ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවුණු ආතර් සී ක්ලාක්

“ආතර් සී ක්ලාක් ලංකාවේ පුරවැසියෙක් වෙන්නේ නැත්තේ කොහොමද? ආණ්ඩුවෙන් ක්ලාක් මහත්තයට පුරුවැසිකම දුන්නනේ, මොරටුව යුනිවසිටි එකේ චාන්සලර් වෙලත් හිටියනේ” වගේ කතා ගොඩක් මේ ලිපියේ මාතෘකාව දැක්ක ගමන් ඔයාගේ හිතට එන්න ඇති. මොකද උපතින් විදේශිකයෙකු වුණත් ආතර් සී ක්ලාක් මහත්තයා අපේ රටට, අපේ පොළොවට ශ්‍රී ලාංකිකයෙක්ටත් වඩා ආදරය කළා කියලා අපි හැමෝම දන්නවා. අපි ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා ආත‍ර් සී ක්ලාක් මහත්තයට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ලැබුණා කියලා. නමුත් ඒක වැරදි මතයක්. අපි මේ ගැන වගේම ආතර් සී ක්ලාක් මහත්තයා ගැන ඔයාලා නොදන්න දේවල් කීපයක් ගැන කතා කරමු.

 

1. නීතිමය වශයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවුණු ආතර් සී ක්ලාක්

Image Source – medium.com

ආතර් සී ක්ලාක් ඉපදෙන්නේ 1917 බ්‍රිතාන්‍යයේදී. ඒ නිසා එතුමා උපතින්ම මහා බ්‍රිතාන්‍යයේ පුරවැසියෙක්. 1954 දී ක්ලාක් ලංකාවට එන්නේ අහම්බෙන් වගේ. ඕස්ට්‍රේලියාවට යන අතරේදී ක්ලාක් ගමන් කරපු නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලනවා. එතනින් තමයි ක්ලාක් ලංකාවට ආදරය කරන්න පටන් ගන්නේ. 1956 දී ක්ලාක් ලංකාවේ පදිංචියට එන්න තීරණය කරනවා. ඒ වසරේ ඉඳන් 2008 වසර වෙනකල් ක්ලාක්ගේ නිත්‍ය වාසය වෙන්නේ ලංකාව. 1975 දී ලංකාවේ ආගමන නීතී වෙනස් වීමත් එක්කම ආතර් සී ක්ලාක් Resident Guest කියන තත්ත්වය ලබාගන්නවා. මේ තත්ත්වය ලැබීම තමයි ඇතැම් අය පුරවැසිභාවය ලැබුණා කියලා අර්ථකථනය කරන්නේ. නමුත් ලංකාවේ නීතිරීති අනුව එහෙම “සම්මාන පුරවැසිබව” වගේ දේවල් ප්‍රදානය කරන්න අවස්ථාවක් නෑ. ඒ නිසා ක්ලාක් ඉපදුණෙත් මියගියෙත් බ්‍රිතාන්‍ය පුරවැසියෙක් විදිහට කිව්වොත් නිවැරදියි. කොහොම වුණත් ශ්‍රී ලංකා රජය 2005 දි ලක් රජය විසින් පිරිනමන උසස්ම සම්මානය “ශ්‍රීලංකාභිමාන්‍යය” සම්මානය ආතර් සී ක්ලාක් වෙත පිරිනැමුවා.

 

2. රන්මුතුදූවේ ආතර් සී ක්ලාක්

Image Source – mysrilankaholidays.com

ආතර් සී ක්ලාක් මුහුදට සහ දියයට කිමිදීමට ඉතා ප්‍රිය කළ කෙනෙක්. ශ්‍රී ලංකාවට ක්ලාක්ව ආකර්ෂණය වෙන්න එක හේතුවක් වෙන්නෙත් ශ්‍රී ලංකාව අවට තියෙන මුහුද. මුහුදට තියෙන අතිමහත් කැමැත්ත නිසාම ආතර් සී ක්ලාක් සහ ඔහුගේ සඟයෙක් 1958 දී වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කරනවා. ඒ චිත්‍රපටියේ නම “Beneath the Seas of Ceylon”. මේ චිත්‍රපටිය තුළින් ඉන්දියන් සාගරයේ දිය යට දර්ශන විශාල ප්‍රමාණයක් නරඹන්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා. 1962 දී සිංහල සිනමාවේ ලොකු පෙරළියක් වෙනවා. ඒ තමයි ලංකාවේ පළවෙනි වෛවර්ණ චිත්‍රපටිය බිහිවීම. ඒ හැමෝම දන්න “රන්මුතුදූව” චිත්‍රපටිය. ඒත් රන්මුතුදූව චිත්‍රපටියේ නිෂ්පාදකයෝ ගැන ගොඩක් දෙනෙක් දන්නේ නෑ. රන්මුතුදූවට ආයෝජනය කරන එක් කෙනෙක් ලාංකිකයෙක්, ඒ තමයි ශේෂා පලිහක්කාර. අනිත් කෙනා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්, ඔහුගේ නම වෙන්නේ ආතර් සී. ක්ලාක්.

 

3. ලෙනාර්ඩ් වුල්ෆ් බවට පත්වුණු ආතර් සී ක්ලාක්

Image Source – facebook.com

ලෙනාර්ඩ් වුල්ෆ් කියන්නෙත් ආතර් සී ක්ලාක් වගේම අපේ රටට  ආදරය කළ කෙනෙක්. ලංකාවට පරිපාලන නිලධාරියෙක් විදිහට ආපු වුල්ෆ්, ලංකාවේ බොහෝ පළාත්වල නිලධාරීවාදය නිසා ලංකාවේ දුප්පත් මිනිස්සු අසරණ වෙලා තියෙන ආකාරය දැක්කා. ඒ අසරණවීම් ලේඛකයෙකු වුණු ඔහු තමන්ගේ සාහිත්‍ය නිර්මාණවලටත් භාවිතා කළා. “බැද්දේගම” ලියවෙන්නේ ඒ විදිහට. බැද්දේගමට පාදක වෙන්නේ ඇත්ත සිදුවීමක්. ඒ සිදුවීමට වුල්ෆ් සම්බන්ධවෙන්නේ ලේඛකයෙක් විදිහට. බැද්දේගම නවකතාව චිත්‍රපටියක් බවට පත්කරන්නේ ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම චිත්‍රපටිකරුවා වුණු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ලෙස්ටර් මේ චිත්‍රපටියේදි ලෙනාර්ඩ් වුල්ෆ් එහෙම නැත්නම් විනිශ්චයකාරයාගේ චරිතය නිරූපණය කරන්න ආරාධනා කරන්නේ ආතර් සී ක්ලාක්ට. ආතර් සී ක්ලාක් සිංහල සිනමා නළුවෙක් බවට පත් වෙන්නේ මෙන්න මේ විදිහට.

 

4. පැරැණි කෝනේශ්වරම් කෝවිලේ නටබුන් සොයාගත් ක්ලාක්

Image Source – colombotelegraph.com

ත්‍රිකුණාමලයේ පිහිටි කෝනේශ්වරම් හින්දු කෝවිල ලංකාවේ විතරක් නෙමෙයි, මුලු ලෝකෙම හින්දු බැතිමතුන් පූජනීයත්වයෙන් සලකන පුදබිමක්. විදේශ ආක්‍රමණවලින් විනාශ වුණු කෝනේශ්වරම නැවත ගොඩ නැගෙන්නේ 19 වන සියවසේ විතර. ඒ කෝවිලේ නටබුන් විශාල වපසරියක විහිදිලා තියෙනවා. කලින් අපි කිව්වනේ ආතර් සී ක්ලාක් දිය යට කිමිදීමට ගොඩක් කැමැත්තක් දැක්වුවා කියලා. ආතර් සී ක්ලාක්ට මේ කිමිදීම්වලට එකතු වෙන්නේ මයික් විල්සන් (රන්මුතුදූවේ අධ්‍යක්ෂකවරයා). මේ දෙදෙනා ත්‍රිකුණාමලය අවට මුහුදේ ගිලිලා තියෙන පැරැණි කෝනේශ්වරම් කෝවිලේ නටබුන් හොයාගන්නවා. හැබැයි මේ පිළිබඳව පුළුල් ගවේෂණයක් තාම සිදුවෙලා නෑ.

 

5. ආතර් සී ක්ලාක් කුලපති වුණේ මොරටුව විශ්වවිද්‍යාලයේ විතරක්ම නෙමෙයි

Image Source – groundviews.org

ආතර් සී ක්ලාක් මහත්තයා 1979 ඉඳන් 2002 වෙනකන් මොරටුව සරසවියේ කුලපති පදවිය අවුරුදු 23ක් දැරුවා. ඒකෙන් මොරටුව විශ්වවිද්‍යාලයට විශාල පිළිගැනීමක් ලැබුණා. මේ ගැන ලංකාවේ බොහෝදෙනෙක් දන්නවා. ඒත් ආතර් සී ක්ලාක් මහත්තයා තවත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකත් කුලපති පදවිය දැරුවා. ඒ තමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ විශ්වවිද්‍යාලය. එතුමා මේ තනතුරේ 1987 ඉඳන් 2004 වෙනකන් රැඳී සිටියා.

 

6. තමන්ගේ දිනපොත් පල කිරීම මරණයෙන් අවුරුදු 30ක් දක්වා පමා කළ ක්ලාක්

Image Source – findagrave.com/ andrejkoymasky.com

ආතර් සී ක්ලාක් තමන්ගේ දිනපොත් තමන්ගේ මරණයෙන් අවුරුදු 30ක් යනකන් පල කරන්න එපා කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒකට එක හේතුවක් විදිහට කියලා තියෙන්නේ එහි සඳහන් ඇතැම් දෑ අතිශය පෞද්ගලික වීම කියලා. 2008 මාර්තු 19 වෙනිදා එතුමා මිය ගියා. එතුමාගේ අන්තිම කැමැත්ත පරිදි ඒ අවමඟුල සම්පූර්ණයෙන් නිරාගමික සහ රාජ්‍ය මැදිහත්වීමකින් තොරවයි සිදුවුණේ. ක්ලාක්ගේ සිරුර ඔහුව රැකබලාගත් ඒකනායක පවුලේ බොරැල්ල කනත්තේ පිහිටි සුසාන භූමි කොටසේ මිහිදන් කරනු ලැබුවා. ආතර් සී ක්ලාක් සහ ඒකනායක පවුලේ සාමාජිකයෙක් වුණු “ලෙස්ලි ඒකනායක”ගේ සබඳතාව ගැන විවිධ අය විවිධ කතා කිව්වත් ඔවුන් දෙදෙනා හොඳ යාලුවෝ වුණා කියලා නම් අපිට ස්ථිරව කියන්න පුළුවන්. මොකද ක්ලාක්ව මිහිදන් කෙරෙන්නෙත් ලෙස්ලි ඒකානායක මිහිදන් කළ තැන අසලින්මයි.

 

7. විශ්වය ක්ලාක්ට සමුදෙයි

Image Source – slate.com

ක්ලාක්ගේ මරණයට පැය කීපයකට පෙර අපූරු සිදුවීමක් සිදුවුණා. ඒ තමයි මීට වසර බිලියන 7.5කට පෙර සිදුවූ ගැමා කිරණ පිපිරීමක් පොළොවට දර්ශනය වීම (ආලෝකය ගමන් කිරීමේ වේගය මත සහ තවත් කරුණු කීපයක් නිසා ඒ සිදුවීම අපිට දර්ශනය වුණේ 2008). මෙය පොළොවේ සිටින කෙනෙක්ට පියවි ඇසින් දැකිය හැකි වැඩිම දුරකින් සිදු වූ සිදුවීම ලෙසත් හැඳින්වෙනවා. ඇතැම් මාධ්‍ය මේ සිදුවීම හැඳින්වූයේ ආතර් සී ක්ලාක් හට විශ්වය විසින් කළ ආචාර දැක්වීමක් විදිහට.

 

Cover Image Source – groundviews.org/ cnet.com

 

 

Leave a Reply

Your email address will not be published.