ගැහැණු සහ පිරිමි ෂොපිං කරන හැටි

ෂොපින් කියන මාතෘකාව වැඩිපුරම කියවෙන්නෙ ගැහැණු පාර්ශවය ගැන කතා කරද්දි තමයි. හැබැයි ඒ කියන්නෙ පිරිමි ෂොපින් කරන්නෙ නැහැ කියලද? හපෝ මොන පිස්සුද? ඒ ඉස්සර. කාන්තාවන්ට හපන් දැන් ඉන්න පිරිමි ෂොපින් කරන්න ගියාම. ඇත්තටම පරම්පරාවල් වෙනස්වෙනවත් එක්කම වෙනස් වුණු තවත් එක දෙයක් තමයි මේ පිරිමි පාර්ශවය තුළ ෆැෂන් ගැන තියෙන උනන්දුව. දැන් කාලෙ පිරිමින්ට ඉස්සර අයට සාපේක්ෂව ෆැෂන් ගැන තියෙන දැනුම වගේම කැමැත්තත් ඉතාම ඉහළයි. ඉතින් ඉස්සර ගෙවල් වල තාත්තලා, පුතාලා ගෙදර අම්ම ගෙනැල්ල දෙන ඇඳුමක් ඇඳගෙන තමන්ගේ ඇඳුම් අවශ්‍යතාවය පිරිමහගත්තට දැන් පිරිමි අය ඇඳුම් වගේම පැළඳුම් අවශ්‍යතාවයන් පිරිමහගන්නත් හරිම කැමැත්තෙන් ෂොපින් කරනවා. ඉතින් අපිට හිතුණා ගැහැණු අයයි පිරිමි අයයි දෙගොල්ලෝ වෙන වෙනම ෂොපින් කරනකොට අනුගමනය කරන දේවල්, එහෙමත් නැත්තම් ඒ ෂොපින් කිරීමේ ආවේණික ලක්ෂණ ගැන ටිකක් කතා කරන්න. 

 

1. මිලදී ගන්න යන බඩුව ගැන

කාන්තාවන් ෂොපින් කරන්න ගියහම ගන්න යන බඩුව ඇරුණම අනික් හැමදේම එකක් නෑර බලනවනේ. කඩේ තියෙන මාල, වළලු, පර්ෆියුම්, අත්බෑග් වගේ හැම එකක්ම ලඟට ගිහිල්ල අතගාල හරි එන්න තමයි කාන්තාවෝ හුඟක් කැමති. ගන්න ඕනම එක අන්තිමේ හොයාගන්න බැරුව හරි, වෙලාව නැතුව හරි ගෙදර එන්න වෙන තැනටම මුළු කඩේම බඩු බලනවා. ඔන්න ඔය විශේෂ ලක්ෂණය නිසාම තමයි හුඟක් ඇඳුම් කඩවල්වල මහල් කිහිපයක් තියෙන අවස්ථාවන් වලදී කාන්තා ඇඳුම් ඉහළම මහලේ දකින්න තියෙන්නෙ. මොකද ව්‍යාපාරිකයෝ දන්නව ඔය පහුකරන හැම තට්ටුවක් ගානෙම ඔළුව දාල බලන්න කාන්තාවන් පසුබට වෙන්නෙ නැතිබව. ඒ බලන ගමන හස්බන්ඩ්ට, බබාලට හරියන ඇඳුමක්, පැළඳුමක් දැක්කොත් නොගෙන ඉන්නෙත් නැතිබව. 

හැබැයි මේ කාරණාවේදී පිරිමි හාත්පසින්ම වෙනස්. එයාල ෂොපින් යන්නෙ ගන්න තියෙන බඩුව හෝ දෙක ටක්කෙටම හිතේ තියාගෙන. කෙලින්ම ගිහිල්ල අදාළ තැන හොයාගෙන ඒ බඩුව හොඳට තෝරලා අරගෙන කල් ගතනොකර පිටත්වෙන්න තමයි එයාලා හැම වෙලාවෙම උත්සහ කරන්නෙ. 

 

 

2. මිලදී ගන්නා අයිතම ප්‍රමාණය

මේ කාරණේදිත් කාන්තාවෝ ඉන්නෙ ඉස්සරහින්. සාමන්‍යයෙන් එක ෂොපින් වාරයකදී ගන්න ඇඳුම් පැළඳුම් ප්‍රමාණය බැලුවහම කාන්තාවෝ වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න බව දකින්න පුළුවන්. ඒ හැබැයි මෙන්න මේ කාරණාවත් එක්ක. ගැහැණු අය හුඟක් වට්ටම් තියෙන භාණ්ඩ පස්සේ වගේම එක එක කූපන්පත්, දිනුම් ඇදීම් පස්සේත් යන ප්‍රමාණය වැඩියි. එයාල බලන්නෙ ගණන අඩුවෙන් බඩු ගොඩක් ගන්න.

හැබැයි පිරිමි අය ඒ දේවල් ගැන හොයන බලන අවස්ථා හරි අඩුයි. හැබැයි උවමනා වුණහම ගිහින් අවශ්‍ය දේ මිලදී ගන්නවා. ඒ නිසාම සාපේක්ෂව කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශවය වරකට මිලදී ගැනීම් කරන ප්‍රමාණය අඩු උනත් වියදම් කරන මුදලනම් ඉහළයි. 

 

 

3. වයස අනුව ෂොපින්

වයස ගැ,න හිතුවොත් කාන්තාවන් බොහොම අඩු වයසෙදි ඒ කියන්නෙ හරිහැටි හම්බකරන්නේවත් නැති වයස අවුරුදු 18,20 වගේ කාලේදී පවා ෂොපින් කරන්න ඉතාම උනන්දුයි. එතන ඉඳලා අවුරුදු 35 වගේ වෙනකන් එයාලා වැඩිපුරම කැමති දේවල් ලිස්ට් එකේ උඩින්ම මේ ෂොපින් කිරීම තියෙනවාමයි. හැබැයි පිරිමි අය ඇත්තටම ෂොපින් කරන්න ඇබ්බැහි වෙන්නෙ වයසින් වැඩිවෙනකොට. කාන්තාවන් ෂොපින් කිරීම අඩුකරන කාලය වෙද්දී තමයි පුරුෂ පාර්ශවය ෂොපින් පැත්තට ඇදිලා යන්නෙ. 

 

4. ගතකරන කාලය

සාමාන්‍යයෙන් එක ෂොපින් වාරයකදී ගතකරන කාලය සළකා බැලුවොත් ඒකෙත් ඉස්සරහින් ඉන්නෙ කාන්තාවන් තමයි තවම. ඒකට ඉතින් කලින් කියපු සියළුම බඩු පරීක්ෂා කිරීම, ගන්න අයිතම ප්‍රමාණය ඉහළ වීම, ඩිස්කවුන්ට් හොය හොයා කල්ගතකිරීම වගේම අවසානයේ මිලදී ගන්න බඩුවේ උනත් ප්‍රමිතිය, පෙනුම ගැන සැහෙන්න දේවල් හොයන එකත් ලොකු හේතුවක්.

පුරුෂ පාර්ශවය ෂොපින් කරන්න කලින් ෂොප් එකක් තීරණය කරන්නනම් යම් කාලයක් ගතකරනවා. මොකද එයාලා කාන්තාවන් වගේ කඩවල් කිහිපයක ඇවිදලා ඇඳුම් තෝරන්න වැඩි කැමැත්තක් නැහැ. ඒ නිසා හිතට හොඳ එක කඩයක් තෝරගෙන තමයි යන්නෙ. ගිහිල්ලත් පාර්කින් වගේ පහසුකම් ගැන හොයල බලන්න ලොකු වෙලාවක් ගතකළාට සාපේක්ෂව ෂොපින් කරන්න ගතකරන කාලයනම් බොහෝම අඩුයි.

 

 

5. ෂොපින් කරන වාර ගණන

කලිනුත් කිව්වනේ කාන්තාවන් එක වරකදී මිලදී ගන්න අයිතම ප්‍රමාණය ඉහළයි කියල. පිරිමි අය සාපේක්ෂව වරකදී මිලදී ගන්නෙ උපරිම අයිතම එකක් හෝ දෙකක් වගේ පොඩි ගාණක්. හැබැයි එකටත් හරියන්න එයාල එක කාලසීමාවක් ඇතුළේ ෂොපින් කරන වාර ගණනනම් කාන්තාවන්ට වඩා බොහොම ඉහළයි. මොකද කාලයක් තිස්සෙ ලැයිස්තු හදාගෙන ෂොපින් කිරීමක් හෝ දකින දකින දේ මිලදී ගැනීමක් එයාලගේ පුරුදු වල නැහැනේ. ඒ නිසා අවශ්‍ය දේවල් ගන්න ළඟ ලඟ ෂොපින් යන්න වෙනවා. 

 

 

6. බ්‍රෑන්ඩ් එක අනුව ෂොපින්

ඔන්න ෂොපින් සම්බන්ධ අනිත් ඔක්කොම කාරණා වලින් කාන්තාවන්ට පිටිපස්සෙන් හිටියට මේ බ්‍රෑන්ඩඩ් අයිටම්ස් එහෙමත් නැත්තම් ඉහළ සන්නාමයන්ගෙන් යුතු දේවල් පරිහරණයේදිනම් පුරුෂ පාර්ශවය ටිකාක් විතර ඉස්සරහින් ඉන්නවා. ඒකට ලොකු හේතුවක් මේ ක්‍රීඩා සම්බන්ධ කාරණා එක්ක ලොකු ලොකු සන්නාම කියවෙන ඒක. ඒ හරහා පිරිමි අය කාන්තාවන්ට වඩා ගොඩක් බ්‍රෑන්ඩ්ස් ගැන දැනුවත්. වරකට මිලදී ගන්න ප්‍රමාණය අඩු නිසාත්, වැය කරන මුදල ඉහළ නිසාත් ඔවුන්ට පහසුයි බ්‍රෑන්ඩ් එකක් තියෙන දේවල් තෝරාගන්න එක. 

 

 

7. ෂොපින් ගැන කතාබහ

ඔක්කොමත් හරි ෂොපින් ගැන කතා කිරීමේදී නම් පිරිමි පාර්ශවය ඉන්නෙ බින්දුවේ. මොන තරම් ෆැෂන් වලට ආස වුනත් එයාල ඒ දේවල් ප්‍රසිද්ධියේ කතා කරනවා දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. කාන්තාවන්නම් දෙතුන් දෙනෙක් සෙට් වෙන තැනක් වෙතොත් ෆැෂන්, ෂොපින් ගැන කතාවක් නොකර ඉන්නෙම නැහැනේ. හැබැයි පිරිමි අය පාඩුවේ ගිහිල්ලා ෂොපින් කරනවා මිසක් කලින් හෝ පස්සේ ඒ ගැන නෝ කතා තමයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *