ලෝක යුද්ධයකදී එළියට එන්න පුළුවන් ලොව බලගතුම මිසයිල

ලෝක යුද්ධයක් ගැන 2020 පටන් ගන්නකොටම පොඩි රාවයක් ආවා. ඒ අමරිකාව විසින් ඉරානයේ හමුදා නායක කාසිම් සුලෙයිමානි ඝාතනයත් එක්ක. ඒත් ඒ මෙව්වා එහෙමම යට ගියා. යට යන්න එක හේතුවක් තමයි ඉරානයට හොඳ මිසයිල බලයක් තිබීම. ඉරානයට ඇමරිකානු සොල්දාදුවන් ඝාතනය කරන්න බැරි වුනත් අමරිකානු කඳවුරුවලට මිසයිල ගහලා සැර අලාබහානියක් කරන්න හැකි වුනා. ඒ එක්ක එතෙක් කැත්තට පොල්ල වගේ උන්න ඇමරිකාවත් ටිකක් සාම මෝඩ් එකට ඇවිත් අපිට යුද්ධ කරන්න ඕනි නැහැ කියලා කිව්වා. ඊළඟ තුන්වෙනි ලෝක යුද්ධයක් කියන්නේ කවුරුත් අපේක්ෂා කරන දෙයක් නෙමෙයි. ඒත් එහෙම එකක් වුනොත් මොන වගේ මිසයිල වර්ග පාවිච්චි වෙයිද කියලා අපි නිකමට හොයා බලමු.

 

1. SS-N-30

2017 වර්ෂයේදී සිරියාවේ කැරළිකරුවන්ට එරෙහිව රුසියාවෙන් මේ මිසයිල පාවිච්චි කළා. මේ මිසයිල කැස්පියන් මුහුදේ නවතා තිබූ රුසියානු යුධ නැව් වලින් කිලෝමීටර 1600කටත් වඩා දුර ඉලක්ක වලට එල්ල කරලා තිබුනා. මේ මිසයිල එල්ල කරන අවස්ථාවේ ඒ ගැන අමරිකා පෙන්ටගනය වැඩි විස්තරයක් දැනන් උන්නේ නැහැ. ඒත් හොඳට පුරුදු පුහුණු වුණු රුසියානු භටයෝ මේ මිසයිල ඉලක්ක වලට ගාණට මෙහෙයවූවා. ඒ අවස්ථාවේදී මේ මිසයිල ත්‍රස්ත පුහුණු මධ්‍යස්ථාන, අණ දෙන ස්ථාන, තෙල් සහ අවි ගබඩා, ආදියට එල්ල කළා.

 

2. LGM-30 Minuteman III ICBM

අන්තර්ජාතික බැලස්ටික් මිසයිල ඝනයට වැටෙන මේ මිසයිල අමරිකාව සතු ප්‍රබල අවියක්. මේ මිසයිල වර්ගය 1950-60 ඉඳන් ඇමරිකාවෙන් දියුණු කරලා තියෙනවා. දැන් තියෙන මිසයිල ඉස්සර හදාපු ඒවාට වඩා ඉලක්ක වලට එල්ල කරන්න හැකියාව තියෙනවා. මේ වර්ගයේ මිනිට්මන් වර්ගයේ මිසයිල 450කටත් වැඩි ප්‍රමාණයක් අමරිකාවේ මොන්ටාන්, වයොමින්, උතුරු ඩකෝටා වල තියෙනවා කියලා විශ්වාස කරනවා. මේ මිසයිල ගයිඩඩ් මිසයිල විදිහට දියුණු කරන්න ගුවන් යානා නිෂ්පාදනය කරන බෝයින් සමාගමත් සහාය වෙලා තියෙනවා. අදියර තුනකට ක්‍රියාත්මක වෙන මේ මිසයිල කිලෝමීටර 10,000ක් තුළ ඉලක්ක වලට එල්ල කරන්න පුළුවන්.

 

3. RS-28 Sarmat “Satan 2”

මේ රුසියන් මිසයිල වලින් රුසියාවට උතුරු ධ්‍රැවයේ සිට දකුණු ධ්‍රැවය දක්වා ඕනැම තැනකට ප්‍රහාර එල්ල කරන්න පුළුවන්කම තියෙනවා. කියලා තියෙන විදිහට මේ මිසයිලය කිලෝමීටර 11,000ක් තුළ ඉලක්ක වලට එල්ල කරන්න පුළුවන්. අරං යන්න පුළුවන් පුපුරණ ද්‍රව්‍ය එක්ක බැලුවාම මේ එක මිසයිලයකින් ප්‍රංශය හෝ ටෙක්සාස් වැනි ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම විනාශ කරන්නත් හැකියාව තියෙනවා. පරමාණුක හිසක්ද සවිකරන්න පුළුවන් මේ සාතන් මිසයිලය වගේ විනාශකාරී ඒවා නම් කවදාවත් පාවිච්චි කරන්න නොලැබේවා කියලා තමයි ලෝකේ සාමයට ලැදි ගොඩක් අය ප්‍රාර්ථනා කරන්නේ.

 

4. DF-41

චීනය සතු අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල අතර ප්‍රබලම එකක් තමයි මේ. කිලෝමීටර 12,000ක් දුර විදින්න පුළුවන් මේ මිසයිලයෙන් චීනයට තමුන්ගේ රටේ ඉඳලාම ඇමරිකාවට රුසියාවට සහ යුරෝපයට ප්‍රහාර එල්ල කරන්නට හැකියි. ඉලක්කයට දුර කිලෝමීටර 10,000ක් වුනත් මේ මිසයිලය ඉලක්කයට ළඟා වෙන්න විනාඩි 20-25ක් තමයි ගත වෙන්නේ. චීන සැටලයිට් නැවිගේශන් සිස්ටම් වලින් ලොකේශන් හොයාගෙන ටාගට් එක වඩාත් නිවැරදිව ලබාගන්න මේ මිසයිලයට පුළුවන්.

 

5. Tomahawk Cruise Missile

සබ්මැරීන් සහ යුධ නෞකා වල ඉඳන් කිලෝමීටර 2500ක් තරම් දුර පරාසයකට විදින්න පුළුවන් මේ මිසයිල අමරිකානු නිෂ්පාදනයක්. පැයට කිලෝමීටර 900ක වේගෙන් යන්න පුළුවන් මේ මිසයිලය නූතන ගයිඩින් සිස්ටම් අනුව ඉලක්ක වලට එල්ල කරන්නට හැකි ලෙස හදලා තියෙනවා. 1984 නිපදවපු මේ මිසයිලය හදපු කාලයට වඩා අද සැටලයිට් නැවිගේෂන් පරමාණුක තාක්ෂණය දියුණුයි. අමරිකාව විසින් මේ නවීන අංග යොදලා මේ මිසයිල දැන් නවීකරණය කරලා ඇති කියලා තමයි යුධ විශේෂඥයෝ විශ්වාස කරන්නේ.

 

6. Jericho III

අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල කාණ්ඩයේ මේ මිසයිලය ඊශ්‍රායලයේ නිෂ්පාදනයක්. මේ මිසයිලයෙන් ඊශ්‍රායලයට යුරෝපයේ, මැදපෙරදිග, අප්‍රිකාවේ, ආසියාවේ ස්ථාන ඉලක්ක කරන්න පුළුවන් ඊශ්‍රායලයේ සිටම. පරමාණුක අවි කොටස් වුනත් එකතු කරන්න පුළුවන් මේ මිසයිලය නවීන තාක්ෂණය අනුව වඩාත් නිවැරදි ඉලක්ක වලට ටාගට් කරන්න පුළුවන් එකක්. කුඩා කාන්තාරබද රටක් වුනත් ඊශ්‍රායලයට මේ අන්තර්මහද්වීපික ජෙරිකෝ 3 මිසයිලය වගේම මැද දුර ජෙරිකෝ 2 වගේම කුඩා මිසයිල වර්ග කිහිපයකුත් තියෙනවා.

 

7. Agni Missiles I-VI

මේ මිසයිල රොකට් හදන්න මූලකත්වය ගත්ත කෙනෙක් තමයි ඉන්දියාවේ අබ්දුල් කලාම්. අබ්දුල් කලාම් මහත්තයා අපිට ළඟම ඉන්දියාවේ රාමේශ්වරම් වල ඉපදිලා ඉන්දියාවේ ජනාධිපති පුටුවටත් ගියා. අග්නි මිසයිල පද්ධතිය දකුණු ආසියාවේ තිබෙන ප්‍රබලතම යුධ අවියක්. 2017-18 කාලේ තවත් වැඩිදියුණු වුණු අග්නි මිසයිල මගින් පහසුවෙන්ම චීනයේ ඕනෑම ලෝකේශන් එකකට කෙලින්ම ඉන්දියාවේ සිට ප්‍රහාර එල්ල කරන්න ඉන්දියාවට හැකිවෙලා තියෙනවා. මෙයින් අග්නි 3 මිසයිලය ලෝකයේ වඩාත්ම නිවැරදිව ඉලක්කයට එල්ල කළ හැකි මිසයිල ලැයිස්තුවේ මුලට ඇවිල්ලා තියෙනවා. තාක්ෂණය අතින් අපිට ආසන්නතම රට මේ ආකාරයෙන් දියුණු වීම ගැන සතුටු වුනත් යම් කිසි විදියකින් යුධමය වාතාවරණයක් ඇතිවුනොත් ලංකාවටත් මේ මිසයිල සහ ඉන්දියානු පරමාණුක අවි වල බලපෑම සුළු කොට තකන්න බැහැ.

8. M51

ප්‍රංශයේ එම් 51 මිසයිලය සබ්මැරීන් වල සිට ටාගට් වලට එල්ල කරන්න පුළුවන්. මේකෙන් කිලෝමීටර 8000ක පරාසයේ ඕනෑම තැනක් ඉලක්ක කරන්නත් හැකියි. මේ මිසයිලයට කිලෝමීටර 4500ක් තරම් දුරක් විනාඩි 20කින් ළඟා වෙන්නත් පුළුවන්. කිලෝටොන් 107ක පුපුරන ද්‍රව්‍ය ගෙනියන්න පුළුවන් මේ මිසයිල වලට පරමාණුක හිසක් වුනත් සවිකළ හැකියි.

 

මිසයිල තාක්ෂණය ගත්තාම මීට අමතරව උතුරු කොරියාව, පාකිස්ථානය, ඉරානය වගේ රටවලත් මිසයිල තාක්ෂණ දියුණු වෙලා තියෙනවා. ලෝකයේ යුධ තත්ත්වයක් ආවොත් මේ මිසයිල වලින් වෙන්න පුළුවන් හානිය දෙවන ලෝක යුද්ධයට වඩා බොහොම වැඩියි. මේ මිසයිල රොකට් තාක්ෂණය නිසා මිනිසාට ගුවන් යානා තාක්ෂණය සහ අභ්‍යාවකාශ ගමන් වලට පර්යේෂණාත්මක සහාය ලැබිලා තියෙනවා. ඒ මොනවා වුනත් මේ බලගතු ආයුධ කවදාවත් පාවිච්චියට ගන්නට නොලැබේවා කියලා තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්න ඕනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *