පවතින තත්ත්වයත් එක්ක රැකියාවට යන ඔබ පරිස්සම් වෙන්නේ කොහොමද?

අවුරුදු දහයක් තිස්සේ බොහොම සාමකාමීව තිබ්බ අපේ මේ පුංචි රටට නොහිතපු වෙලාවක සිද්ධ උනේ දරාගන්න අපහසු ලොකූ ඛේදවාචකයක්. මේක ආගම්, ජාති භේද වලින් තොරව අපි හැමෝම ශෝක වෙන අවස්ථාවක්. ජීවිතවලින් වන්දි ගෙව්වේ, අනතුරට ලක් උනේ අපේම සහෝදර ජනතාව. හිටිගමන් අපිට අහිමි උනේ අපේ පුංචි රටේ අපි ආඩම්බරෙන් කතා කරපු සාමය. දෙමව්පියන්ගේ, ආදරණීයයන්ගේ හිතේ නිදහස. ඉස්සර වගේම පාරට බැහැපු තමන්ගේ අය ආයෙත් ගෙදර එනකන් අපිට හිතේ ගින්දරෙන් බලන් ඉන්න වෙලා. කලබල තවමත් ඉවර නැති නිසා පුළුවන් තරම් ගමන් බිමන් අඩු කරන එක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ. ජීවිතේ කොයි වේලාවෙද කියල කියන්න බැහැ තමයි. ඒත් කොයිකටත් ආරක්ෂාව වැදගත් නේ. හැබැයි එහෙමයි කියල රැකියාවට නොයා ඉන්නත් බැහැ. ඉතින් එදිනෙදා රැකියාවට යන්න මේ දවස්වල මඟ තොටට බහින ඔබ මෙන්න මේ කාරණා ගැන අවධානය යොමු කළොත් හොඳයි කියල මතක් කරන්න හිතුව අපි.

 

1. පොදු ස්ථාන වල ඒකරාශී වෙන්න එපා

Image Source – ecotreat.lk

නොයාම බැරි නිසා එදිනෙදා රැකියාවට ගියාට කමක් නැහැ. මොකද ඒකට වෙන කරන්න දේකුත් නැහැනේ. ඒත් ඉස්සර පුරුදු විදිහට පාරවල් වල රවුම් ගහන එක, ඔෆිස් එකේ යාළුවොත් එක්ක ෆන් එකට පොඩි රවුමක් යන එක, ලන්ච් අවුටින් යන එකනම් මේ දවස්වල සම්පූර්ණයෙන්ම නවත්තන්න වෙනවා. කොයි මොහොතේ නරක දෙයක් සිද්ධ වෙයිද කියල අපි කියන්න දන්නෙ නැහැනේ. ඒ නිසා සෙනඟ එකතු වෙන තැන් පුළුවන් තරම් මගහැරලා ඉන්න එක තමයි කරන්න ඕනේ. කට්ටිය එහෙම කොහේ හරි යන්න කතා උනත් ඔයාගෙ වගකීම තමයි තත්ත්වය මතක් කරල යාලුවොන්වත් වලක්වන එක.

 

2. පොදු ප්‍රවාහන සේවා භාවිතය හැකිතාක් අවම කරන්න

Image Source – thearchitect.lk

මේ කාරණය අදාළ වෙන්නෙ පහසුවට තමන්ගේ වාහනය ගෙදර හෝ පිටත තැනක නවත්තලා කෝච්චිවල, හයිවේ බස්වල වගේ රැකියාවට යන අයට තමයි. පහසුවට වඩා මේ දවස්වල වැදගත්ම දේ තමයි ආරක්ෂාව. පුළුවන් තරම් පොදු ප්‍රවාහන භාවිතය අවම කරන්න. පොදු ප්‍රවාහන සේවාවල සෙනඟ ඒකරාශී වෙන තරමට අනතුරක් සිදුවෙන්න, සිදුකරන්න තියෙන ඉඩකඩ වැඩියි.

 

3. සෑම විටම සැලකිලිමත් වෙන්න

Image Source – theslicedpan.com

පොදු ප්‍රවාහන භාවිතය අවම කරන්න කියල අපි කිව්වට හැමෝටම එහෙම කරන්නත් හැකියාවක් නැහැනෙ. අන්න ඒ අය වෙනදට වඩා ලොකූ අවධානයක් තමන්ගේ වටපිටාව ගැන යොමු කරන්න ඕනෙ. ටිකක් වේලාසන බස් හෝල්ට් එකට, ස්ටේෂන් එකට ගිහින් හරි සෙනඟ අඩු බස් එකක් කෝච්චියක් අල්ල ගන්න. වෙනදට ඉයර් ෆෝන් කනේ ගහගෙන සින්දු අහගෙන ගියාට දැන් ඊට වඩා ජීවිතේ බේරගන්න එක ගැන හිතන්න වෙනවා. වටපිටාවේ සිද්ධ වෙන දේවල් ගැන තමන්ට අදාළ හෝල්ට් එකෙන් බහිනකන්ම හොඳ අවධානයකින් ඉන්න. මේ දවස්වල දකින කොයි දේ ගැනත් සැකෙන් බැලුවට කමක් නැහැ. පාඩුවක් වෙන්නේ නැහැ.

 

4. පෞද්ගලික ප්‍රවාහන භාවිතයේදී

තමන්ගේ පෞද්ගලික වාහනයක ගමන් බිමන් යනව උනත් වෙනදට වඩා ප්‍රවේසමෙන්. හැකි තරම් වාහන ගැවසෙනව අඩු අතුරු මාර්ග පාවිච්චි කරන්න. වාහන පාර්ක් කරද්දී ටිකක් දුර පයින් යන්න උනත් වාහන අඩු තැනක් බලල පාර්ක් කරන්න. එහෙම පාර්ක් කරලා යද්දි තමන්ගේ නම සහ දුරකථන අංකය වාහනේ පේන තැනක ප්‍රදර්ශනය කරන්න කියල ආරක්ෂක අංශ වල විශේෂ ඉල්ලීමක් තියෙනවා. සැක කටයුතු වාහන අඳුරගන්න එක තමයි ඒකෙ අරමුණ.

 

5. අනන්‍යතාවය තහවුරු කරන්න

Image Source – newsfirst.lk

මේක රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. ඒ කියන්නෙ වරෙන්තුවක් නැතුව හදිසි පරික්ෂා කිරීම්, අත්අඩංගුවට ගැනීම් කරන්න පොලිසියට බලය තියෙනවා. මේ හදිසි නීතිය, ඇඳිරි නීතිය කියන කාරණා ගැනත් ටිකක් හොයල බලල දැනුවත් වෙන එකත් පුරවැසියන්ගේ වගකීමක් මේ වෙලාවේ.

ඉතින් මේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවේ මොන වෙලාවක කොහේ ගියත් මතක ඇතුව තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න පුළුවන් ලිපි ලේඛන ළඟ තියාගන්නනම් අමතක කරන්න එපා. ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ ගමන් බලපත්‍රය අනිවාර්යෙන් යන යන තැන අරගෙන යන්න.

 

6. පරණ පුරුද්දක් මතක් කරගමු

අපි තිස් අවුරුද්දක කුරිරු යුද්ධයකින් බැටකාපු ජාතියක්. 2009 අවුරුද්දට කලින් රැකියාවට, පාසලට හෝ මොකක් හරි කාරණාවකට පාරෙ තොටේ ගැවසුන අපි හැමෝම ඒ කාලේ පුදුම විමසීමකින් ජීවත් වුණ බව මතක ඇතිනේ. ඉතින් අකමැත්තෙන් උනත් අපිට ආයෙමත් ඒ පුරුදු මතක් කරගන්න වෙලා. නිකමට හිතල බලන්නකෝ අර කටුවාපිටිය දේවස්ථානයට එන මරාගෙන මැරෙන බෝම්බකරු. අපි ඒ කාලේ දැක්කනම් දෙපාරක් නොහිතා සැක කරනව නේද. හැබැයි දැන් අපිට ඒ දේවල් අමතකයි. මේ කලබල ඉවරවෙනකන්ම අයෙමත් දකින දකින දේ සැක කරන්න, ප්‍රශ්න කරන්න පටන් ගමු.

සැක කටයුතු ගමන් මළු, වාහන, විශේෂයෙන්ම සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් ගැන කවදාටත් වඩා අවධානය යොමු කරන්න. ඔබේ ඒ අවධානය තවත් ලොකු පිරිසකගේ ජීවිත ආරක්ෂා කරල දෙන්න පුළුවන්.

 

7. නොදන්න දේ ගැන කතා කරන්න එපා

Image Source -.islamicity.org

අන්තිමේ මෙන්න මේ කාරණයත් හුඟක්ම වැදගත්. සිද්ධ උනේ හුඟක් නරක දෙයක් තමයි. ඒත් ඒ කාරණා ගැන පසු විපරම් කරන එක අපි රජය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක යාන්ත්‍රණයට බාරදෙමු. පුරවැසියන් විදිහට අපේ කොටස පමණක් ඉටු කරමු. කිසිම වෙලාවක නොදන්න දේවල් ගැන අදහස් ප්‍රකාශ කරන්න යන්න එපා. “මේ ප්‍රහාරය කළේ මේ අයයි, මෙන්න මෙතනත් බෝම්බයක් තියෙනවලු” වගේ තහවුරු නොවුන කාරණා ගැන අදහස් ප්‍රකාශ කරන්න එපා. මොකද ඔබ නොහිතා කරන එහෙම ප්‍රකාශ නිසා නොදැනුවත්වම ලොකු කලබලයක් ගොඩනැගෙන්න පුළුවන්.

හැකි තරම් ඔබේ සහයෝගය ආරක්ෂක අංශ වලට ලබාදෙන්න. පරික්ෂා කිරීම්, ප්‍රශ්න කිරීම් ඔබට කරදරයක් උනත් රටේ ආරක්ෂාවට මේ වෙලාවේ හුඟක්ම වැදගත් වෙන කාරණා. ඔවුන් කරන්නේ රැකියාවකට එහා ගියපු මහඟු සේවයක්. ඒ සේවයට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබාදෙමු. මේ වෙලාවේ රටේ සාමය, ජනතාවගේ ආරක්ෂාව තමයි අපි හැමෝගෙම එකම ප්‍රාර්ථනාව.

නොහිතපු ලෙස අනතුරට පත්වුණ, ජීවිත අහිමිවුණ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් ලයිෆි අපේ හදපිරි ශෝකය ප්‍රකාශ කරනවා. මියගිය ඔබ සියළු දෙනා දෙව්මව් තුරුලේ සැතපේවා! අනතුරට පත්ව රෝහල් ගතවී සිටින ඔබ සියළු දෙනාට ඉක්මන් සුවය ලැබේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *