දැන් ඔය සන්ග්ලාසස් නැතිනම් ෂේඩ්ස් ගත්තහම, ඉස්සර කාලෙට වඩා සෑහෙන ප්‍රමාණයක් මිනිස්සු සන්ග්ලාසස් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අර ඉස්සර සන්ග්ලාස් දාගත්තු කෙනෙක් දිහා හරි අමුතුයි වගේ මිනිස්සු බැලුවට, දැන් එහෙම එකක් නෑ. සන්ග්ලාස් දෙකක් කියන්නේ අවශ්‍ය දෙයක් කියලත්, සන්ග්ලාස් දෙකක් ඇස් ආරක්ෂාවට වගේම ෆැෂන් එකටත් අදාළයි කියලත් ගොඩක් අය දන්නවා. ඒ නිසාම ගොඩක් දෙනෙක් සන්ග්ලාස් මිලදී ගන්නවා. හැබැයි එකක්. අනික් හැම දේකටම වගේ සන්ග්ලාස් දාන එකටත් මැනර්ස් තියෙනවා. සන්ග්ලාස් දෙකක් හරියට පාවිච්චි කරන්න හරි උපචාර විධි තියෙනවා. ඇත්තටම ඒවා නොදන්න සමහරු තමයි ඔය කාමරයක් ඇතුළේ එහෙම සන්ග්ලාස් දාගෙන ෆොටෝ අරන් ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් එකට දාන්නේ. දැන් කාමරයක් ඇතුළේ සන්ග්ලාස් දාගෙන හිටියා කියලා කවුරුවත් මැරෙන්නෙ නෑ, සන්ග්ලාස් දෙකට හානියක් වෙන්නෙත් නෑ. හැබැයි ඒක ගැලපෙන්නෙ නෑ. ආන්න ඒ නිසා තමයි සන්ග්ලාස් එටිකට් නැතිනම් සන්ග්ලාස් දානකොට දැනගෙන ඉන්න ඕන මැනර්ස් ගැන හොයලා බලන්න අවශ්‍ය වෙන්නේ. එතකොට නියම ජෙන්ට්ල්මන් කෙනෙක්, ලේඩි කෙනෙක් වගේ සන්ග්ලාස් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා!
1. රෑටත් සන්ග්ලාස් දාන්න එපා!
කළුවරට සන්ග්ලාස් දාන එක දෙයාකාරයකට අප්සට්. හැබැයි මෙතනදී අපි කියන්නේ මහ රෑ කියන එකම නෙවෙයි. ඉර බැහැලා කළුවර වැටීගෙන එන හවස් වරුවේ ඉඳලා ඉර හොඳින් පායලා නැති උදෑසන කළුවරත්, එතකොට ඔය දවස මැද වහින්න යනකොට එහෙම වැටෙන කළුවරත් මේකට අදාළයි. එකක් තමයි ආරක්ෂාව. අපි තද හිරු එළිය තියෙන වෙලාවට සන්ග්ලාස් දැම්මට ප්‍රශ්නයක් නෑ, අපිට වටපිටාව හොඳට පේනවා. හැබැයි අපි ඒ තරම් ආලෝකයක් නැති අඳුරු වෙලාවක සන්ග්ලාස් දානවා කියන්නේ අපේ පෙනීමත් සීමා වෙනවා කියන එක. විශේෂයෙන්ම ඒ වගේ වෙලාවක සන්ග්ලාස් දාගෙන වාහන එළවන එක එහෙම ඉතාම අන්තරායදායකයි. දෙවෙනි කාරණේ නම් ඉතින් සරලයි. අඳුරු වෙලාවක ඉර එළියට දාන සන්ග්ලාස් දාගෙන ඉන්නවා කියන්නේ තමන්ව ජෝක් එකක් විදියට පේනවා කියන එක තමයි.
හැබැයි සන්ග්ලාස් දෙක තමන්ගේ සිග්නේචර් එකක් වුණු තරු නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට හෝ වෙනත් තරු තමන් වෘත්තියට අදාළව පෙනී ඉන්න තැනකදී මේක අදාළ නෑ.
2. ඇතුළට යනකොට සන්ග්ලාස් එපා!
අපි කලිනුත් කිව්වා වගේ, සන්ග්ලාස් කියන නමේම තියෙන විදියට මූලිකවම සන්ග්ලාසස් දාන්න ඕන හිරු එළියට. අන්න එතකොට තමන් යම් කිසි ඇතුළකට යනවා නම් සන්ග්ලාසස් දාන්න ඕනෙ නැහැනේ. ඒක සන්ග්ලාස් මැනර්ස් වලටත් විරුද්ධයි. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න, ඇතුළකට යනවා නම් සන්ග්ලාස් කුට්ටම ගලවා ගන්න. ඇත්තටම ඇතුළකදී සන්ග්ලාස් දාගෙන ඉන්න එක අශෝභන, අවිනීත දෙයක් කියලා තමයි සැලකෙන්නේ.
තමන්ගේ ඇස් වල ප්‍රශ්නයක් තියෙන අවස්ථාවකදී ඇතුළකදී වුනත් සන්ග්ලාසස් පැළඳගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි ඇතුළකට ගිහින් කාව හරි මුණගැහෙනවා නම්, තමන් සන්ග්ලාසස් පැළඳ සිටීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කළ යුතුයි. අන්න ඒක තමයි හරි විදිය.
3. එළියෙදී වුනත් මිනිස්සු හඳුනාගන්නකොට එපා
සාමාන්‍යයෙන් අපි එළිමහනකදී වුනත් සන්ග්ලාස් ගලවන්න ඕන අවස්ථාවන් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට එළියෙදී කෙනෙක්ව හඳුන්වලා දෙනවා කියන්න. අන්න එතකොට අපි ආචාර සමාචාර කළ යුත්තේ මුලින්ම සන්ග්ලාසස් ගලවලා. මොකද, එහෙම ආචාර සමාචාර කරනකොට අයි කොන්ටැක්ට් නැතිනම් ඇස් දිහා බැලීම යහපත් දෙයක් සහ අවශ්‍ය දෙයක් කියලා සැලකෙන නිසා. එහෙම නැතුව සන්ග්ලාසස් දාගෙනම අතට අත දීලා “නයිස් ටු මීට් යූ” කියන්න ගියහම අපිව පේන්නේ අවිනීතයෙක්, උද්දච්චයෙක් විදියට. අනික අපි අනෙක් කෙනාගේ හිත තුළ අපි සම්බන්ධයෙන් ඇති කරන මුල් හැඟීම හොඳ එකක් වෙන්නෙත් නෑ එහෙම කළොත්.
4. සන්ග්ලාසස් ඔළුවේ, සන්ග්ලාසස් බෙල්ලේ
සන්ග්ලාසස් කියන්නේ ඉර එළියට අපේ ඇස් නිරාවරණය වීමෙන් ඇතිවෙන්න පුළුවන් හානි සහ අපහසුතාවය වළක්වා ගන්න පාවිච්චි කරන පැළඳුමක් තමයි. හැබැයි ඒ එක්කම සන්ග්ලාසස් කියන්නේ ෆැෂන් ස්ටේට්මන්ට් එකකුත් වෙනවා. ඒක හරි. හැබැයි සන්ග්ලාසස් දෙකක් කියන්නේ හෙඩ්බෑන්ඩ් එකක්, කරාබු දෙකක් වගේ පැළඳුමක් නෙවෙයි. හැබැයි සමහරු ඉන්නවා ඒ විදියටත් සන්ග්ලාසස් පාවිච්චි කරන. උදාහරණ ගමු. සමහරුන්ගේ සන්ග්ලාසස් දෙක දවසම තියෙන්නේ ඔලුව උඩ. එතකොට තවත් සාපේක්ෂව අලුත් – ගොඩක් වෙලාවට කොල්ලන්ගේ- ෆැෂන් එකක් තමයි සන්ග්ලාසස් දෙක බෙල්ල පිටිපස්සේ රඳවලා තියාගැනීම.
මේ දෙකේම අවුලක් නෑ. හැබැයි මේ දෙකම කළ යුතු වෙලාවක් තියෙනවා. ඔන්න අපි සන්ග්ලාසස් දාගෙන කොහේ හරි යනවා. දැන් අපිට මගදී සුපර්මාකට් එකට යන්න වෙනවා මොනවා හරි ගන්න. අන්න එතකොට සන්ග්ලාසස් දෙක ගලව ගලව ඉන්නෙ නැතුව ඔලුවට උස්සගත්තත්, ගලවලා බෙල්ලට දාගත්තත්, ගලවලා ෂර්ට් එකේ ගහගත්තත් අවුලක් නෑ. හැබැයි අපි සැලකිය යුතු වෙලාවක් රැඳෙන ඇතුළකට ගිහිල්ලත් එහෙමම ඉන්නවා නම් අන්න ඒක ඒ තරම් ලස්සන නෑ. ඒ වෙලාවට කරන්න ඕන දේ තමයි එක්කෝ සන්ග්ලාසස් අතේ රඳවාගන්න එක හෝ ප්‍රවේසමෙන් පෙට්ටියට දාලා අරන් තියන එක.
5. කණ්ණාඩියක් වගේද?
සමහරු ඉන්නවා සන්ග්ලාසස් කියන්නේ කණ්ණාඩියක් විදියට පාවිච්චි කරන. ඒ කියන්නේ සන්ග්ලාසස් වල වීදුරුවෙන් මූණ බලලා කොණ්ඩේ හදාගන්නවා වගේ වැඩ කරන. ඒක ලොකු අවුලක් නෑ තමන් තනියම ඉන්නකොට නම්. හැබැයි එහෙම නැතුව තවත් කෙනෙක් හෝ පිරිසක් එක්ක සංවාදයක ඉන්න වෙලාවක හෝ පිරිසක් අතර ඉන්න වෙලාවක එහෙම තමන්ගේ සන්ග්ලාසස් කණ්ණාඩියක් විදියට පාවිච්චි කරලා අරක මේක හදාගන්න එක පොඩ්ඩක් අවුල්.
ඒ වගේම තමයි, වෙන කෙනෙක් පැළඳගෙන ඉන්න සන්ග්ලාසස් දෙකක් දිහා බලලා, ඒක කණ්ණාඩියක් විදියට පාවිච්චි කරන එකත් ඊට වඩා අවුල්. ඒක අශෝභනයි.
හැබැයි ඉතින් තමුන් රහස් ඔත්තු කාරයෙක් එහෙම නම්, තමන් පැළඳගෙන ඉන්න සන්ග්ලාසස් දෙක ගලවලා, ඒකේ වීදුරුවෙන් තමුන්ගේ පිටිපස්සේ සිද්ධ වෙන දේවල් දිහා බලන්න පුළුවන්. ඒකට කමක් නෑ!
6. හරි සන්ග්ලාසස් තෝරාගැනීමත් වැදගත්
මේක සන්ග්ලාසස් වලටත් අදාළ, හැබැයි ඊට සීමා නොවී එතැනින් එපිටටත් යන දෙයක්. දැන් අපි සන්ග්ලාසස් මිලදී ගන්න ගියහම එක එක වර්ගයේ සන්ග්ලාසස් තියෙනවනේ. තමන්ට ගැලපෙන සන්ග්ලාස් කුට්ටමක් එතනින් තෝරගන්න එකත් එක්තරා විදියක චැලේන්ජ් එකක්. හැබැයි තමන්ගේ මූණේ හැඩයට සහ ප්‍රමාණයට ගැලපෙන හැඩයකින් සහ ප්‍රමාණයකින් යුතු සන්ග්ලාසස් තෝරාගැනීම ප්‍රමාණවත් නෑ. තමන් ඒවා පාවිච්චි කරන අවස්ථාව ගැනත් හිතන්න ඕන.
උදාහරණයක් විදියට කිවුවොත්, අර පාට පාට ලොකු ෆ්‍රේම් තියෙන සන්ග්ලාසස් දෙකක් අපි ආස හිතිලා ගන්න පුළුවන්. හැබැයි ඒක ඔෆිස් කිට් එකකට තියා ස්මාට් කැෂුවල් කිට් එකකටවත් ගැලපෙන එකක් නෑ. ඒක හොඳයි විනෝද චාරිකාවක් යනකොට දාන්න නැතිනම් බීච් එකට යනකොට දාන්න. ඉතින් මෙන්න මේ අවස්ථාවට ගැලපෙන සන්ග්ලාසස් පාවිච්චි කරන එකත් සන්ග්ලාස් මැනර්ස් වල එක කොටසක්. හොඳම දේ තමයි හැම මොහොතකටම ගැලපෙන ඩීසන්ට් සන්ග්ලාස් කුට්ටමක් ලඟ තියාගන්න එක. අර ෆන්කි සන්ග්ලාසස් වලටත් ආස නම්, ඒකත් ඒ වගේ අවස්ථාවකට දාන්න මිලදී ගන්න පුළුවන් ඉතින්.
7. සන්ග්ලාසස් කියන්නෙත් සපත්තු වගේ තමයි
දැන් අපි සපත්තු දානවනේ. සපත්තු දානකොට අපි මඩ ගෑවුණු, කැඩිලා ඉරිලා තියෙන සපත්තු දෙකක් දිගටම දාගෙන යනවද? හරි නම් නෑනේ. සපත්තු පරණ වෙන්න පුළුවන්, හැබැයි අපි ඒවා හරියට පවත්වා ගන්නවනේ. අන්න ඒ වගේ තමයි සන්ග්ලාසස් කියන්නෙත්. සන්ග්ලාසස් දෙකක් කොයි තරම් පට්ට ගැහුවත් කමක් නෑ. හැබැයි ඒක හරි හැටි පවත්වා ගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, පාවිච්චි නොකරන වෙලාවට, තමන් අතේ තියෙන එක අවදානම් වෙලාවට සන්ග්ලාසස් දෙක ආරක්ෂිත තැනක තැන්පත් කරන එක හොඳයි. වඩාත් හොඳයි සන්ග්ලාසස් දෙකේ පෙට්ටියේම දාලා තියන එක. ඒ වගේම සන්ග්ලාසස් දවසේ මුලින්ම පාවිච්චි කරන්න පටන් ගන්න කලින් අර මයික්‍රෝෆයිබර් රෙදි කෑල්ලකින් වීදුරු පිහිදාලා එහෙම පැළඳගන්න එකත් හොඳ දෙයක්.
එහෙම නැතුව වීදුරු වල පැල්ලම් ගැහුණු, ෆ්‍රේම් එකේ පොතු ගැලවුණු, ඇද වුණු සන්ග්ලාසස් දෙකක් පාවිච්චි කිරීම ඒ තරම් අපි ගැන හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ලබාදෙන්නෙ නෑ.
Leave a Reply