ලංකාවෙ පොදු ප්‍රවාහනය තුළ කොරෝනා මීටරේ ප්‍රායෝගික ද?

මැයි මාසේ මැද පටන් ගත්ත පොදු ප්‍රවාහනේ කටයුතු මේ වෙද්දි යථා තත්ත්වයට පත් වෙලා. මේ වගේ අත්දැකීමක් කලින් නැති නිසා පොදු ප්‍රවාහනය නැවත පටන් ගනිද්දි මුළු ලෝකයම ​ඒ ගැන නැවත සැළකිලිමත් වුණා. දැන් අනෙක් ක්ෂේත්‍රවලට වගේම පොදු ප්‍රවාහනයටත් විවිධ ආකාරයේ නීති රීති ඇවිල්ලා. ​ඒ සෞඛ්‍ය නිර්දේශ බොහොමයක් පනවලා තියෙන්නේ අපේම ආරක්ෂාවට. අපේ රටේ නම් පොදු ප්‍රවාහනය නැතිවුණොත්, හැමෝම තමුන්ගේ වාහන ගත්තොත් එතැනදි අපි හැමෝටම දැඩි ප්‍රමාද වලට මුහුණ දෙන්නට වෙනවා. 

 

1. කලින් ආසන වෙන් කරගැනීම

කලින් ආසනයක් වෙන්කරගන්න පුළුවන් පහසුකම දුර ගමන් සේවාවන් වලට හෝ එකතු වෙනවා නම් එතැනදි අපිට හිටගෙන තෙරපිලා යන්න තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. ​ඒ වගේම ආසන වෙන්කර ගැනීම වැඩි වුණොත් තවත් අමතර බස් රිය දාන්නත් පුළුවන්කම ලැබෙනවා. අපේ දුම්රිය සේවාවත් ආසන වෙන් කරගැනීමේ පහසුව තියෙන්නේ දුම්රිය කිහිපයකට පමණයි. ආසන වෙන් කරගන්න පහසුව ඇතිකරන ඒක පහසු වැඩක්. දැනටම කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුමෙන් ලංගම බස් කිහිපයක බුකින් තියෙනවා. ​ඒ ආකාරයට බුකින් පහසුව වැඩි කළොත් මහජනතාවට අධිවේගී මාර්ගවල යන බස්වල යනවා වගේ ආසන ගණනට විතරක් දුර ගමන් වල යෙදෙන්නට හැකියාවක් ලැබේවි.

 

2. පිරිසිදුකම නිතරම

වෙනදා අපේ බස් වල ඒල්ලිලා තිබුණ කවදා හේදුවාදයි කියලා බස් රියේ හිමිකරුවන්වත් දන්නේ නැති කර්ට්න් ඉදිරියට දකින්නට නැති වෙයි. මොකද සෞඛ්‍ය නිර්දේශ අනුව බස්වල කර්ට්න් ගැලවීම කළ යුතු වෙනවා. ​ඒ වගේම සෑම ගමන් වාරයකටම පසුව බස්රිය හොඳින් පිරිසිදු කරන්නත් සෞඛ්‍ය නිර්දේශවල තියෙනවා. ​ඒ කියන ආකාරයට වෙනවා නම් ​ඒක හොඳ තත්ත්වයක්. ඇතැම් පුද්ගලික බස්රිය නම් ​ඒ හිමිකරුවන් විසින් හොඳින් පිරිසිදු කරලා තියාගන්නවා. ​ඒත් ලංගම සහ ඇතැම් දුම්රිය නම් කොරෝනා වලට කලින් ඒ තරම්ම පිරිසිදු කිරීම් වලට ලක් වුණේ නැහැ. කොහොම පිරිසිදු කළත් එයින් අපේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම සහතික වෙන්නෙ නැහැ. ​ඒ නිසා හැකි සෑම විටම දෑත් පිරිසිදු කරගෙන පිරිසිදුව යන්න අපිත් උත්සාහ ගන්නට ඕනි.

 

3. මුදල් ගනුදෙනු

මුදල් කියන්නේ කොරෝනා අපේ සමාජයෙදි හුවමාරු වෙන්න පුළුවන් එක ක්‍රමයක්. බස් වලට කාඩ් ක්‍රමයක් හඳුන්වා දුන්නත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. දුම්රිය සහ බස් වාර ප්‍රවේශපත්‍ර හරහා යම් පමණකින් මේ මුදල් හුවමාරුව සීමා වෙනවා. ​ඒත් එක්කම ඉන්ටනෙට් බුකින් වලට ගියොත් එයිනුත් අපිට මුදල් හරහා සිදුවන අතපතගෑම් අවම කරගන්න පුළුවන්. අපේ මැෂින් වලින් ටිකට් නිකුත් කළත් ​ඒ මැෂින් වලට ගෙවන්න කාඩ් ක්‍රමයක් තවමත් ඇවිල්ලා නැහැ. චීනය, ඉන්දියාව වගේ රටවල් මොබයිල් පේමන්ට්, ඇප් පේමන්ට් වලට ගිහින් තියෙනවා. ඒ නිසා එයාලට අතින් අල්ලන්නේ නැතිව මුදල් ගනුදෙනු කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපෙත් ඉක්මනින්ම මුදල් වෙනුවට ඉලෙක්ට්‍රොනික මුදල් ආවොත් අපිට ගනුදෙනු වඩාත් සෞඛ්‍යාරක්ෂිතව කරගන්නට හැකි වේවි.

 

4. බස්, දුම්රිය ප්‍රමාණවත්ද?

බස් රියවල මීටරය දුර තබාගන්නට තබා හිටගෙන යන කාන්තාවන්ගේ ආකර්ෂණීය ඉන්ද්‍රියයන් කාමාතුරයින්ගෙන් ප්‍රවේසම් කරගන්න එක පවා ලොකු ගැටළුවක්. ඉතින් මේ තත්ත්වය නැතිකරන්න නම් අලුතින් බස් එකතු වෙන්නට උවමනා වෙනවා. බස් වගේම අලුතින් බස් මාර්ගත් මේ එක්කම වැටෙන්නට ඕනි. සමහර බස් මාර්ග වල බස් රිය යන සම්පූර්ණ ගමන් මගෙන් එක කොටසක පමණයි වැඩිපුර සෙනග ගැවසෙන්නේ. උදාහරණ විදිහට 176 කරගම්පිටිය හෙට්ටියාවත්ත බස් එක ගත්තොත් ​ඒ බස් හෙට්ටියාවත්තෙන්වත්, කරගම්පිටියෙන්වත් ලෝඩ් වෙන්නේ නැහැ. මගින් තමයි වැඩිපුර සෙනග හුවමාරු වෙන්නේ. ඉතින් වැඩිපුර මගීන් ගැවසෙන ස්ථාන සහ වේලාවන් සළකා බලලා ​ඒ අනුව බස්, දුම්රිය සැලසුම් නවීන තාක්ෂණය උදව්වෙන් සැලසුම් කළොත් පොදු ප්‍රවාහනය වඩාත් සුවපහසු කරගන්නට හැකි වේවි.

 

5. හැමෝම ඉස්සර වගේ වැඩට ආවොත්?

කලින් විදිහට පාසැල් විවෘත වෙලා අනෙක් ආයතන වලත් වැඩ කලින් විදිහට ඔක්කොම පටන් ගත්තොත් එතකොට කැළණියේ ඉන්න කෙනෙක්ට කොටුවට යන්නත් පැයක් විතර යන තත්ත්වයක් ආයෙම උදා වෙනවා. ​ඒ වගේම පොදු ප්‍රවාහනයේ දුම්රිය, බස් වගේ හැම එකක්ම නැවතත් පෙර ධාරිතාවයට එනවා. ​ඒ නිසා කොරෝනා මැඩපවත්වන්න ඇත්තටම අවශ්‍යතාවයක් තිබෙනවා නම් සැබැවින්ම අනිවාර්යයෙන් පිරිසක් පමණක් වැඩට එන්න ඕනා වෙනවා. පාසැල් පටන් ගත්තා වුණත් පාසැල් වල වැඩකටයුතු වුවත් යම් සීමාවන් යට​තේ පවත්වාගන්නට උවමනා වේවි. එසේ නැතිනම් මීටරය තබා ගැනීම තබා බස් රියේ දුම්රියේ නැගගන්න එකත් මහජනයාට ගැටළුවක් වේවි.

 

6. පාරට එන්න ඇති උවමනා අඩු කිරීම

රියදුරු බලපත් ලබාගැනීම, වාහන රෙජිස්ටර් කිරීම, උප්පැන්න සහතික ලබාගැනීම, ඉඩම් ලියාපදිංචිය ආදී දේවල් රාශියකට තවමත් මහජනතාවට කාර්යාලවල රස්තියාදු වෙන්නට වෙලා තියෙනවා. ඒ වගේ මිනිස්සු කොළඹ එන අවශ්‍යතා ගත්තොත් බොහෝ දේවල් අන්තර්ජාලය, ඇප්ස් හෝ තාක්ෂණය මගින්ම සපුරා දෙන්නට පුළුවන්කම තියෙනවා. ​ඒ වගේ මිනිස්සු කොළඹ නගරයට පැමිණෙන අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒවා ප්‍රාදේශීයව හෝ ඔන්ලයින් මාර්ගයෙන් ලබාගන්නට පහසුකම සැලසුවොත් එතැනදී මහජනතාවට ලොකු සහනයක් ලැබෙනවා. ඉන්දියාවේ දිල්ලි නගරාධිපති අර්වින්ද් කේජ්රිවාල් විසින් පසුගිය කාලේ රජයේ සේවාවන් නිවසටම ඩිලිවරි කරන සේවාවක් පටන් ගත්තා. ​ඒ හරහා තමුන්ගේ රාජකාරියට අදාළ ගොනු ඉදිරිපත් කරලා ඒ සේවාවන් ගෙදරටම ලබාගන්නට මහජනතාවට පුළුවන් වුණා. අපිටත් ​ඒ වගේ සේවාව අවශ්‍ය කෙනාම කාර්යාලයට යනවා වගේම වැඩිහිටි අයට වත් නිවෙසටම සේවාවන් සපයන ක්‍රමවේදයක් ආවොත් නගරයට එන පිරිස් සැළකිය යුතු තරමකින් අඩු කරගන්නට හැකි වේවි.

 

7. තාක්ෂණය උපයෝගී කරගැනීම

බස් කර්මාන්තයක් විදිහට ගත්තොත් තවමත් බස් කාර්යයට දුර ගමන් වලටත්‌ කොන්දොස්තර මහත්මයකු උවමනා වෙනවා. කොටින්ම අධිවේගී මාර්ගයේ බස් සේවාවන් වල පවා තවමත් කොන්දොස්තර මහත්මයෙකු සේවයේ යෙදෙනවා. අධිවේගී මාර්ගයේදී ගමන ආරම්භයේදී සහ අන්තයේදී පමණයි මගීන් හුවමාරුව සිද්​ධ වන්නේ. එවැනි අවස්ථාවලවටත් තාක්ෂණය ආධාරයෙන් යාන්ත්‍රික ටිකට් මැෂින් සේවයේ යොදවන්නට පුළුවන්. ඒ වගේම බස් කාලසටහන් සැකසීම, නිතර යන මගීන්ට වාර ප්‍රවේශපත් නිකුත් කිරීම වැනි වැඩසටහන් ආදියටත් තාක්ෂණයෙන් උදව් ගන්නට හැකියි.

 

8. වෙනස් නොවුණොත් 

මාස දෙක තුනක දිග නිවාඩුවකින් පස්සේ අපි ඔක්කොමල්ලට වැඩට යන්න වෙන්නේ කලින් තිබුන තත්ත්වයට නෙමෙයි. ඇරත් කිසිම විදිහකින් කොරෝනා අවදානමින් තවමත් කිසිම රටක් සම්පූර්ණයෙන් ගැලවිලත් නැහැ. ඊලඟ වතාවේ ඒන කොරෝනා තත්ත්වයකදි අපි ආරක්‍ෂා නොවුණොත් තත්ත්වය බොහොම සවුත්තු වෙන්න හේතු වෙනවා. ඉතින් බලධාරීන් අපිට දුරස්ථභාවය තියාගන්න වටපිටාව හදන්න ඕනි. ඒ වගේම සුළු සුළු හැම තැනදිම අපිට වෙන අපහසුතා ගැන දොස් පවරන්නේ නැතිව රජය ගෙනයන හොඳ වැඩපිළිවෙළට සහාය දැක්වීම වගකිව යුතු පුරවැසියකුගේ වගකීමක් වෙනවා.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published.