අප විසින් ආරක්ෂා කරගත යුතු ලංකාව​ට ආවේණික කුරුල්ලෝ 7ක්

ලංකාවේ ඔක්කොම කුරුල්ලෝ වර්ග 444ක් පමණ ඉන්නවා. එයින් විශේෂ 203ක් අභිජනන නේවාසික පක්ෂීන් හෙවත් එක්තරා කාලයකට පමණක් ලංකාවට පැමිණෙන පක්ෂීන් වෙනවා. ඊට අමතරව ලංකාවේ ජීවත්වෙන පක්ෂීන් ගත්තොත් එයින් 33ක්ම ලංකාවට ආවේණික පක්ෂීන් කියලා හඳුනාගෙන තියෙනවා. ලංකාවට ආවේණික මේ පක්ෂීන් බොහොමයක් දෙනා ව​ඳවීමේ තර්ජනයකට මුහුණපාලා තියෙනවා. ඒ වගේම මේ පක්ෂීන් වැඩි දෙනෙක් කලාතුරකින් තමයි අපිට දකින්නට ලැබෙන්නේ.

 

1. හබන් කකුළා – Sri Lanka Spurfowl

හබන් කුකුළා ටිකක් ලස්සන සතෙක් වුනත් ඉන්නේ හැංගිලා. වනවාසී කුලෑටි සතෙක් වෙන හබන් කුකුලා බිම ඇවිදිමින් ඉන්නට කැමති සතෙක්. මේ හබන් කුකුලා ප්‍රමාණයෙන් සාමාන්‍ය කුකු​ළෙකුගෙන් බාගයක් විතර සයිස් වෙනවා. පහතරට තෙත් කළාපයේ සහ කඳුකරයේ මීටර් 1800 දක්වා සීමාව දක්වා මේ හබන් කුකු​ළන් ජීවත් වෙනවා. පහුරුගාමින් බිම ඇති කෘමීන්, ප​ළතුරු ආදි​ය ආහාරයට ගන්න හබන් කුකුළා නිතරම ආහාර හොයමින් වනාන්තරයේ පහ​ළ බිම් තීරු පීරනවා.

 

2. වලි කුකුළා – Sri Lanka Junglefowl

ගම් කුකු​ළන්ට වඩා ටිකක් පොඩි ඒත් ක්‍රියාශීලී සත්වයෙක් තමයි වලි කුකුළා කියන්නේ. වලි කුකුළාගේ පිරිමි සතා වර්ණවත් පිහාටු ගොඩකින් ලස්සන වෙලා තියෙනවා. ඒත් ගෑණු සතා නම් ඒ වලිකුකුළාගේ ගෑණු සතාය කියන්න බැරි තරමට වෙනස්. නිකම් කුකුළා වගේ පෙනුනත් මුන් ව දැකගන්න සහ අල්ලාගන්න අමාරුයි. ලංකාවේ ගොඩක් පළාත්වල ජීවත්වෙන මේ වලි කකුළා හම්බන්තොට වගේ වියලි කලාපවලදීත් හමුවෙනවා. සාමාන්‍ය කුකු​ළන්ට වඩා පියාඹන්න සමත් කමක් දැක්වුවත් වලි කුකුළා බිම පහුරුගාලා ආහාර සොයායන්න කැමති සතෙක්.

 

3. වත රතු මල් කොහා – Red Faced Malkoha

කොහා කියන්නේ නම් සුල​භ සතෙක්. අවුරුදු කාලෙට කොහා අ​ඬලනවා කියලත් අපි විශ්වාස කරනවා. මේ වත රතු මල් කොහා ලංකාවට ආවේණික කුරුල්ලෙක්. මේ මල් කොහා පහතරට කඳුකරයේ තමයි වැඩිපුරම ජීවත්වන්නේ. ප්‍රමාණයෙන් මේ සතා ඇටිකුකු​ළෙක් සයිස්. බඩ සුදු පාට මේ මල් කොහාගේ හොටය ලා කො​ළ පාටයි. මේ කුරුල්ලගේ පියාපත් කෙටි සහ රවුම් නිසා වැඩිදුර පියාඹන්නට හැකියාවක් නැහැ. ඒත් බොහොම ක්‍රියාශීලි සත්වයෙක් විදිහට වත රතු මල් කොහා දැක්වෙනවා.

4. ශ්‍රී ලංකා බට ඇටිකුකුළා – Green-Billed Coucal

ඇටිකුකුළා කියන්නේ ටිකක් සුල​භ සතෙක්. මේ බට ඇටිකුකුළා සිංහරාජය, කන්නෙලිය වගේ පහතරට කලාපවල දකින්නට ඉන්නවා. සාමාන්‍ය ​ඇටි කුකුළා වගේම වුනත් මේ සතාගේ පිහාටු සාමාන්‍ය ඇටිකුකුළාට වඩා අඳුරු තද පැහැයක් ගන්නවා. ඒ වගේම සාමාන්‍ය ඇටිකුකුළාට වඩා මේ සතා සෙන්ටිමීටර 5-6කින් කොටයි. මේ සතුන් දැනට හාරදහක් පමණ ජීවත්වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ.

 

5. මයිල පරවියා – Sri Lanka Wood Pigeon

මේ සතා සමහර පැතිවල මයිලගොයා කියලත් හඳුන්වනවා. සාමාන්‍ය වල් පරවියකුගේ පාටම තියෙන මේ පක්ෂියා පරවි ග​ණයටම අයිති සතෙක්. මධ්‍යම කඳුකරයේ සදාහරිත තෙත් වනාන්තර වල ඉන්න මයිලගොයා සෙන්ටිමීටර 35ක් පමණ දිග පක්ෂියෙක්. ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම, කෘමිනාශක වගේ හේතුන් නිසා මේ සතුන්ගේ ජීවිත තර්ජනයට මුහුණ පාලා තියෙනවා කියලා වාර්තා වනෙවා.

 

6. පඬු කන් බස්සා – Serendib Scops Owl

මේ පඬු කන් බස්සා ල​ඟදී තමයි පක්ෂී විද්‍යාඥයින් සොයාගත්තේ. පහතරට වැසි වනාන්තර වල ජීවත් වෙන මේ සතා කෘමින් ආහාරයට ගන්නවා. සෙන්ටිමීටර 17ක් තරම් කොට මේ පොඩි බස්සා පඬු පාටටම දකින්නට ඉන්නවා. කිතුල්ගල සිංහරාජ භූමිය වගේ පැතිවල ජීවත්වෙන මේ සතුන් බොහොම දුර්ල​භ පක්ෂීන් ජාතියක් විදිහට දැක්වෙනවා. සතුන් ග​ණනින් 200කටත් අඩු ප්‍රමා​ණයක් ජී​වත් වෙනවා කියලා තමයි මත ප​ළ වෙලා තියෙන්නේ.

 

7. ශ්‍රී ලංකා අරංගයා – Sri Lanka Whistling Thrush

රතු දත්ත පොතටත් ගිහින් තියෙන මේ පක්ෂියාගේ ජාතියේ ඔක්කොම සත්තු දාහක් පමණ සුලු ප්‍රමාණ​යක් තමයි ජීවත් වෙන බවට සැලකෙන්නේ. කුලෑටි හැසිරීමක් පෙන්වන අරංගයා සාමාන්‍යයෙන් දිය දහරා ආශ්‍රිතව කම්මැලි කමෙන් කල් ගෙවන්නට කැමති සතෙක්. උඩරට තෙත් කලාපයේ ජීවත්වන මේ සතා නුවරඑළිය, මස් කෙළිය, බොගවන්තලාව වගේ පැතිවල වගේම හෝටන් තැන්නෙත් දැකගන්නට ඉන්නවා. මේ කුරුල්ලන්ගේ කිරිල්ලිය දුඹුරු පාට වුනත් කුරුල්ලා තද දුඹුරු සහ කළු පාට පියාපත් වලින් යුක්ත වෙනවා.

 

ඉස්සර ගම් වල මිනිස්සු කුරුල්ලන්ට කන්නට කෑම තැබුවා. ඒ වගේම කුරුල්ලන් වෙනුවෙන් නාන්න වතුර එකක්ද ගේ ඉස්සරහ තියලා තිබුනා. කුරුල්ලෝ වනවාසීව වගේම ටිකක් ගම්මාන ආශ්‍රිතවත් ජීවත් වුනා. අද වෙද්දි කුරුල්ලන් නගරයෙන් නම් බොහෝදුරට ​ඈත් වෙලා. ගම්මාන වලත් කෘමිනාශක, වල්නාශක ආදී වස විස නිසා කුරුල්ලන් ටිකක් ගමෙන් දැන් ඈත් වෙලා තියෙනවා. ලංකාවට ආවේණික කුරුල්ලෝ නැතිකරගත්තොත් ඒ නැතිවෙන්නේ මුලු ලෝකයටමත් එක්ක. ඒ නිසා අපි හැකි පමණ ඒ කුරුල්ලන් ගැන දැනකියාගෙන ඔවුන් ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕනි.