බ්‍රිතාන්‍ය රජ පවුලේ සුවිශේෂී ආභරණ – 2 කොටස

මීට සති කිහිපයකට පෙර අපි අලුත් ආටිකල් සීරීස් එකක් පටන් ගත්තා. ඒ බ්‍රිතාන්‍ය රජ පවුලේ සුවිශේෂී ආභරණ එකතුව පිළිබඳව කතා කරන්න. එහිදී අපි කිව්වේ පළවෙනි ආටිකල් එකට ලැබෙන ප්‍රතිචාර උඩ මේ සීරීස් එකේ ඉදිරිය තීරණය වෙනවයි කියලා. ඔබගෙන් ලැබුණු සුවිශාල ප්‍රතිචාර නිසා අපි හිතුවා ඒ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට කරමින් ආටිකල් එකේ දෙවැනි කොටසක් ඔබ වෙත ගෙන එන්න.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සුවිශේෂී ආභරණ 1 කොටස මේ ලින්ක් එකෙන් කියවන්න.

 

1. බුරුම රූබී ටියාරාව (The Burmese Ruby Tiara)

දෙවැනි එලිසබෙත් රැජන බොහෝ උත්සව අවස්ථා සඳහා භාවිතා කරන මේ ටියාරාව හැදෙන්නේ තවත් ටියාරාවකින්. හයිද්‍රාබාදයේ නිසාම්වරයා ඇගේ විවාහය වෙනුවෙන් අමුතුම ආකාරයේ ත්‍යාගයක් ලබා දුන්නා. ඔහු යුරෝපයේ රාජකීයයන්ගේ ප්‍රියතම ආභරණ නිෂ්පාදකයා වන කාටියර් වෙතින් ඕනෑම ආකාරයක ආභරණයක් මිලට ගැනීමට ඇයට අවස්ථාව සලසා දුන්නා. එහිදී ඇය විසින් ටියාරාවක් මිලට ගත් අතර ඊට රූබි වර්ගයේ මැණික් කැට දාහක් පමණ ඇතුළත්ව තිබුණා. පසු කලෙකදී ඇය විසින් එම ටියාරාවේ මැණික් භාවිතා කොට බුරුම රූබී ටියාරාව සකස් කළ අතර ටියාරාවේ පාදක කොටස ගෙල පළඳනාවක් ලෙස සකස් කරගත්තා.

 

2. මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ තරුණියන් විසින් ලබා දුන් ටියාරාව (The Girls of Great Britain of Ireland Tiara)

බ්‍රිතාන්‍යයේ නිකුත්වන නෝට්ටුවල සහ මුද්දරවල ඇතුළත් වන රුජිනගේ රුවෙහි පළඳා තිබෙන මෙම ටියාරාව 1893 දී මේරි බිසව එවකට යෝර්කයේ ආදිපාදවරයාව සිටි පස්වන ජෝර්ජ් රජු විවාහ කර ගන්නා අවස්ථාවේදී මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ තරුණියන්ගේ කමිටුව මගින් ලබාදුන් මංගල ත්‍යාගයයි. පසුව මේරි බිසව විසින් තම මිණිබිරිය වන දෙවන එලිසබත් රැජන විවාහ වන අවස්ථාවේදී ත්‍යාගයක් ලෙස එය ලබා දුන්නා.

 

3. ස්ට්‍රැත්මෝර් රෝස ටියාරාව (The Strathmore Rose Tiara)

දෙවන එලිසබත් රැජිනගේ මව වන එලිසබෙත් බිසව විවාහ වන අවස්ථාවේදී ඇගේ පියා විසින් ලබාදුන් ත්‍යාග අතරට මෙම ටියාරාවත් එක් වනවා. ඇතැම් වාර්තා වලට අනුව මෙම ටියාරාව ඔහු විසින් මිලදී ගෙන ඇති අතර ඒ වන විටත් එය සිය වසක් පමණ පැරණි බවට විශ්වාස කෙරෙනවා. එහි රෝස මල් වැනි දියමන්ති කොටස් ටියාරාවෙන් වෙන් කොට ඇඳුම් අලංකාර කරන ආභරණයක් ලෙස වුවත් භාවිතා කළ හැකියි.

 

4. හතර වෙනි ජෝර්ජ් රජුගේ කිරුළ (The George IV state Diadem)

1821 වසරේදී 4 වැනි ජෝර්ජ් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් සකස් කරන ලද මෙම කිරුළ පසුව වික්ටෝරියා රැජින සහ මේරි බිසව විසින් භාවිතා කරනු ලැබුවා. දෙවැනි එලිසබත් රැජින විසින් ද තම රාජාභිෂේකය සඳහා මෙම කිරුළ භාවිතා කළ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය සඳහා නොකඩවා ඇය පළඳින්නේ මෙම කිරුළයි.

 

5. ඇක්වාමැරීන් පයින්ෆ්ලවර් ටියාරාව (The Aquamarine Pineflower Tiara)

හයවෙනි ජෝර්ජ් රජු විසින් තම විවාහ සංවත්සරය වෙනුවෙන් 1940දී එලිසබෙත්  බිසව වෙත මෙම කිරුළ ත්‍යාගයක් ලෙස ලබා දුන්නා. මෙම කිරුළද නිර්මාණය කර ඇත්තේ කාටියර් ආයතනය විසින්. 1973 දී එලිසබෙත් බිසව විසින් තමා මිණිබිරිය වන ඈන් කුමරියට මංගල ත්‍යාගයක් ලෙස මෙම කිරුළ ප්‍රදානය කළා. බොහෝ උත්සව අවස්ථා සඳහා ඈන් කුමරිය විසින් මේ කිරුළ පළඳිනු ලබනවා.

 

6. ඔරියන්ටල් සර්ක්ලට් ටියාරාව (The Oriental Circlet Tiara)

මෙම කිරුළ ඇල්බර්ට් කුමරු විසින් තම බිරිඳ වන වික්ටෝරියා රැජින වෙනුවෙන් සකස් කරන ලද ටියාරා හතර අතරෙන් ඇගේ ප්‍රියතම ටියාරාව බවට පත්වුණා. අනෙක් විශේෂත්වය වන්නේ එම කිරුළේ මල් වැනි කොටස් වලින් නිරූපණය වන්නේ නෙළුම් මල් වීමයි. අනෙකුත් කිරුළු මෙන් බරින් වැඩි නොවීම නිසා දෙවැනි එලිසබත් රැජින මෙන්ම ඇගේ මව වූ එලිසබෙත් බිසවද බොහෝ රාත්‍රී උත්සව අවස්ථා සඳහා මෙම ටියාරාව භාවිතා කරනු ලැබුවා.

 

7. මේරි රැජිනගේ ෆ්‍රින්ජ් ටියාරාව (The Queen Mary Fringe Tiara)

විවිධ ආභරණ වලට අතිශයින් ප්‍රියතාවක් දැක්වූ මේරි බිසව වෙනුවෙන් සකස් කරන ලද තවත් අලංකාරවත් ශීර්ෂ ආභරණයක් වන මෙම ටියාරාවටත් බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණේ දෙවන එලිසබත් රැජින සිය විවාහය සඳහා එය පැළඳීම නිසායි. පසුව ඇගේ දියණිය වන ඈන් කුමරිය ඇගේ මංගල උත්සවය සඳහා මෙම ටියාරාවම භාවිතා කර තිබුණා. ඉතා මෑතකදී ඇන්ඩෘ කුමරුගේ දියණිය වන බියට්‍රිස් කුමරියත් සිය මංගල උත්සවය වෙනුවෙන් මෙම ටියාරාව භාවිතා කළා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්න අමතක කරන්න එපා. ඒ ප්‍රතිචාර උඩ අපි බලමු මේ ආටිකල් එකේ තෙවැනි කොටසක් ලියන්න පුළුවන්ද කියලා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *