Father’s Day එකට තාත්තලාට දෙන්න පුළුවන් හොඳම තෑගි

ඔන්න පියවරුන්ගේ දිනය ළඟ ලඟම එනවා. ලෝකෙ එක එක රටවල් එක එක දවස් වලදි මේ පියවරුන්ගේ දිනය සැමරුවට ලංකාව ඇතුළු වැඩිම රටවල් ප්‍රමාණයක් පියවරුන්ගේ දිනය සමරන්නෙ මේ එන 21 වෙනිදා. ඒ කිව්වෙ ජූනි මාසෙ 21 වෙනි ඉරිදා. ඉතින් මුළු ලෝකෙම ඉන්න තාත්තලට, තාත්තලගේ හිතේ තියෙන මහමෙරක් තරම් ආදරේට උපහාරයක් විදිහට සමරන මේ පියවරුන්ගේ දිනයෙදි ගෙදර ඉන්න අපේ තාත්තවත් අපිට අමතක කරන්න බැහැනෙ. මේ පියවරුන්ගේ දිනයෙදි තාත්තව සතුටු කරන්න, පුදුම කරන්න දෙන්න පුළුවන් තෑගි ගැනයි මේ කතාව. හැමදාම අපිට අඩුවක් නැතුව ආදරේ දෙන, දුකක් නොදී අපිව බලාගන්න අපේ තාත්තට මේ පුංචි තෑග්ගක් දීලා අමතක නොවෙන සතුටක් ලබාදෙමු ඔන්න එදාට. 

 

 

1. සුභ පැතුම් පතක්

 

මේ වැඩේ හුඟක්ම හොඳ අවුරුදු 7කට 8කට වඩා අඩු පොඩි ළමයි ඉන්න ගෙදරකට තමයි. තමන්ගේ වයසට අනුව පුළුවන් විදිහේ නිර්මාණයක්, චිත්‍රයක්, එහෙමත් නැත්තම් පුංචි බබාගෙ අතින් ඇඳපු බලි කුරුට්ටක් හරි කමක් නෑ ලස්සන සුභ පැතුමක් විදිහට හදලා බබාගෙම අත් අකුරෙන් හරි, අම්මට කියල හරි බබාගෙ ආදරේ කොච්චරද කියලා ලියල පියවරුන්ගේ දිනයේ උදෙන්ම තාත්තගෙ අතට දුන්නම කොච්චරනම් සතුටු හිතේවිද ඉතින්. හැමදාමත් පරිස්සමට අරන් තියාගන්න ජාතියෙ ලස්සන තෑග්ගක් තමයි ඒ.  

 

 

2. මතක ගොඩක් එක්ක පින්තුරයක්

 

මේකත් හොඳයි පොඩි ළමයි ඉන්න පවුලක අම්ම කෙනෙකුගෙන් තාත්තට දෙන්න. ලොකු ළමයි ඉන්න පවුලක් උනත් කමක් නැහැ. ඒත් පොඩි බබාලා ඉන්න වැඩට යන තාත්තෙක්ටනම් වැඩිපුරම වටීවි. පවුලේ හැමෝගෙම එක එක අවස්ථාවන් වලදී ගත්ත පින්තූර එකතු කරලා, ලස්සන වැකියකුත් එක්ක තාත්තට සුභ පතලා ඔෆිස් එකේ මේසෙ උඩ තියාගන්න පුළුවන් විදිහේ පින්තුරයක් රාමු කරලා දෙන්න. ආඩම්බරෙන් ඔෆිස් එකේ යාළුවන්ට පෙන්නන්නත් පුළුවන්නේ.

 

 

3. ආයුධ පෙට්ටියක්

 

මේක ටිකක් වෙනස් තෑග්ගක්. හැබැයි අපිටනම් මොකක්ද වගේ හිතුනට පිරිමි අයටනම් හුඟක්ම වටින තෑග්ගක්. ආයුධ කිව්වේ කඩු, කිනිසි, තුවක්කු නෙමෙයි ඉතින්. ඔය ගෙදර දොරේ වැඩ කරන්න ගියාම අවශ්‍ය ඇණ, මිටි, නියන් නැතුව කොච්චරනම් වාත වෙනවද තාත්තල. හොඳ මෙවලම් පෙට්ටියක් අරගෙන දැනට තාත්තා ගාව නැති එත් එයාට ඕනම වෙන පොඩි පොඩි ආයුධ ටිකක් දාලා තෑග්ගක් විදිහට දුන්නොතින් සතුට වගේම හැමදාම ගන්න ප්‍රයෝජනයකුත් තියෙයි. තාත්ත වැඩක් පටන් ගත්ත වෙලාවට දෙයියනේ කියල කනක් ඇහිලා ඉන්නත් පුළුවන් ඉතින් ඊට පස්සෙ.  

 

 

4. Fitness Tracker එකක්

 

තරුණ වයසේ, මැදි වයසේ වගේ ඕනෑම වයසක, තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හුඟක් සැලකිලිමත් වෙන ඕනම තාත්තා කෙනෙකුට වටිනාම වටිනා තෑග්ගක් මේක. මේ Fitness Tracker එක Fitness Band, Honor Band, Health Watch කියන නම් වලිනුත් හැඳින්වෙනවා. මිලනම් ටිකක් විතර ඉහළයි. හැබැයි ව්‍යායාම කරන, ශරීර සෞඛ්‍ය ගැන හිතන කෙනෙක් ළඟ තියෙන්නම ඕන භාණ්ඩයක්. ව්‍යායාම නොකරන තාත්තෙක්ට උනත් මේ Fitness Band එකක් තෑගි දීලා ව්‍යායාම කරන්න උනන්දු කරවන්න පුළුවන්. ටිකක් uncommon ඒ වගේම ගෙවන මිලට උපරිම වටිනාකමක් තියෙන කාලෙටත් ගැලපෙන අපූරු තෑග්ගක්. 

 

 

5. Health Check-up එකක්

 

ඔන්න තවත් වටිනාම තෑග්ගක්. ටිකක් වයසින් වැඩි තාත්තෙක්නම් ඉන්නෙ මීට වඩා වටිනා වෙන තෑග්ගක් කොහෙද කිව්වත් වැරදි නැහැ. හැමදාම අපි ගැනම බැලුවට, අපේ ඕනෑ එපාකම් ඉෂ්ට කළාට තාත්තලා එයාලගෙ සෞඛ්‍ය ගැන උනන්දු වෙනවා හරිම අඩුයි. ලෙඩක් තිබ්බත් යන්තම් බෙහෙතකින් අඩු කරගෙන අපි ගැනම බලපු තාත්තගෙ සෞඛ්‍ය ගැන බලන එක අපේ ලොකුම වගකීමක්නේ ඉතින්. හොඳ පෞද්ගලික රෝහලකින් තාත්තගේ නමට Health Check-up එකකට දිනයක් වෙලාවක් වෙන්කරවාගෙන ඒක පියවරුන්ගේ දිනයට තෑග්ගක් විදිහටම තාත්තගෙ අතට දෙන්න. හැමදාම දෙන කේක්, ඇඳුම් වලට වඩා වටින හොඳම තෑග්ගක් තමයි මේ. 

 

 

6. Family Printed T-Shirt එකක්

 

මේකත් අර කලින් කිව්ව ෆොටෝ ෆ්‍රේම් එක වගේම තෑග්ගක්. පවුලේ කට්ටියම ඉන්න පින්තුරයක් ඉස්සරහට ප්‍රින්ට් කරපු T- Shirt එකක් දුන්නොතින් කොහොමද? පවුල කියන්නේ කාටත් ඔක්කොටම ඉහළින් වටිනාම දේ නේ. කොයි තාත්තද අකමැති දරුවන්ගේ, බිරිඳගේ ලස්සන පින්තුරයක් එක්ක මේ වගේ සිහිවටනයක් ලැබෙනවට. හැබැයි අඳින එකක්නම් නැහැ. හැමදාම පරිස්සමට අල්මාරියේ දාලම තියාගනිවී. 

 

 

7. Family Outing එකක්

 

ඔක්කොටම පස්සේ ඔය කියපු අනිත් තෑගිත් එක්කම, එහෙමත් නැත්තම් මේක විතරක්ම උනත් පවුලේ හැමෝටම සතුටින් විඳින්න පුළුවන්, ලස්සන මතකයක් ජීවිතේට එකතු කරන තෑග්ගක් වේවි. තාත්තව පුදුම කරවන්න අම්මයි, ළමයිනුයි එකතුවෙලා හැමදේම ලෑස්ති කරලා Day Outing එකක් එහෙමත් නැතිනම් පවුලේ ඔක්කොම කට්ටිය Dinner Outing එකකට හරි කමක් නැහැ යන්න. හැමදාම කාර්යබහුල ජීවිතේ කට්ටියට එකට ඉඳන් හිනාවෙලා කතා කරන්නවත් වෙලාවක් නොලැබෙන එකේ මේ අවස්ථාව තාත්තට වගේම හැමෝටම වටිනා අවස්ථාවක් වේවි. 

තාත්තා කියන්නෙ අපි හැමෝගෙම ජීවිතේ නිහඬ ආදරවන්තයා. තාත්තගෙ ආදරේ අම්මගෙ ආදරේ වගේ අපේ හිතට හැමදාම දැනෙන්නෙ නැහැ තමයි. ඒත් අපිට ඕනවෙන හැමවෙලාවකම අම්මගෙයි, දරුවන්ගෙයි පිටිපස්සෙන් මහා ගල්කුලක් වගේ ඉඳගෙන ආරක්ෂාව හදන්නෙ ඕනෑම පවුලක මේ තාත්තා කියන චරිතය. මෙහෙම එක දවසක් වෙන් කරගෙන තෑගි දීලා සමරුවට තාත්තගෙ ආදරේ කියන්නේ ජීවිත කාලෙම අපිව ආරක්ෂා කරන, අපිව සතුටින් තියන නොපෙනෙන ආශීර්වාදයක්. ඉතින් ඒ නිසා මේ විදිහට තෑගි දීලා තාත්තව සතුටු කරලා විතරක්ම නෙමෙයි. ඒ සතුට, ඒ මූණේ හිනාව හැමදාම රඳවන්න උත්සහ කරන්න. අම්ම වගේ නොකිව්වට ඒ වගේම තාත්තත් ආසයි දරුවන්ගෙ ආදරේ අඩුවක් නැතුව විඳින්න.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *