පොඩි සහෝදර සමාගමක් ඉන්නවා කියන්නේ ලොකු වගකීමක්. ඒක ඇඟට දැනෙන්නේ අම්මට ඒ බබා හම්බ වුණාට පස්සේ ඉස්සෙල්ලාම වඩාගන්න අතට දෙන මොහොතේ ඉඳලාමයි. අයියලා අක්කලා මොන තරම් වාත කේස් විදියට දැනුණත් තමන්ගේ මල්ලිට නංගිට පුදුම විදියට ආදරෙයි. ඒ ආදරේ නිසාම තමන් ගියපු තැනට වඩා ලොකු තැනකට එයාලාව යවන්න තමයි වලිකන්නේ. ඒ හීන ඔක්කොටම පයින් ගහලා පොඩි එවුන් පිස්සු කෙලිනකොට යකා වැහෙනවා තමයි. හැබැයි උන් තාම පොඩියි. ඒ නිසා ජීවිතේ ගැන හරිහමන් අවබෝධයක් නැහැ. එහෙම වෙලාවට හරියට ඉගෙනගන්න ට්‍රැක් එකකට පොඩි එකාව දාන්න පුළුවන්කමක් තියෙන්නෙත් අම්මලා තාත්තලාට වඩා අයියලා අක්කලාටයි.
1. අවවාදයකින් පටන් ගැනීම
අම්මලා කියන බණවලට වඩා සහෝදර සමාගමේ ඒවා මචං පාර්ට් එකේ කියන්න පුළුවන්. ඔය අවවාදවල උදාහරණ විදියට තමන්ගේ ජීවිතේම කඩාවැටීම් සහ ජයග්‍රහණ ගැන කිව්වම පොඩි එවුන්ට එනවා මාර හැඟීමක්. හැබැයි ඉතින් කියන්නන්වාලේ නොකියා බොක්කෙන් කියන්න ඕනි. කිසියම් ස්ථාවරයකට ආපු අයියෙක් අක්කෙක් වුණත් තව හොඳින් ඉගෙනගත්තා නම් මීටත් වඩා හොඳ තැනකට යන්න තිබ්බා කියලා නිතර දෙවේලේ හිතන බව පොඩි එකාට ඇඟවීමෙන්ම ට්‍රැක් එකට ගන්න අවශ්‍ය මූලික අඩිතාලම දාලා ඉවරයි. අනික අම්මලා තාත්තලා කරන වියදම් ගැන එයාලාම කියනවට වඩා සහෝදරයෙක් කිව්වම ඒක තදට වැදෙනවා.
2. එකට පාඩම් කිරීම සහ කියා දීම
තනියම පාඩම් කරන එක හරිම කම්මැලි හිතෙන වැඩක්. පොඩි කෙල්ලෝ කොල්ලෝ පාඩම් කරන අතරතුර නිදි කිරා වැටෙන්නෙත් ඔය නිසාමයි. අයියා නැතිනම් අක්කාත් ඉස්කෝලේ යන වයසේ නම් වෙන අහුමුළුවල පාඩම් කරන්නේ නැතුව එකම පාඩම් මේසෙක පාඩම් කරන්න පුරුදු වෙන්න. ඒ අතරතුර බැරි දේවල් කියා දෙන්න පුළුවන්. ඉස්කෝලේ යන්නේ නැති ලොකු අයියෙක් අක්කෙක් නම් පොඩි එකා පාඩම් කරනකොට ළඟට වෙලා සයිඩ් සපෝර්ටර් කෙනෙක් විදියට ඉන්න එක වටිනවා. චක්කරේ පාඩම් කරනවා නම් දෙන්නාම එහෙම කරන්න. පාඩම් කරපු ඒවායින් ප්‍රශ්න අහන්න. එතකොට ඉගෙනගන්න එක කම්මැලි නැති දෙයක් බවට පත්වෙනවා.
3. රූපවාහිනිය නැරඹීම සීමා කිරීම
පොඩි අය බොහෝ වෙලාවට කරන්න පෙළඹෙන්නේ ලොකු අය කරන දේවල්. විසිහතර පෑ මෙගා ටෙලි නරඹන මේ ලෝකේ පය ගහන්නේ නැති අක්කෙක් නම් ඒක බලාගෙන මල්ලියි නංගියිත් ඒකම කරනවා. ෆුට්බෝල් මැච්, රෙස්ලින්ග්, ක්‍රිකට් හින්දා ටීවි එකේ අතරමං වුණ අයියෙක් නම් එයාගෙනුත් වෙන්නේ ඒ සෙතේමයි. පාඩම් කෙරිල්ල පැත්තකට දාලා හැම වෙලේම මේවා බලන්න පොඩි අය පුරුදු වෙනවා. ඒකට මොනා හරි කිව්වොත් අනික් අතට දෙන උත්තරේ තමයි මෙයාලාට හොඳ නම් අපිට බැරි ඇයි කියන එක. උත්තර නෑනේ ඉතින් ඒවාට. හොඳම දේ බලන දේවල් ඇබ්බැහියක් නොවන තරමට සීමා කිරීම.
4. තාක්ෂණය මුසු අධ්‍යාපන ක්‍රමයකට හුරු කරවීම
“ඉන්ටර්නෙට් ගැන අම්මලා දන්නේ මොනාද, හරියකට ෆෝන් එහෙකින් මැසේජ් එකක් යවාගන්නවත් පුළුවන් ද? ඒකට අපේ අක්කා කොම්පියුටර් කාලා ඉන්නේ.” තාක්ෂණය සම්බන්ධයෙන් පොඩ්ඩොන්ගේ මතය තමයි අම්මලා මුකුත් දන්නේ නැහැ කියන එක. වෙලාවක සහෝදරයෙක් ඉලෙක්ට්‍රික් ගැජමැටික් එකක් අතගෑවත් ඒක අදහගන්න බැරි තරම් ලොකු දෙයක්. ඒ දේවල් ගැන හරි හරියට කතා කරන්නත් ආසා කරන්නේ අයියලා අක්කලා එක්කයි. මේ දේ ධනාත්මකව යොදාගන්න පුළුවන්. ඔන්ලයින් ටියුටෝරියල්, යුටියුබ් වීඩියෝ වගේ දේවල් ආශ්‍රයෙන් ඉගෙනගන්න යොමු කරන්න පුළුවන්. හැබැයි ඉතින් අධීක්ෂණයක් ඇතුව.
5. කෙටි සටහන් ගසා දීම
මේ දේවල් නොකෙරෙන නිසා ඒවත් වෙළඳ භාණ්ඩ වෙලා හමාරයි. දැන් ෂෝට් නෝට් පොත් හැම තැනම. ඒවායේ තියෙන අමුතු හුරුබුහුටි පෙනුමට ගොඩක් දෙනා ආසයි. ඒත් අන්තර්ගතය පිලිබඳ අදහසක් නැහැ . ඉතින් ඒ ෂෝට් නෝට් ටික මල්ලියි නංගියි වෙනුවෙන් අයියටයි අක්කටයි හදලා දෙන්න පුළුවන්.
6. දීමනා ලබා දීම
නිශ්චිත පාඩම් ගාණක්, පේපර් කීපයක් කළාම මොකක් හරි එයා ආසා සුකුරුත්තමක් අරන් දෙන්න පෙළඹෙන්න. ඒක ශිෂ්‍යත්වේ පාස් වුණොත් බයිසිකලයක් හරි කොම්පියුටරයක් හරි අරන් දෙනවා කියන සම්ප්‍රදායෙන් මිදෙන්න ඕනි. නොකඩවා අරගෙන යන්නත් ඕනි. අරන් දෙනවයි කියලා මහා පරිමාණ දේවල් නෙවෙයි ඉතින්. පොඩි අය ආසා කරන පොඩි පොඩි දේවල්.
7. හොඳ ඒවායින් ඇමතීම
මොන සවුදම් පාලිය නැටුවත් ඉස්සරින් සඳහන් කරපු එකක්වත් සෙට් වෙන්නේ නැති අපත කුලයේ පොඩි එවුන් බිහිවෙනවා. ඔලුව අතගෑමෙන් කිසිම පලක් නැති මේ අයට ඇත්ත ඇති සැටියෙන් හොදි නැතුව කියා දෙන්න ඕනි. කයිවාරුවලට ඉඩක් නැති, වැඩ විතරක් වෙන්න ඕනි මේ තත්ත්වය අයියලා අක්කලාගෙන් කිසිම විදියකටවත් බලාපොරොත්තු නොවෙන තැනට වැඩ කරන එකයි පොඩ්ඩොන්ගේ යුතුකම. සමහර ගෙවල්වල දෙමව්පියන්ටත් වඩා නයිමිරිස් බුවාලා බුවීලා තමයි අක්කලා අයියලා. අක්කලට අයියලට ආච්චි වැහෙන්න කලින් පොත් අතට ගනී ඉතින්.
Cover Image Source – istockphoto.com/hellogiggles.com
Leave a Reply