බුකි කොමෙන්ට් අස්සේ ඉන්න ලංකාවේ මිනිස් වර්ග

සකර්බර්ග් මොන හේතු නිසා බුකිය හැදුවද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි අපි එක දෙයක් දන්නවා. ඒ තමයි උන්දැට පින් සිද්ධ වෙන්න ලංකාවේ මොන සංගණනවලටවත් අහු වුණේ නැති මිනිස්සු ටිකක් අපිට හොයාගන්න පුළුවන් වුණ එක. බුකියේ නැති අපේ අම්මලා තාත්තලා කිව්වට විශ්වාස කරන්නේ නැහැ මෙහෙම අය ඉන්නවා කියලා. හැමෝගේ ම දැනගැනීම පිණිස නිතර ඇහැ ගැහෙන එහෙම ජනවර්ග කීපයක් ගැන ලියන්න හිතුණා.

 

1. උපදේශක 

දැන් හිතන්නකෝ ගෑණු ළමයෙක් ටිකක් කොටට ඇඳලා පොටෝ එකක් දැම්මා, කොල්ලෝ ටිකක් එක්ක සැල්පියක් ගැහුවා, ටික්ටෝක් වීඩියෝ එකක් කරා. අන්න ඒ වෙලාවට උපදේශකට පොඩි නොටිෆිකේෂන් එකක් එනවා ඒ ගැන. ඒ වෙලාවට එයා සෑහෙන උපදෙස් තොගයක් අතාරිනවා. සාමාන්‍ය ගෑණු ළමයින්ටත් වඩා නිළියන්ට මේ උපදෙස් සපයනවා වැඩියි. මේ ළඟදී එහෙම කෙනෙක් දිනක්ෂි ප්‍රියසාද්ට උපදෙස් දෙන්න ගිහින් රාජකීය විදියට බයිට් වෙලා තිබුණා. 

 

2. ටෙලිෆෝන් ඔපරේටර් 

මෙයාලා හිතන්නේ නාදුනන මිනිස්සු එක්ක කතා කර කර හුරතල් වෙනවට වඩා දෙයක් ලංකාවේ ගෑණුන්ට නැහැ කියලයි. එයාලා බුකියට එන්නෙම තමන්ගේ ෆෝන් නම්බර් එක කොහේ හරි අලවන්න බලාගෙන. අපි මේ කතා කරන පුද්ගල කණ්ඩායම් ඔක්කොටම වගේ තියනවා ඉංග්‍රීසි සාක්ෂරතාවේ අවුලක්. ඉතින් නම්බර් එක අලවන ගොඩක් ම පහසු විදිය තමයි “col mi 07-1234567” විදියට ඒ දේ කරන එක. ඔය නම්බර් කෑලිවලට කතා කරන අයත් ඇතිනේ.

 

3. වහල් බල්ලා 

එක එක විදියේ බල්ලෝ මේ ලෝකේ ඉන්නවා. පාරේ වල බල්ලෝ ඉන්නවා. බුකියේ වහල් බල්ලෝ ඉන්නවා. වහල් බල්ලෝ කොමෙන්ට්වල විතරක් නෙවේ වසංගතේ වගේ බුකිය පුරාම ඉන්නවා. වැඩේ කියන්නේ නිකන් උන්ගේ ආගමට බඳවාගන්න වගේ අදාළම නැති ඒවාට කොමෙන්ට් කර කර වහල් බයිලයක් ගැන කියවන එක. වහල් බල්ලාගේ කොමෙන්ට් එකක අන්තර්ගතය සරලවම කිව්වොතින් එයාලාට ඕනි ගෑණු ගාව වහලෙක් වගේ සේවය කරන්න. ඒ කිව්වේ නිකන් ම සර්වන්ට් වැඩ නෙවෙයි. බල්ලෙක් වගේ දෙපා මුල වැටීගෙන ඒ දේ කරන්න මෙයාලා ආසයි. මේ පිස්සෝ නම් පොලිසියට අල්ලලා දෙන්න ඕනි.

 

4. ෆට් ෆට් 

ෆට් ෆට් ජාතිකයෙක් ඔබ තමුන්නාන්සේලා හැමෝගෙම ලිස්ට්වල ඉන්න ඕනි. තමන්ගේ නැතත් 2000න පස්සේ වගේ ඉපදුණු තමන්ගේ මල්ලිගේ බුකි ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඕනි. මේකේ මූලය වෙන්නේ “පට්ට” කියන වචනයයි. ඒක ටිකක් මොඩිෆයි වුණා “ෆට්ට” කියලා. ඒක කෙටි වුණා ෆට් කියලා. ඉතින් දැන් ඕක එක පාරක් කිව්වම හරිනේ. එහෙම එකකින් මෙයාලා සැලෙන්නේ නැහැ. මන්තරේ ජප කරනවා වගේ ෆට් ෆට් එක එන්නේ. දැන් ඒකෙත් තව එක්ස්ටෙන්ඩ්ඩඩ් වර්ෂන් එකක් ඇවිල්ලා. ඒ තමයි “ෆට්නස්”

 

5. අන්කල් ලයිෆ් 

අන්කල්ලා එක්ක බලද්දී අනෙක් හැම වර්ගේක ම කොමෙන්ට් දාන ​අය පදිරි මහත්තයෝ. වැඩේ කියන්නේ මෙයාලා ලස්සන ගෑල්ලමයිව කොහොම හොයාගන්නවද කියන එකයි. එහෙම හොයාගෙන දාන කොමෙන්ට්වල ඔක්කොම තියනවා හරිහමන් ඉස්පිලි පාපිලි විරාම ලක්ෂණ ව්‍යාකරණ වගේ දේවල් හැරුණු කොට. ආදර කතාත් හරි හරියට. සුජීව ප්‍රසන්නාරච්චිලා කැලේ. තව රෝස මල් යවනවා. ආදරේ ඉල්ලනවා. කොහොම හරි අද කාලේ කොල්ලොන්ට නැති හොඳ ආත්ම විශ්වාසයක් මේ අන්කල්ලාට තියනවා.

 

6. මේ ඔයා ද?

මේ ඔයා ද කාණ්ඩය මේ ජනවර්ග අතරින් ඉන්න කොමන් සෙන්ස් නැතිම කට්ටිය විදියට හඳුන්වන්න පුළුවන්. ගොඩක් ගෑණු ළමයි ඉතින් තමන්ගේම පින්තූරු බුකියට අත අරින්නේ නැහැනේ. කොරියන් කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් වගේ බබා හුකුම් තමයි තියෙන්නේ. ඉතින් සිහිකල්පනාවක් තියෙන අයට තේරෙනවා මේ ලංකාවේ මනුස්ස පරාණයක් නම් වෙන්න බැරි බව. ඒත් අපේ මේ ජනවර්ගය නියෝජනය කරන අය සිංහල නමක් තියන දැරිවියෙකු දාපු කොරියන් අටමගලෙකට මේ ඔයාද කියලා අහනවා. 

 

7. සෙක්ස් ලෙඩ්ඩු 

ඉන්න අප්‍රසන්න ම කට්ටියව ඉතින් අන්තිමට දැම්මා. තම තමන්ට තියන ලිංගික අසහනකම් එළියට දාන්න එයාලා තෝරාගන්නේ බුකිය. ඉතින් මෙහෙම අය නූගත් මිනිසුන් අතර වගේ ම ඉතාම බුද්ධිමත් පුද්ගල කණ්ඩායම් අතරෙත් දකින්න පුළුවන්. සරලවම කිව්වොත් ගෑල්ලමයෙකුගේ රූපයක් දැක්කම තමන්ට දැනෙන හැඟෙන දේ කිසි විලිලැජ්ජාවක් නැතුව කියන එක තමයි මෙයාලා කරන්නේ. සමහර වෙලාවට මෙහෙම දේවල් දකිනකොට මතක් වෙන්නේ ලංකාවේ පොදු වැසිකිළිවල බිත්ති. එතකොට හිතෙනවා මේ දේවල් කුරුටු ගාන අයම ද මේ ෆෝන් කබල්වලිනුත් එන්නේ කියලා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *