයින් කරගන්න එක. එහෙම නැතිනම් එහෙම ඩිසයින් එකක් තෝරගන්න එක.

දැන් ඔය එක එක සංකේත ටැටූ කරන එක, එහෙම නැතිනම් ලොකු ටැටූ එකකට ඔය සංකේත ඈඳාගන්න පුරුද්දක් තියෙනවනේ. ඔන්න ඕක තමන්ටම විශේෂ ටැටූ එකක් හදාගන්න ගැලපෙනම උපායක්. හැබැයි ඉතින් ඒ ඒ සංකේත වල තේරුම් දැනගත්තොත් තමයි තමන්ටම ආවේණික සුවිශේෂී සංකේතාත්මක ටැටූ එකක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ආන්න ඒ කටයුත්තෙන් කොටසක් තමයි අපි මේ ඉෂ්ට කරලා දෙන්න යන්නේ. ඒ කියන්නේ ටැටූ වලට පාවිච්චි කරන්න පුළුවන් විවිධ සංකේත සහ ඒවල පුරාතනයේ ඉඳලා එන තේරුම් ගැන තේරුම් බේරුම් කරලා දෙන්නයි මේ යන්නේ!

 

1. Ankh

ඇන්ක්හ් කියන මේ සංකේතය ගොඩක් දෙනෙක් පරණම කාලේ කුරුසයක් කියලා හිතාගෙන හිටියත්, ඇත්තටම මේක ඊට වඩා පරණයි. ඊජිප්තියානු හියරොග්ලිෆික අක්ෂරයක් වෙන මේ සංකේතයෙන් ඇත්තටම කියවෙන්නේ “ජීවිතය” කියන එක. වෙන විදියකට කියනවා නම්, මේක තමයි ජීවිතයේ සංකේතය. ඉතාම දුර අතීතයක ඉඳලා ආපු මේ සංකේතයෙන් මූලිකවම ජීවිතය අදහස් වුනත්, මේකේ අර්ථය ඊටත් වඩා පුළුල් කියලා ඉතිහාසඥයෝ කියනවා. ඒ කියන්නේ පෘථිවිය මත අපි අදහස් කරන ජීවිතය වගේම, ස්වර්ගීයව හරි පාතාලයේ හරි සදාකල් පවත්නා අමරණීය ජීවිතයක් කියන එකත් මේ සංකේතයෙන් පෙන්නුම් කරනවා. ඒ වගේම ඔය අතීත ඊජිප්තියානුවෝ ඇන්ක්හ් සංකේතය පාවිච්චි කරලා තියෙනවා ආරක්ෂාව වෙනුවෙනුත්.

 

2. Triskelion

ට්‍රිස්කල්, ට්‍රිස්කේලියන් නැතිනම් ත්‍රිත්ව සර්පිලය කියලත් හඳුන්වන මේ අපූරු කෙල්ටික් සංකේතය සෑහෙන්න ටැටූස් වෙනුවෙන් භාවිතා වෙනවා දකින්න පුළුවන්. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් මේ ට්‍රිස්කේලියන් එකේ තියෙන සංකීර්ණ රටාව ටැටූ එකක් විදියට සුන්දර රටාවක් වීම. කොහොම වුනත් ට්‍රිස්කල් නැතිනම් ට්‍රිස්කේලියන් කියන නියෝලිතික යුගයේ ඉඳලා පැවත එන මේ සංකේතයේ පුළුල් අර්ථයන් ගණනාවක් තියෙනවා. මේ ට්‍රිස්කේලියන් කියන වචනේ හැදිලා තියෙන්නේ ‘කකුල් තුනක්’ කියන ග්‍රීක වචනයෙන්. ඉතින් එතන ඉඳන් මේ සංකේතයේ අර්ථය එක් එක් සංස්කෘතීන්ට අනුව, මිනිස්සුන්ට අනුව වෙනස් වෙනවා. හැබැයි මිනිහෙක්ගේ වර්ධනය මේ සංකේතයෙන් කියවෙනවා කියලා. ඒ වගේම උපත, මරණය, නැවතත් උපත කියන එක, එතකොට ආත්මය, මනස, ශරීරය කියන එක, අතීතය, වර්තමානය, අනාගතය කියන එක වගේ ඕනම ත්‍රිත්ව ලක්ෂණයක් ට්‍රිස්කේලියන් එකේ නිරූප​ණයට යොදාගන්නත් පුළුවන්.

 

3. Lotus 

 නෙළුම ගැන ඉතින් අපි හැමෝම දන්නවනේ. අපේ කලාවන් ඇතුලෙත් නෙළුම් මල සෑහෙන්න දකින්න ලැබෙනවා. හැබැයි ඔය ඉන්දියාව පැත්තේ හින්දු, තන්ත්‍ර වගේ ආභාෂයන් එක්ක ආපු මණ්ඩල ඇඳීම කියන එක තදටම දකින්න තියෙනවනේ. ඔන්න ඔය මණ්ඩල වල දකින්න ලැබෙන බලවත් සංකේතයක් තමයි පද්ම මණ්ඩල කියන්නේ. පද්ම කියන්නේන් නෙළුමටනේ. කොහොම හරි පෙරදිග සංකේත තමන්ගේ ටැටූ වලට කුලවද්දා ගන්න ආස කරන අයට පද්ම මණ්ඩලය කියන්නේ බොහොම සුන්දර සංකේතයක්. ශුද්ධ වූ පද්ම මණ්ඩලයේ අර්ථයන් අතරේ දිව්‍යමය සුන්දරත්වය සහ පාරිශුද්ධත්වය ඉස්සරහින්ම තියෙනවා. ඒ වගේම පද්මයේ පෙති දිග හැරීමෙන් සංකේතවත් කෙරෙන්නේ ආධ්‍යාත්මික අවබෝධය සහ ආත්මයේ විකසිත වීම කියලත් පුරාණයේ ඉඳලා කියවෙනවා. විශේෂයෙන්ම වජ්‍රයාන, මහායාන වගේ බෞද්ධ ධාරාවන් වලදී පද්ම සංකේතයෙන් කියවෙන්නේ කායා, වාචා, මනසා හෙවත් කය, වචනය හා මනස කියන තුනේ පාරිශුද්ධත්වය. මඩෙන් මතුවෙලා මඩ බිඳක් හෝ නොගෑවී සුපුෂ්පිත වෙන්නේ පද්මය කියන එක අමතක කරන්න එපා!

 

4. Eye of Horus

ඊජිප්තුව සහ ඊජිප්තු සංකේත ගැන උනන්දුවක් තියෙන අය අනිවාර්‍යයෙන්ම දැකලා තියෙන සංකේතයක් තමයි හෝරස්ගේ ඇස කියන්නේ. හෝරස් ඊජිප්තු දේව මණ්ඩලයේ බොහොම වැදගත් සහ පුරාණ දෙවි කෙනෙක්. ආකාශයට අධිපති දෙවියෝ කියලා හෝරස්ව හැඳින්වුවත්, හෝරස්ගේ බලපරාක්‍රමය එතැනින් එහා සෑහෙන දේවල් දක්වාත් පැතිරෙනවා. හෝරස් කියන්නේ ඊජිප්තුවේ ආරක්ෂකයා සහ පාලකයා කියලා ඊජිප්තු දේව කතන්දර වල කියවෙනවා. ඉතින් මේ හෝරස්ගේ ඇසෙන් නිරූපණය කෙරෙන්නේ එහෙමනම් ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාව, යහපත් සෞඛ්‍යය, රාජකීය බලපරාක්‍රමය වගේ දේවල් කියන එක වැරදි නැහැනේ. හැබැයි ගොඩක් ඉතිහාසය හදාරන අය කියන්නේ හෝරස්ගේ ඇසෙන් ඊට වඩා ගැඹුරු සංකේතාත්මක අරුත් නිරූපණය වෙනවා කියලයි. උදාහරණයක් විදියට කිවුවොත්, ඊජිප්තියානුවන්ගේ තිබුණු ගණිතමය දැනුම හෝරස්ගේ ඇසේ සංකේතයෙන් පිළිබිඹු වෙනවා කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඒ වගේම මේ සංකේතයේ මහා මායා බලයන් තියෙනවා කියන එකත් ඉස්සර ඉඳන් එන මතයක්. කොහොම හරි කෙනෙක්ට ආරක්ෂා සංකේතයක් විදියට හෝරස්ගේ ඇස ටැටූ කරගන්න පුළුවන්.

 

5. Tree of Life

ලෝක වෘක්ෂය, කල්ප වෘක්ෂය, ජීවන වෘක්ෂය වගේ නම් වලින් හැඳින්වෙන මේ සංකල්පය ගැන තේරුම් ගන්න හොඳින්ම පුලුවන් අර ඇවටාර්චිත්‍රපටිය බැලුවොත්. ඒකෙදී පෙන්නනවා යම් කිසි වර්ගයක පැවැත්ම සම්පූර්ණයෙන්ම බැඳිලා තියෙන මහා වෘක්ෂයක් ගැන. ඉතින් මේ ජීවන වෘක්ෂය කියන සංකේතයත් ඒ වගේ විශ්වීය තේරුමකින් යුක්තයි. එකක් තමයි ජීවන වෘක්ෂය කියන්නේ පවතින හැම දෙයක්ම එකට සම්බන්ධ කරන මහා ජාලයක් කියන අර්ථය. ඒ වගේම තමන්ගේ මුතුන් මිත්තන්, තමන්ගේ පවුල කියන දේවල් එකට යා කරන සංකේතයක් විදියටත් මේ ට්‍රී ඔෆ් ලයිෆ්ගන්න පුළුවන්. ඒ වගේම විශ්වීය බව, වර්ධනය සහ ශක්තිය වගේ කාරණාත් මේකෙන් සංකේතවත් වෙනවා කියලා කියන්න බැරි නෑ. එතනින් ගියහම අමරණීයත්වය සහ සොබාවදර්මය ඇතුළේ අපි ඇතුළු හැමදෙයක්ම කොයි තරම් තදින් සම්බන්ධ වෙලාද කියන එකත් මේ සංකේතයෙන් පෙන්වනවා කියලා සමහරු කියනවා.

 

6. Two Koi Fishes

‘කොයි’ කියලා පොදුවේ හඳුන්වන්නේ ජපානයේ මත්ස්‍ය වර්ගයක්. මේ මාලු බොහොම සුන්දර වර්ණයන්ගෙන් යුක්තයි. එතකොට මේ කොයි මාළු දෙන්නෙක් පීනන ආකාරයේ සංකේතයේ හැම වෙලේම මාලු දෙන්නා වර්ණ දෙකකින් යුතුයි. එක මාලුවෙක් ලා පැහැයක් ගන්නකොට අනික් මාලුවා තද පැහැයකින් යුක්තයි. ටිකක් කොයි මාළු දෙන්නාගේ සංකේතය දිහා බලාගෙන හිටියොත් අපිට තවත් සංකේතයක් මතක් වෙනවා. ඒ තමයි අර මාෂල් ආට් පංති වල එහෙම ඇඳලා තියෙනවා දකින්න පුළුවන් යින්ග් යැන්ග් සංකේතය. ඇත්තටම මේ සංකේත දෙක එකක් කියලා කිවුවත් වැරදි නෑ.

කොයි මාලු දෙන්නාගෙන් වාසනාව, සමෘද්ධිය වගේ සෑහෙන ලෞකික දේවල් සංකේතවත් වෙනවා. හැබයි කොයි මාලු දෙන්නගේ සැබෑ අර්ථය ගැඹුරුයි. ඒ තමයි විශ්වයේ හැම දෙයකම, හැම තැනකම පවතින ද්විප්‍රකාරත්වය. ඒක උදාහරණයකින් පැහැදිලි කළොත්, ආලෝකය සහ අඳුර කියන්නේ එකිනෙකට බැඳුණු ප්‍රපංචයන් දෙකක්. ඒ එකකට අනික නැතුව පැවැත්මක් නෑ. මේක තමයි විශ්වයේ සමබරතාවය.

 

7. Ensō

එන්සෝ කියන්නේ සෙන් බුදු දහමත් එක්ක ඇවිත් තියෙන බොහොම පාරිශුද්ධ සංකේතයක්. තමන්ගේ ජීවිතේ ආධ්‍යාත්මිකත්වය සොයා යන ගමන ටැටූ එකක් විදියට ගන්න කැමති කෙනෙක් මේ එන්සෝ සංකේතය තමන්ගේ ඇඟේ ටැටූ කරගන්නවා දකින්න පුළුවන්. එන්සෝ සංකේතය ගොඩක් වෙලාවට සැලකෙන්නේ සම්බෝධියේ චක්‍රයකියලා. හැබැයි මේක ඇත්තටම සම්පූර්ණ චක්‍රයක් නෙවෙයි. අර චීන අකුරු අඳින විදියට එක පින්සල් පහරකින් ඇඳපු චක්‍රයක්. බොහොම සරල සංකේතයක් විදියට බැලූ බැල්මට පෙනුනත්, එන්සෝ සංකේතයෙන් ශක්තිමත් බව, අලංකාරය, අභ්‍යන්තරයෙන් පැන නැගෙන අවංකත්වය වගේ බොහෝම දේවල් අර්ථ දැක්වෙනවා කියලා කියවෙනවා. ඒ වගේම එන්සෝ චක්‍රයෙන් සමස්ත විශ්වයත් සංකේතවත් වෙනවා කියලා ඇතැම් තැනක සඳහන් වෙනවා. ඒ වගේම එන්සෝ චක්‍ර සංකේතයෙන් අසම්පූර්ණත්වයේ සුන්දරත්වය නිරූපණය වෙනවා කියලත් සමහරු කියනවා. ඒක ඇත්තටම තේරුම් ගන්න පුළූවන් කථාවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *