අපේ කලා ලෝකයේ අම්මලා දූලා

ලංකාව වගේ ම බොහෝ රටවල කලාව කියන දේ පරම්පරාවෙන් උරුම වන දෙයක් විදිහට දකින්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ලංකාවටත් වඩා ඉන්දියාවේ මේ තත්ත්වය දරුණුවටම තියෙනවා. මේ නිසා Lifie අපි හිතුවා අලුත් ආටිකල් සීරීස් එකක් පටන් ගන්න. මේ සීරීස් එක ඇතුළේ අපි කතා කරන්නේ කලා ලෝකයේ දූ දරු උරුමය ගැන. පළවෙනි ආටිකල් එක විදිහට අපි ලියන්න බලාපොරොත්තු වෙන්නේ කලා ලෝකයේ අම්මලා දූලා ගැන.

 

1. රෝහිණී ජයකොඩි – වීණා ජයකොඩි 

මේ මව සහ දුව ගැන අපි කලින් ආටිකල්වලත් සඳහන් කරලා තියෙනවා. නමුත් ඔවුන් දෙදෙනා ලංකාවේ කලා ලෝකයට එකතු වුණු පළමු මව සහ දියණිය නිසා අපිට මේ ආර්ටිකල් එකේදීත් ඔවුන් දෙදෙනා ගැන කතා නොකර ඉන්න බෑ. අහංකාර ස්ත්‍රී චිත්‍රපටියේ රඟපාන්න ගිය රෝහිණී, ඒ චිත්‍රපටයේ බිළිඳියක් සඳහා තමන්ගේ දියණිය වුණු වීණා ජයකොඩිව එක් කරගත්තා. ඊට පස්සෙත් වීණාව ළමා චරිත කීපයකට දායක කර ගන්න ඇයට හැකි වුණා.

තරුණ නිළියක් විදිහට සිනමාවේ අලුත් ගමනක් වීණා ආරම්භ කරන්නේ අප්සරා චිත්‍රපටියෙන්. අප්සරා චිත්‍රපටය වෙනුවෙන් වීණාව දායක කරගන්න ගාමිණී ෆොන්සේකාට ඇයව අඳුන්නලා දුන්නෙත් රෝහිණී ජයකොඩි. උප්පැන්න සහතිකේ වර්ජිනි සන්ධ්‍යා පීරිස් වුණු තම දියණියට සිනමාවට ගැලපෙන ආකාරයෙන් වීණා ජයකොඩි කියන නම තියෙන්නෙත් ඇය විසින්

 

2. තලතා ගුණසේකර – නදීකා ගුණසේකර 

තලතා ගුණසේකරට ලංකාවේ ජනප්‍රියම චිත්‍රපටි දෙකක් විවිධ හේතු නිසා මඟ ඇරෙනවා. ඒ චිත්‍රපටි දෙක තමයි දෙයියන්ගේ රටේ සහ ගම් පෙරළිය. නමුත් ඇය තමන්ගේ අධිෂ්ඨානය නැති කර ගන්නේ නැහැ. පළමු වතාවට ඇයට චරිතයකින් දායක වෙන්න ලැබෙන්නේ “අදට වැඩිය හෙට හොඳයි” චිත්‍රපටියෙන්. ඊට පස්සේ ප්‍රධාන චරිතයක් රඟපාන්න ඇයට අවස්ථාව ලැබෙන්නේ “සැපත සොයා” චිත්‍රපටයෙන්. එතැන් පටන් ඇය සිංහල සිනමාවේ චිත්‍රපට රාශියකට දායක වෙනවා.

දවසක් තලතා සමග ගිය ඇගේ දියණිය වුණු නදීකාව දැකලා චිත්‍රපටයකට සම්බන්ධ කෙනෙක් ඇයට චිත්‍රපටයක රඟපෑමට අවස්ථාවක් ලබා දෙනවා. ඒ “කාංචනා” චිත්‍රපටයට. කාංචනා චිත්‍රපටයෙන් නදීකා පටන් ගන්න ගමනෙදි ඇය සම්භාව්‍ය චිත්‍රපටිවල වගේම වාණිජ චිත්‍රපටවලත් රඟපාලා සුවිශාල ජනප්‍රියත්වයක් ලබා ගන්නවා. සරලවම කියනවා නම් ඇය තමන්ගේ මවව රංගනයෙන් අභිබවා යන්නට සමත් වනවා.

 

3. සෝමලතා සුබසිංහ – කෞෂල්‍යා ප්‍රනාන්දු

 

මේ අම්මයි දුවයි දෙන්නම කලා ලෝකයට අත් පොත තියන්නේ වේදිකාවෙන්. එය හරහා ලබන සාර්ථකත්වය නිසා සිනමාවටත් ටෙලි නාට්‍යයටත් ඔවුන් දෙදෙනාම පිවිසුණා. සෝමලතා සුබසිංහ නිළියක් විදිහට වගේම වේදිකා නාට්‍ය නිර්මාණ කිරීමෙනුත් ලංකාවේ නොමැකෙන මුද්‍රාවක් තිබ්බා. ඒ අතරින් මුහුදු පුත්තු නාට්‍ය සුවිශේෂයි. සිනමාවේදී ඇයව අපිට මුණ ගැහුනේ උසස් ගණයේ සිනමා නිර්මාණවලදී විතරයි. “මහගෙදර”, “මඩොල් දූව”, “අරුණට පෙර” ඒ අතරින් කීපයක්.

අම්මගේ නාට්‍ය නිර්මාණවලින් වේදිකාවට ආපු කෞෂල්‍යා ප්‍රනාන්දු, “සඳ ළඟ මරණය” නිෂ්පාදනය කරමින් එහි චරිතයක් සඳහා අම්මවත් දායක කර ගත්තා. “බොරදිය පොකුණ”, “මේ මගේ සඳයි”, “ආකාස කුසුම්” වගේ සිනමා නිර්මාණවලට වගේම “දුන්හිඳ අද්දර”, “සෙදෝනා” වැනි ටෙලි නාට්‍යවලත් මතක හිටින ආකාරයේ රඟපෑම්වල ඇය නිරත වුණා.

 

4. ගීතා කාන්ති ජයකොඩි – පබෝදා සංදීපනී 

“කැලණි පාලම” කියන්නේ ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ වගේම ගීතා කාන්ති ජයකොඩිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. එම වේදිකා නාට්‍යය තුළින් ඇය අසාමාන්‍ය ලෙස ජනප්‍රියත්වයක් ලබාගත්තා. ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ආරම්භක අවධියේ පටන්ම බොහෝ ටෙලි නාට්‍ය වලට ගීතා කාන්ති ජයකොඩි තමන්ගේ දායකත්වය ලබා දුන්නා “යශෝරාවය” ඒ අතරින් විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා.

සිය මවගේ අතේ එල්ලී කලා නිර්මාණ වලට ගිය පබෝදා, මුලින්ම කලා නිර්මාණයකට දායක වෙන්නේ “ඔෂීන්” ටෙලි නාට්‍යයේ කුඩා ඔෂීන්ගේ චරිතයට හඬ කැවීමෙන්. ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට වෙනස් ආකාරයේ ටෙලිනාට්‍ය අත්දැකීමක් ලබා දුන් “රැජින” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් පබෝදා තමන්ගේ ටෙලි නාට්‍ය ගමන ආරම්භ කරනවා. “බහුබූතයෝ” වැනි වාණිජ ධාරාවේ සිනමා නිර්මාණ වලින් වගේම “වෑකන්ද වලව්ව” වැනි සම්භාව්‍ය ගණයේ සිනමා නිර්මාණවලින් පබෝදාව අපිට ඊට පස්සේ මුණ ගැහුනා.

 

5. සුසන්තා චන්ද්‍රමාලි – තිසුරි යුවනිකා

සුසන්තා චන්ද්‍රමාලි කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමි පෙනුමක් තියෙන නිළියක්. අපිට ඇයව මුණ ගැහුණේ ඉතා තැන්පත් සහ සහ අහිංසක චරිත වලින්.” කන්දෙගෙදර” ටෙලිනාට්‍යය ඒ අතරින් එක කලා නිර්මාණයක් විදිහට නම් කරන්න පුළුවන්. පස්සේ ඇයව අපිට බොහෝ ටෙලි නාට්‍ය නිර්මාණ වලින් පෙම්වතියගේ, බිරිඳගේ සහ මවගේ දක්වා පරාසයක චරිත වලින් දැක ගන්න ලැබුණා.

මවගේ උරුමයත් එක්ක ක්ෂේත්‍රයට ආපු තිසුරි යුවනිකා සතුව කෙළිලොල් සහ දඟකාර චරිත නිරූපණයට අවශ්‍ය රූපය වගේම හැකියාවන් තිබ්බා. හොඳම නැගී එන නිළියට වගේම හොඳම නිළියට හිමි සම්මාන කෙටි කලක් තුළ තමන් සතු කර ගැනීමට හැකිවීම තිසුරිගේ මේ දක්ෂතාවයට එක සාක්කියක් විතරයි.

 

6. ශ්‍රියානි අමරසේන – ඉනෝකා අමරසේන 

තමන්ගේ කලා ජීවිතය ආරම්භයේ ඉඳන් අද දක්වාම ජනප්‍රියත්වය කිසිදා පහළ නංවා නොගෙන ගමනක් ගිය නිළියන් ඉන්නේ අපිට ඉතාමත් අල්පයක්. ඒ අතරින් කෙනෙක් විදිහට ශ්‍රියානි අමරසේනව හඳුන්වන්න පුළුවන්. ඇය මුලින්ම දායක වෙන්නේ වේදිකා නාට්‍ය නිර්මාණයකට. ඒ දයානන්ද ගුණවර්ධනගේ “නරි බෑනා” වේදිකා නාට්‍යයට. ඊට පස්සේ ඇය ආරම්භ කරන්නේ ඇගේ සිනමා ගමන. “ගොළුහදවත”, “දෑස නිසා”, “විරාගය” ඇගේ ඒ සිනමා ජීවිතයේ සන්ධිස්ථාන. පස්සේ කාලෙක දී “හේමන්තයේ වසන්තයක්” වැනි ටෙලි නාට්‍ය හරහා ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් බවටත් පත් වුණා.

ඉනෝකා අමරසේන සිනමාවට පිවිසෙන්නේ “ගොළු හදවත” චිත්‍රපටයේ තමන්ගේ මවගේම දියණියගේ චරිතය රඟපාමින්. ඇය දායක වෙන්නේ චිත්‍රපටි නිර්මාණ අතළොස්සකට විතරයි. ඒ අතරින් “වත්සලා” චිත්‍රපටයේ ඇය රඟපෑ මේනකාගේ චරිතය නිසා සරසවි සම්මාන උළෙලේ දී නැඟී එන නිළියට හිමි සම්මානය ඇය ලබා ගන්නවා. නමුත් ඇය ඉන් වසර කීපයකට පස්සේ සිනමාවෙන් සම්පූර්ණයෙන්ම ​ඈත් වෙනවා.

 

7. ඩිලානි අබේවර්ධන – කවිෂා කාවින්දි 

ඩිලානි අබේවර්ධන කියන්නේ සිනමාව වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය එකසේම ජය ගන්න සමත් වෙච්ච නිළියක්. “සුජාතා” චිත්‍රපටයේ නව නිෂ්පාදනයේ ඇය රඟපෑවේ ශාන්ති ලේඛා රඟපෑ චරිතයයි. ඒ වගේම ඇය වාණිජ නිර්මාණ වලට වගේම සම්භාව්‍ය ගණයේ නිර්මාණවලටත් තම රංගන හැකියාවෙන් උපරිම සාධාරණය ඉෂ්ට කරපු තැනැත්තියක්. ලංකාවෙන් බැහැර වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට යන්න කලින් ඇය රඟපාපු අවසාන ජනප්‍රිය ටෙලි නාට්‍යය විදිහට “සෙනුරි” හඳුන්වන්න පුළුවන්.

ඇගේ දියණිය වුණු කවිෂා කාවින්දිට තම මවගේ රූ සපුව වගේම රංගන හැකියාවත් උරුම වෙලා තිබුණා. නමුත් ඇයට මේ දක්වා රඟපාන්න ලැබිලා තියෙන්නේ එකම එක චිත්‍රපටයක් විතරයි. ඒ ලාල් වීරසිංහ නිෂ්පාදනය කරපු “සිංගා මචං චාලී” චිත්‍රපටියට පමණයි.

 

මේ අපේ ලැයිස්තුවට ඇතුළත් කරන්න තවත් අම්මලා දූලා ඉන්නවා නම් ඒ අය ගැන කමෙන්ට් එකකින් සඳහන් කරන්න කියන ඉල්ලීම කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න කියන ඉල්ලීමත් කරන්න කැමතියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *