වැඩි දෙනෙක් නොදන්නා යුරෝපයේ රජ පවුල් ගැන දැනගන්න

ලෝකයේ ජනප්‍රියම රජ පවුල වන බ්‍රිතාන්‍ය රජ පවුල ගැන අවස්ථාවන් කීපයකදීම විස්තර රැසක් ආටිකල් මගින් අපි ඔබ වෙතට ගෙනාවා. බ්‍රිතාන්‍ය රජ පවුලේ මේ ජනප්‍රියත්වය නිසාම යුරෝපයේ රටවල් ගණනාවක රජ පවුල් ගැන ලංකාවේ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ නිසා අපි අද හිතුවා යුරෝපා රටවල්වල රජ පවුල් කීපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

 

1. බෙල්ජියම් රජ පවුල 

නෙදර්ලන්තයේ කොටසක් විදිහට පැවතුණු බෙල්ජියම 1831 දී නිදහස් රාජ්‍යයක් බවට පත් වුණා. ජර්මානු කුමාරයෙක් පළවෙනි ලියෝපෝල්ඩ් නාමයෙන් එරට පළමු රජ බවට පත් වුණා. එදා සිට අද දක්වා ලියෝපෝල්ඩ් ගේ උරුමක්කාරයන් බෙල්ජියමේ රජවරු විදිහට කටයුතු කරනවා. මේ වෙනකොට ඒ රට රජකම් කරන පිලිප් රජු සැලකෙන්නේ ජනප්‍රිය පාලකයෙක් විදියට. පළමු ලෝක යුද්ධය සහ දෙවැනි ලෝක යුද්ධය තුළ දී ජර්මන් ආක්‍රමණවලට එරෙහිව තම රටේ ජනතාව ඒකරාශී කිරීමට බෙල්ජියානු රජ පවුල මැදිහත් වුණා. නමුත් දෙවැනි ලෝක යුද්ධයේ දී තුන්වැනි ලියෝපෝල්ඩ් රජුගේ ක්‍රියාකලාපය ප්‍රශ්නකාරී වූ බැවින් ඔහුට තම සහෝදරයාට සිහසුන භාර දීමට සිදු වුණා. බෙල්ජියම් රජ පවුල ප්‍රශ්නයකට මැදිහත් වුණු එකම අවස්ථාව මේ සිදුවීම ලෙස හඳුන්වන්න පුළුවන්.

 

2. ඩෙන්මාර්ක රජ පවුල 

අද වෙනකොට  දෙවන එලිසබත් රැජින හැරුණුකොට යුරෝපයේ රටක් පාලනය කරන එක රැජිනක් ඉන්නවා. ඒ තමයි ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රට් රැජින. ඩෙන්මාර්ක ජනප්‍රවාද වලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ඩෙන්මාර්කය රජ කෙනෙක්ගේ පාලනය යටතේ පැවැතී තිබෙනවා. මේ නිසාම ඩෙන්මාර්ක රජ පවුල සැලකෙන්නේ යුරෝපයේ පැරණිතම රජ පවුලක් විදිහට. මාග්‍රට් රැජිණගෙන් පසුව ඇගේ පුත්‍රයා වන ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරු රජකමට පත් වනු ඇති.

 

3. නෙදර්ලන්ත රජ පවුල 

වර්තමානයේ නෙදර්ලන්තයේ රජ කරන්නේ විලියම් ඇලෙක්සැන්ඩර් රජතුමා. එතුමා රජකමට පත් වන්නේ ඔහුගේ මව වූ බියට්‍රිස් රැජින සිහසුන අත්හැරීමට තීරණය කිරීමත් සමග. ඇයට පෙර ජුලියානා සහ විල්හෙල්මිනා යන රැජිනියන් නෙදර්ලන්තය පාලනය කළා. පළමු වැනි ලෝක යුද්ධයේදී තම රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට නෙදර්ලන්තයට හැකියාව ලැබුණත් දෙවැනි ලෝක යුද්ධයේදී ලද පරාජයත් සමගම නෙදර්ලන්ත රජ පවුල බ්‍රිතාන්‍ය බලා ගියේ යම් හෙයකින් රජ පවුල නාසීන්ට අසූ වූවහොත් එය නෙදර්ලන්ත ජනතාවගේ මානසිකත්වයට බලවත් පහරක් වන නිසයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය තුළ සිටිමින් පවා ගුවන් විදුලිය මගින් දේශන පවත්වමින් නෙදර්ලන්ත රැජින සහ රජ පවුල තම ජනතාව දිරිමත් කරනවා ලැබුවා.

 

4. නෝර්වේ රජ පවුල 

නෝර්වේ රටේ රජ කළ රජවරු ගැන විවිධ ජනප්‍රවාද ඈත අතීතයේ පටන් අසන්නට ලැබෙනවා. නමුත් දිගු කාලයක් පටන් ඩෙන්මාර්කය සහ ස්වීඩනය සමඟ එකම රටක් ලෙස පැවතීම නිසා නෝර්වේ රටට  රජ කෙනෙක් සිටියේ නැහැ. 1905 දී නෝර්වේ රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් විදිහට සංස්ථාපිත වුණු අතර ඒ අවස්ථාවේදී ඩෙන්මාර්ක කුමාරයෙකු තමන්ගේ රජු ලෙස ප්‍රකාශ කිරීමට ඔවුන් කටයුතු කළා. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියට විරුද්ධව තම රට සංවිධානය කිරීමට හකූන් නම් මේ රජු කටයුතු කළා. එහි සටනට සහාය දුන් ඕලව් නම් ඔහුගේ පුත් කුමරා ඉන් පසුව රජ බවට පත්වුණු අතර වර්තමානයේ රජකම් කරන්නේ ඔහුගේ පුත්‍රයා වන පස්වෙනි හැරල්ඩ් රජුයි.

 

5. ස්පාඤ්ඤ රජ පවුල 

ස්පාඤ්ඤ රජ පවුල යුරෝපයේ පැරණිතම රජ පවුලක් වුණත් ස්පාඤ්ඤයේ ඇති වුණු විප්ලවකාරී අදහස් නිසා දෙවතාවක් පමණ එරට ජනරජයක් බවට පත් වුණා. කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ ඒකාධිපතියා ලෙස කටයුතු කළ ෆ්‍රැන්කෝගේ පාලනයෙන් පසුව පැරණි රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වුණු ජුවාන් කාර්ලෝස්ව එරට රජු ලෙස පත්කර ගැනීමට ස්පාඤ්ඤ ජනතාව තීරණය කළා. දීර්ඝ කාලයක් තම ජනතාවට නායකත්වය ලබාදුන් ජුවාන් කාලෝස් සෞඛ්‍යමය හේතූන් මත සිහසුන අත්හැරීමට කටයුතු කළ අතර මේ වන විට ස්පාඤ්ඤයේ රජු බවට පත් වී ඇත්තේ ඔහුගේ පුත්‍රයා වන හය වැනි පිලිප් රජුයි.

 

6. ස්වීඩන් රජ පවුල 

ස්වීඩන රජ පවුලත් යුරෝපයේ ඇති පැරණිතම රජ පවුලක් ලෙස සලකනු ලැබුවත් වර්තමානයේ එරට රජකරන රජ පවුලට ඇත්තේ ප්‍රංශ සම්භවයක්. නැපෝලියන් බොනපාට්ගේ සෙනවියකු ලෙස කටයුතු කළ බර්නඩෙට්ව ස්විඩනයේ රජු බවට පත් කර ගැනීමට එරට ජනතාව කටයුතු කළා. ඒ වර්ෂ 1818 දී. එතැන් පටන් එම රජ පවුලේ සාමාජිකයන් අද දක්වාම ස්වීඩනය පාලනය කරනු ලබනවා. වර්තමානයේ එරට පාලනය කරනු ලබන්නේ 16 වෙනි කාල් ගුස්ටාෆ් රජුයි.

 

7. මොනෝකෝ රජ පවුල 

 යුරෝපා සම්ප්‍රදාය අනුව මොනොකෝ රටේ පාලකයාට රජු  යන යෙදුම භාවිතා වෙන්නේ නැහැ. එම සම්ප්‍රදාය අනුව ඔහු කුමාරයෙක් පමණයි. මේ කොහොම වුණත් මොනෝකෝ රජ පවුල තමන් ප්‍රභවය වුණේ ග්‍රීක ජාතික වීරයෙකු වන හර්කියුලීස්ගෙන් යයි විශ්වාස කරනවා. මොනෝකෝ රජ පවුලට සම්බන්ධ වුණු සුප්‍රකට හොලිවුඩ් නිළි ග්‍රේස් කෙලී නිසා එම රජ පවුල අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණා. වර්තමානයේ එරට පාලනය කරන්නේ ග්‍රේස් කෙලී බිසවගේ සහ තුන්වෙනි රේනියර් කුමරුගේ පුත්‍රයා වන දෙවැනි ඇල්බට් කුමරුයි.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *