රජ බිසෝවරු වුණු සාමාන්‍ය පවුල්වල තරුණියෝ

අපේ ඉතිහාසය ගැන කියැවෙද්දී රජවරු ගැන සඳහන් කරද්දී අපිට මුණ ගැහෙන වචනයක් තමයි “උභයකුල පාරිශුද්ධ” කියන වචනය. ඒකෙ තේරුම තමයි මවුපිය දෙපාර්ශවය ම උසස් කුලවලට අයත් කියන තේරුම. සරලවම කියනවා නම් ඊළඟ රජු වෙන්න උරුමකම් තිබ්බේ මවුපිය දෙපාර්ශවයම රාජ වංශයට අයිති නම් විතරයි. ධාතුසේන කාශ්‍යප ගැටුම ඇති වෙන්නෙත් ඔය වගේ ප්‍රශ්නයක් හින්දා. ඒ වගේ සාලිය කුමාරයට රජකම අහිමි වෙන්නෙත් අශෝකමාලා නම් චණ්ඩාල තරුණියක් එක්ක විවාහ වීම නිසා. හැබැයි මේ වෙද්දි ලෝකෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අද වෙනකොට සාමාන්‍ය තරුණියකට රජ බිසවක් වෙන්න පුළුවන්. මේ ඒ වගේ වාසනාවන්ත වුණ තරුණියන් කීප දෙනෙක් 

 

1. මසාකෝ අධිරාජිනිය 

ගිය වසරේ දී දීර්ඝ කාලයක් ජපානය පාලනය කරපු අධිරාජයා වන අකිහිතෝ අධිරාජයා රජකමින් ඉවත්වෙන්න තීරණය කළා. ඒ අනුව කිරුළ හිමිවූයේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වුණු නරුහිතෝ කුමාරයාට. නරුහිතෝ අධිරාජයා බවට පත්වීමත් එක්ක ජපානයේ අධිරාජිනිය බවට පත්වුණේ මසාකෝ කුමරිය. ඇය රාජ වංශයට අයිති තැනැත්තියක් නම් නෙමෙයි. ඇගේ පියා රාජතාන්ත්‍රිකයෙක් විදිහට සේවය කරපු පුද්ගලයෙක්. මසාකෝ කුමරියගේ බලාපොරොත්තුව වුණෙත් තාත්තා වගේම ජපානය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සේවයක් කිරීම. නමුත්  තේ සාදයකදී මුණගැහෙන ජපානයේ කිරුළ හිමි නරුහිතෝ නිසා ඒ සියල්ල වෙනස් වෙනවා. වතාවන් කීපයකදීම නරුහිතෝගේ ආරාධනා ඇය ප්‍රතික්ෂේප කරන්නේ ඔහුට කැමැත්ත දුන්නොත් තමන්ගේ වෘත්තීය ජීවිතය අවසන් කරන්න වෙන නිසා. නමුත් දිගින් දිගටම නරුහිතෝ කරපු ඉල්ලීම අහක දාන්න බැරි නිසා අවසානයේදී ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. මුල් කාලයේදී ඇයට දරුවන් නොලැබීම ජපානය තුළ විශාල ගැටලුවක් බවට පත් වෙනවා. මේ නිසාම ඇය දැඩි ලෙස ආතතියට පත් වෙනවා. නමුත් ඒ සෑම අවස්ථාවකදීම නරුහිතෝ ඇය ළඟින්ම ඉන්නවා. මේ වෙන කොට ඔවුන් දෙදෙනාට අයිකෝ නමින් දියණියක් ඉන්නවා. නමුත් ජපානයේ නිතීයට අනුව ඇයට නරුහිතෝගෙන් පසුව කිරුළ හිමිවන්නේ නැහැ. නරුහිතෝගෙන් පස්සේ ඔහුගේ සහෝදරයාට සහ ඔහුගේ දරුවන්ට කිරුළ හිමිව යනවා. 

 

2. සුතිඩා රැජින

තායිලන්තයේ වර්තමාන රජතුමා වන  වජිරලොංග්කෝන් රජතුමා ඉතාමත් අන්දෝලනාත්මක චරිතයක්. වරින් වර ඔහු පුවත් මවනවා. උදාහරණයක් විදිහට පසුගියදා කොරෝනා වසංගත කාලය තුළ ඔහු තමන්ගේ කාන්තා පරිවාර සේවිකාවන් පිරිසක් සමග නැවක තනි වී නිරෝධායන සමය ගෙවීමට කටයුතු කරන බවට වාර්තා පළ වුණා. ඔහු සැලකෙන්නේ නොම්මර එකේ ස්ත්‍රී ලෝලියෙක් විදිහට. ඔහු මුලින්ම විවාහ වෙන්නේ තමන්ගේ මවගේ පාර්ශ්වයෙන් රාජ වංශයට අයිති තරුණියක් එක්ක. ඇයව දික්කසාද කිරීමෙන් පස්සේ ඔහු නිළියක් සමග විවාහ වෙනවා. නමුත් ඒ විවාහයත් සාර්ථක නොවීමෙන් පසු ඔහු තෝරා ගන්නේ සාමාන්‍ය තරුණියක්. හැබැයි ඉතින් ඔහු මේ විවාහයෙනුත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඊළඟට ඔහුගේ හිත නවතින්නේ ඒ වෙනකොට තමන්ගේ ආරක්ෂාව භාර බලකායේ ප්‍රධාන කාන්තා සෙබළියක් වුණු සූතිඩා ටිජායි වෙතට. තායිලන්තයේ සාමාන්‍ය පවුලකින් පැවත එන සුතිඩා, මේ විදිහට තායිලන්තයේ රැජින බවට පත් වනවා. කලින් විවාහ සිද්ධ වුණේ ඔහු කිරුළ හිමි කුමාරයා විදිහට ගත කරපු කාලය තුළ නිසා ඔවුන්ට රැජන වීමේ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට මාස කීපයකට පස්සෙ ඔහු විසින් තවත් උප බිසවක් නම් කළා. පසුව ඇය සුතීඩාට සහ රජුට අගෞරව වන ලෙස හැසිරීම නිසා ඇයව එම තනතුරෙන් පහ කිරීමට ඔහු තීරණය කළා.

 

3. රානියා රැජින 

රානියා අල් යාසීන් ඉපදෙන්නේ එවකට කුවේටයේ වාසය කරන පලස්තීන පවුලක. ධනවත් පවුලක උපත ලැබූ ඇයව උසස් අධ්‍යාපනය සඳහා දෙමව්පියන් විසින් ඊජිප්තු  විශ්ව විද්‍යාලයක් සඳහා යොමු කරනු ලබනවා. ඉන් පසුව පවුලේ සාමාජිකයන් සමඟ ඇය ජෝර්දානය වෙත පැමිණෙන්නේ සිටි බෑන්ක්හි අලෙවි ප්‍රවර්ධන කටයුතු වලට අදාළ රැකියාවක් ඇයට ලැබීම නිසා. ඉන්පසුව ඇය ඇය ආයතනයේ ජෝර්දාන ශාඛාවේ ටික  කලක් සේවය කරනවා. මේ අතරතුරේ දී ඇයට සාදයක දී එවකට ජෝර්දාන් කුමාරයකු ව සිටි අබ්දුල්ලා අල් හුසේන් කුමරු මුණ ගැසෙනවා. ඒ හමුවෙන් මාස හයකට පසුව ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. අබ්දුල්ලා කුමරු එවකට ජෝර්දානයේ රජකළ හුසේන් රජුගේ වැඩිමහල් පුත්‍රයා වුවත් ඒ වන විට පැවැති ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව හුසේන් රජුගෙන් පසුව කිරුළ හිමි වීමට නියමිතව තිබුණේ රජුගේ සහෝදරයා වුණු හසන් කුමරු හටයි. නමුත් හුසේන් රජු තම මරණයට සති දෙකකට පෙර එම නීතිය වෙනස් කර කිරුළ අබ්දුල්ලා වෙත පවරනවා. 1999 දී තිස්හත් හැවිරිදි අබ්දුල්ලා රජු බවට පත්වන විට එවකට 29 වන වියේ සිටි රානියා එවකට ලොව ලාබාලම රැජින බවට පත් වෙනවා.

 

4. ලැටීෂියා රැජින

එවකට ස්පාඤ්ඤයේ කිරුළ හිමි පිලිප් කුමරු තමන්ගේ පෙම්වතිය පිළිබඳව මාධ්‍යයට හෙළි කිරීමත් එක්ක සුවිශාල ආන්දෝලනයක් ඇති වුණා. ඊට හේතු කීපයක් බලපෑවා. ඒ ඇය ඒ වන විට දික්කසාද ව සිටි තැනැත්තියක් නිසා. ඒ වගේම ඇය සාමාන්‍ය පවුලක තැනැත්තියක්. ඇයගෙ පියා ජනමාධ්‍යවේදියෙක් වූ අතර මව හෙදියක් ලෙස කටයුතු කර තිබුණා. නමුත් ඔවුන් දෙදෙනාගේ විවාහයත් දික්කසාදයකින් කෙළවර වී තිබුණා. ස්පාඤ්ඤයේ ප්‍රධාන පෙළේ රූපවාහිනී ආයතන කීපයකම වාර්තාකාරිණියක් ලෙස කටයුතු කිරීම නිසා ලැටීෂියා නම් වූ ඇය ඒ වන විටත් ස්පාඤ්ඤය තුළ ජනප්‍රිය තැනැත්තියක්ව සිටියා. කතෝලික අති බහුතරයක් වෙසෙන රටක් වන ස්පාඤ්ඤයේ වැසියන් දික්කසාද වුණු තැනැත්තියක් තම අනාගත රැජින වීම පිළිබඳව එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. කෙසේ වෙතත් ඇගේ පළමු විවාහය දේව මෙහෙයකදී සිදු නොවීම නිසා එම විවාහය කතෝලික සභාව ඉදිරියේ වලංගු විවාහයක් ලෙස සැලකුණේ නැහැ. 2014 වර්ෂයේ දී පිලිප්ගේ පියා කිරුළ අත්හැරීමට තීරණය කළ අතර එතැන් පටන් ලැටීෂියා ස්පාඤ්ඤයේ රැජින බවට පත් වුණා.

 

5. මැටිල්ඩා රැජින

බෙල්ජියම නෙදර්ලන්තයෙන් නිදහස ලබා ස්වාධීන රාජ්‍යයක් බවට පත්වී සියවස් කීපයක් ගත වී තිබෙනවා. නමුත් බෙල්ජියම් ජාතික කාන්තාවක් පළමු වරට එරට රැජින බවට පත් වුණේ 2013 වර්ෂයේදී. මැටිල්ඩා නම් වූ ඇය අයත් වුණේ බෙල්ජියමේ දෙවන පෙළ රදල පවුලකට. කිරුළ හිමි පිලිප් කුමාරයා එතෙක් රජපවුලේ සම්ප්‍රදාය වුණු විදේශික රාජවංශයකින් විවාහයක් කර ගැනීමේ සම්ප්‍රදාය කඩා බිඳ දමමින් මැටිල්ඩාව විවාහ කර ගැනීමට තීරණය කළා. මේ සමගම දෙවැනි ඇල්බට් රජු මැටිල්ඩාගේ පවුල එරට පළමු පෙළ රදල පවුලක් ලෙසට උසස් කරනු ලැබුවා. විවාහයට පෙර ඇය කථන චිකිත්සකවරියක් ලෙස කටයුතු කර තිබුණා. ඒ වගේම මනෝ විද්‍යාව පිළිබඳව ඇය උපාධිධාරිනියක්.

 

6. මැක්සිමා රැජින 

ආජන්ටිනාවේ දේශපාලනයට සම්බන්ධ පවුලක උපත ලැබූ ඇයට සාමාන්‍ය ආජන්ටිනානු ළමයින් ට වඩා උසස් ළමා කාලයක් ලැබුණා. ඒ ඇගේ පියා එවකට ආජන්ටිනාව පාලනය කරපු ඒකාධිපතියාගෙ සමීප දේශපාලන හිතවතෙක් වීම නිසා. ස්පාඤ්ඤයේ පැවති උත්සව අවස්ථාවකදී ඇයට ඇගේ අනාගත සහකරු වන නෙදර්ලන්තයේ කිරුළ හිමි විලියම් ඇලෙක්සැන්ඩර් කුමාරයා මුණගැහෙනවා. නමුත් පළමු හමුවීමේදී ඇය දැනගෙන ඉන්නෙ නැහැ මේ තමන්ට මුණ ගැහෙන්නේ නෙදර්ලන්තයේ කිරුළේ උරුමක්කාරයා කියලා. තමන් කවුදැයි හඳුන්වා දීපු පළවෙනි අවස්ථාවේදී ඇය ඔහු විහිළු කරන බවට සැක කරනවා. නමුත් පසුව ඇය ඇත්ත තේරුම් ගන්නවා. ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම නෙදර්ලන්තය තුළ දැඩි ලෙස ආන්දෝලනයකට ලක් වෙන්නේ ඇගේ පියාගේ දේශපාලන ඉතිහාසය නිසා. කෙසේ වෙතත් මේ නිසාම ඔවුන් දෙදෙනාගේ විවාහයට මැක්සිමාගේ පියා සහභාගි වෙන්නේ නැහැ. 2013 වසරේදී විලියම් ඇලෙක්සැන්ඩර්ගේ මව බියට්‍රිස් රැජින කිරුළ අත්හැරීමට තීරණය කිරීමත් සමගම වසර සියයකට පමණ පසුව නෙදර්ලන්තයට රජ කෙනෙක්  ලැබුණා. (ඊට කලින් රැජිණියන් තිදෙනෙක් නෙදර්ලන්තය පාලනය කරනු ලැබුවා). මේත් සමගම මැක්සිමා ලෝකයේ පළමු ආජන්ටිනා ජාතික රැජින බවට පත් වුණා.

 

7. සොන්ජා බිසව

සොන්ජා ඉපදෙන්නේ නොර්වේ රටේ ඉහළ මධ්‍යම පංතික පවුලක. ඇගේ පියා එරට ප්‍රසිද්ධ රෙදි පිළි ව්‍යාපාරිකයෙක්. 1959 වර්ෂයේ පැවති සාදයක දී ඇයට එවකට නෝර්වේහි කිරුළ හිමි හැරල්ඩ් කුමරු මුණ ගැසෙනවා. ඔවුන් වසර නමයක් පෙම්වතුන් ලෙස කාලය ගත කළත් ඔවුන්ගේ සම්බන්ධතාවය රහසක් ලෙස පවත්වා ගන්නේ ඇය සාමාන්‍ය පවුලකට අයත් තැනැත්තියක් නිසයි. හැරල්ඩ් කුමරුගේ පවුලේ  සාමාජිකයන් ඔහුට ඩෙන්මාර්ක හෝ ස්වීඩන් රජ පවුල්වලින් කුමාරිකාවක් සමඟ විවාහ වන ලෙස ඉල්ලීම් කරනවා. නමුත් ඔහු එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නේ, යම් හෙයකින් තමන්ට සොන්ජා විවාහ කර ගැනීමට නොහැකි වුවහොත් තමන් කිසි දිනෙක විවාහ නොවන බවට තර්ජනය කරමින්. අවසානයේදී හැරල්ඩ්ගේ පියා වන පස්වැනි ඔලොව් රජු විවිධ පාර්ශ්ව සමඟ කතා බහ කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට විවාහ වීමට අවසර ලබා දෙනවා. ඔලොව් රජුගේ මරණයෙන් පසුව හැරල්ඩ් සහ සෝන්ජා සහ එරට රජු සහ රැජින බවට පත් වෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *