ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරු

ඕනෑම රටක මහ බැංකුව කියන්නේ ඒ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය කළමනාකරණය තුළ තීරණාත්මක ආයතනයක්. අපි අද කතා කරන්න යන්නේ ආරම්භයේ පටන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරු පිළිබඳව. මේ ලිපිය සඳහා අපි මූලාශ්‍ර කර ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියයි.

 

1. ජෝන් එක්ස්ටර්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරම්භක අධිපතිවරයා වූ ජෝන් එක්ස්ටර් අමෙරිකානු ජාතිකයෙක්. ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ අතර එරට ෆෙඩරල් සංචිත පද්ධතියට සම්බන්ධ ආර්ථික විද්‍යාඥයකු ලෙස ද කටයුතු කළා. ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීම සඳහා තම විශේෂඥ දැනුම ලබා දුන් ඔහු 1950 සිට 1953 දක්වා මහ බැංකු අධිපති ධුරය දරණු ලැබුවා.

 

2. එන්. යූ. ජයවර්ධන

ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු ලාංකික අධිපතිවරයා මෙන්ම දෙවැනි අධිපතිවරයා වූයේ එන්. යූ. ජයවර්ධන මහතායි. ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි අධ්‍යාපනය ලැබූ ඔහු පසුව රජයේ සේවයට එකතු වුණා. විනිමය පාලක, ආනයන සහ අපනයන පාලක වැනි තනතුරු දැරූ එතුමා ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමේදී ජෝන් එක්ස්ටර් මහතාට විශාල සහයෝගයක් ලබා දුන්නා. ජෝන් කොතලාවල රජය මගින් එතුමාව ධුරයෙන් ඉවත් කළ අතර පසුව එතුමාට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පදනම් විරහිත බව ඔප්පු වුණා. පසු කාලයක ඔහු සම්පත් බැංකුවේ නිර්මාතෘවරයා බවටද පත් වුණා.

 

 

3. ශ්‍රීමත් ආතර් රණසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ තෙවැනි අධිපතිවරයා බවට පත්වූ ශ්‍රීමත් ආතර් රණසිංහ, සිවිල් සේවයේ කීර්තිමත් චරිතයක් වුණා. විනිශ්චයකාරවරයෙකු ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස ද ආදී වශයෙන් විවිධ තනතුරු හෙබවූ ඒ මහතා, 1954 සිට 1959 දක්වා වසර පහක කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය දැරූ අතර ඉන් අනතුරුව තානාපතිවරයෙකු ලෙස ද කටයුතු කළා.

 

4. ඩී. ඩබ්ලිව්. රාජපතිරණ

ලංකා විශ්ව විද්‍යාලයෙන් සහ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් මගින් උසස් අධ්‍යාපනය හැදෑරූ එතුමා අනතුරුව ඇමරිකාවේ කොලොම්බියා සරසවියේ ද අධ්‍යයන කටයුතුවල නිරත වුණා. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව රාජ්‍ය සේවයේ විවිධ තනතුරු දැරූ එතුමා ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශකවරයෙකු ලෙස පත්වුණා. ඉන් අනතුරුව නියෝජ්‍ය අධිපති ධූරයට පත් වූ එතුමා 1959 සිට 1967 දක්වා එහි අධිපති ධුරය හෙබවනු ලැබුවා.

 

5. ඩබ්ලිව්. තෙන්නකෝන්

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වූ මෙතුමා එහි කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර පසුව ලංකා බැංකුවේ සේවයට එක් වුණා. ඉන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා ලෙස සේවයට එක් වී විවිධ තනතුරු දරා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරයට පත් වුණා. අනතුරුව 1967 සිට 1971 දක්වා මහ බැංකු අධිපති ධුරය හෙබවූ ඒ මහතා ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ සහ මෙරට පෞද්ගලික බැංකු කීපයක අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කළා.

 

6. එච්. ඊ. තෙන්නකෝන්

1971 සිට 1979 දක්වා වසර අටක කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සය වැනි අධිපතිවරයා ලෙස එච්. ඊ. තෙන්නකෝන් මහතා කටයුතු කළා. ලංකා සිවිල් සේවයේ ජනප්‍රිය නිලධාරියකු වූ ඔහු පසුව අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස ද සිය සේවය ලබා දුන්නා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති ධූරය දැරූ ඒ මහතා මෙරටට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත් වුණා. එම තනතුර දරමින් සිටියදී විදේශ සමුළුවකට සහභාගිවීම සඳහා ගොස් සිටිය දී එතුමා මියගියා.

 

7. ආචාර්ය ඩබ්ලිව්. රාසපුත්‍රම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සෘජු සේවයට බැඳීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරය දක්වා ගමන් කළ පළමුවැන්නා ලෙස ආචාර්ය ඩබ්ලිව්. රාසපුත්‍රම් වාර්තාවකට හිමිකම් කියනවා. එසේම 1979 සිට 1988 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඔහු කටයුතු කළ වකවානුව සමස්ත ශ්‍රී ලංකාවේම ආර්ථිකය උඩුයටිකුරු කළ වකවානුවක් වුණා. එතෙක් සංවෘත ආර්ථිකයකට උරුමකම් කී ශ්‍රී ලංකාව එම වකවානුවේදී විවෘත ආර්ථිකයක් කරා ගමන් කළ අතර රටේ මූල්‍ය ප්‍රතිපත්තියද ඒ හා සමානව වෙනස්කම්වලට ලක්වුණා. මහ බැංකු අධිපති ධූරයට සමුදීමෙන් පසුව රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසද රාසපුත්‍රම් මහතා කටයුතු කළා .

 

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *