රබර් කියන්නෙ ඉතින් ඕන කෙනෙක් දන්න කියන දෙයක්නෙ. හැබැයි ඒ දන්න කියන රබර් ගැන නොදන්න කාරණා කීපයක් තමයි මේ කතා කරන්නෙ. ලංකාවෙ ප්‍රධාන අපනයන බෝග තුන වෙන තේ, පොල්, රබර් කියන ඒවගෙන් තුන් වන ස්ථානය දරණ බෝගය තමයි රබර් කියන්නෙ. මේ රබර් කර්මාන්තයෙන් ලංකාව ඇතුළත සෘජු හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ තුනකට වඩා ලබාදීල තියෙනව. ඒ කියන්නෙ ඉතින් කතා කරන්නම වටින මාතෘකාවක්නේ. එහෙනම් බලමුකෝ අපි මෙච්චරකල් කතා නොකළ රබර් කතාවේ අල ගිය මුල ගිය තැන් මොනවද කියල.
1. රබර් කියන්නෙ මොනවද?
මොනවටද ඇත්තටම මේ රබර් කියන්නේ? රබර් කිව්වම ඉතින් අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ රබර් පටි, ටයර්, මකන වගේ දේවල්නේ. හැබැයි රබර් කියන්නෙ ඊට එහා ගිය මහා විශාල පරිමාණයේ නිෂ්පාදන වලට පවා යොදාගන්න අමුද්‍රව්‍යයක්. තෙතමනය නොඅල්ලන සපත්තු, ස්විමින්ග් කැප්ස්, හෝස් වර්ග වගේ දේවල් නිෂ්පාදනය කරන්නෙත් රබර් වලින් තමයි. රබර් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ එක්තරා ගස් වර්ගයක කඳ කැපුමකට ලක් කරද්දී ලබාගන්න පුළුවන් සුදුපැහැති දියරයක් භාවිතා කරලා. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි ඒ ගහ හඳුන්වන්නේත් රබර් ගස් කියලමයි.
2. ඉතිහාසය
රබර් හොයාගැනීම සම්බන්ධයෙන්නම් විවිධ කතන්දර තියෙනවා. කැලයට ආහාර හොයන්න ගිය කාන්තාවක් කිරි ගලාගෙන යන ගහක් දැකල ඒකෙන් ටිකක් අරන් ඇවිල්ල මුල්ම රබර් භාවිතය පටන් ගත්ත කියල කියනවා. තව ක්‍රිස්ටෝපර් කොලොම්බස් 1490 දී ස්වදේශිකයන් පිරිසක් පොලාපනින ස්වභාවයෙන් තියෙන බෝලයක් පාවිච්චි කරලා සෙල්ලම් කරමින් ඉන්නවා දැක්ක කතාවකුත්, තවත් 1736 දී පේරු රාජ්‍යයට ගිය තාරකා විද්‍යාඥයෙක් පැණි වගේ ඇලෙනසුලු සුදු පැහැති දියර වර්ගයක් අරගෙන ආව බව කියන කතාවකුත් තියෙනවා.
කොහොම උනත් 1839 වර්ෂය වගේ වෙනකන්ම රබර් වලින් කාර්මික නිෂ්පාදනයන් කෙරෙනවා වගේ ප්‍රයෝජනයක් අරන්නම් නැහැ. Charles Goodyear අතින් අතපසුවීමකින් වුණු ක්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට තමයි රබර් වල දැනට ගන්න ප්‍රයෝජන ගැනීම ආරම්භ වෙන්නේ.
3. රබර් ප්‍රභේද
කලින් කියපු විදිහට රබර් නිෂ්පාදනය කෙරෙන්නෙ රබර් කිරි භාවිතයෙන් උනත් වර්තමානයේ ඉහළ කාර්මික ඉල්ලුමක් තියෙන රබර් කියන අමුද්‍රව්‍ය ස්වභාවිකව සපයන්න අපහසු නිසා කෘත්‍රීම රබර් නිෂ්පාදනයකුත් සිද්ධ වෙනවා. ඒ අනුව රබර් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ලේටෙක්ස් නැත්තම් ස්වභාවික රබර් සහ පරීක්ෂණාගරයක් තුළ කෘත්‍රිමව නිපදවෙන සින්තටික් රබර් වශයෙන්. ඊට අමතරව මේ කොටස් දෙකට අයත් තව අනුකාණ්ඩ තිබුනත් මුලිකම වර්ග දෙක වෙන්නේ මේ දෙකයි.
4. මහා පරිමාණයෙන් රබර් නිපදවන රටවල්
ලංකාව විශාල වශයෙන් රබර් නිෂ්පාදනය කරනව කියල අපි හිතන් හිටියට රෑන්කින් වලින් ඉස්සරහින්ම ඉන්නෙ අපිනම් නෙමෙයි. වැඩිම ස්වභාවික රබර් නිෂ්පාදනය කරන රටවල් අතරේ මුල් ස්ථාන තුනේ ඉන්නෙ තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව කියන රටවල්. යාන්තමට දහවෙනි ස්ථානයේ ලංකාව ඉන්නව ඔන්න.
5. දෙවෙනි ලෝක යුද්ධයත් එක්ක රබර්
දෙවන ලෝක යුද්ධෙ කියන්නෙ රබර් භාවිතය සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණ තෙගුණ වුන කාලයක්. ඒක නිසාම ඇමරිකාවේ රබර් වලට තියෙන ඉල්ලුම නිෂ්පාදනය ඉක්මවන ලොකු අගයක් ගත්තා. දෙවන ලෝක යුද්ධය සඳහා නිර්මාණය කෙරෙන යුද්ධ ටැංකි, යුධ නැව් වල කොටස් වලට විශාල වශයෙන් රබර් ඕන වුනා. එහෙමත් තියෙද්දි ඇමරිකානුවන් පර්ල් වරායට බෝම්බ දැමීමත් එක්ක ජපානය ආසියාතික රබර් නිෂ්පාදනය කරන රටවල් අල්ලාගෙන ඇමරිකාවට කෙරෙන රබර් සැපයුම අත්හිටුවනව. මේ වකවානුවේදී තියෙන ඉහළ රබර් ඉල්ලුම සම්පූර්ණ කරන්න ඇමරිකානුවන් තියෙන රබර් ප්‍රතිචක්‍රීකරණය කරන්න පටන් ගන්නව. ඒත් එක්කම ඔවුන් කෘත්‍රීමව රබර් නිෂ්පාදනය කරන්න පරීක්ෂණ කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි කෘත්‍රීම රබර්, ඒ කියන්නෙ සින්තටික් රබර් නිෂ්පාදනය වෙන්නෙ.
6. ලංකාවේ රබර් කර්මාන්තය
ලංකාවෙ රබර් වැවීම මුලින්ම පටන් ගන්නෙ 1876 දි වගේ කාලෙදි බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින්. හැබැයි මහා පරිමාණයෙන් වාණිජමය වශයෙන් රබර් වැවීම පටන් ගන්නෙ 1900 ගණන් වලදි. ඒ ලෝක වෙළඳපොලේ තේ මිල පහළ යෑමත් එක්කයි. අද වෙද්දි අක්කර ලක්ෂ තුනක විතර වවල තියෙන රබර් වලින් වාර්ෂිකව කිලෝග්‍රෑම් මිලියන 129ක් විතර රබර් නිෂ්පාදනය කෙරෙනව කියල තමයි කියන්නෙ.
7. වර්තමානයේ රබර්
දිනෙන් දින ඉහළ යන රබර් ඉල්ලුම එක්ක ඉදිරි වසර වලදී වාහන වලට තියෙන ඉල්ලුමට වඩා රබර් වලට තියෙන ඉල්ලුම ඉහල යනව කියලයි කියන්නෙ. දැනට වාර්ෂිකව 3.9ක ප්‍රතිශතයකින් රබර් ඉල්ලුම ඉහළ යන බවට මත පළ කෙරෙනවා. සින්තටික් රබර් නිෂ්පානයත් එක්ක වර්තමානයේ ස්වභාවික ලේටෙක්ස් රබර් නිෂ්පාදනය පොඩ්ඩක් විතර පසුබැහැලා තිබ්බත් ස්වහාවික අමුද්‍රව්‍යයන් වලින් කෙරෙන නිෂ්පාදනවලට වර්තමාන වෙළඳපොලේ තියෙන ඉල්ලුම ඉහළ යාමත් එක්ක මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විවිධ උපක්‍රම අනුගමනය කරමින් තමන්ගෙ රටේ රබර් කර්මාන්තය ඉහළ නංවන්න තමයි උත්සාහ ගන්නෙ.
Leave a Reply