මේ ගැන කතා කරන්න කලින් අපි දැනගන්න ඕන මොනවද මේ කොන්කිරීම් කියන්නේ කියලා. කොන් කිරීම් නැතිනම් discrimination කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට වෙනස් විදියට සැලකීම. ගර්හාත්මකව නැතිනම් අපහාසයෙන් සැලකීම. එතකොට ඔවුන්ට වෙනස්කම්, අසාධාරණයන් කිරීම වගේ දේවල් තමයි. ගොඩක් වෙලාවට මේ කොන්කිරීම් පැනනගින්නේ වෙනස්කම් එක්ක ඇතිවෙන බෙදීම් නිසා. උදාහරණයක් විදිහට අපි හිතමු යම් සමාජයක ඉන්න ඔක්කොම මිනිස්සු සුදුයි කියලා. දැන් මේ සමාජය ඇතුළේ කළු අයත් ඉපදෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඒ කට්ටියගේ ඒ පාට වෙනස නිසා, මේ සමාජයේ ඉන්න සුදු බහුතරය විසින් අර කළු සුළුතරය තමන්ට වඩා පහත් කියලා සලකන්න පටන් ගන්නවා. ඒ අයට අසාධාරණකම් කරනවා. ගර්හාවට ලක් කරනවා.
ඇත්තටම අද සමාජයේ තියෙන සමහර කොන්කිරීම් තියෙනවා, අපිට ඒවා කොන්කිරීම් කියලා හිතෙන්නෙවත් නැති. මොකද ඒ තරමට ඒවා සාමාන්‍යකරණය වෙලා. ඒත් යහපත් සමාජයක් තියෙන්න නම්, මේ හැම කොන් කිරීමක් ම නැති වෙන්න ඕන. ඒ නිසා අපි බලමු ඒ විදියට අද සමාජයේ සාමාන්‍යකරණයට ලක් වෙලා තියෙන කොන් කිරීම් කිහිපයක් මොනවද කියලා.
01. සුද්දො කියන්නෙම සල්ලිකාරයෝ
“සුද්දෝ” කියන වචනයත් එක්කම සමේ වර්ණය පදනම් කරගත්ත කොන් කිරීමක් තියෙනවා. දැන් හිතන්න ඕනෙම යුරෝපීය ජාතිකයෙක් ලංකාවට එනවා කියලා. ගොඩක් වෙලාවට මිනිස්සු ඒ කෙනා දිහා බලන්නේ, සල්ලි කඩා ගන්න පුළුවන් නිධානයක් හම්බුනා වගේ තමයි. සමහර වෙලාවට රුපියල් සීයක බඩුවක් දීලා පන්දාහක් කියා අවස්ථා ඕන තරම් දකින්න පුළුවන්. දැන් වෙනකොට මේ තත්ත්වය හැම විදේශිකයෙක්ටම වගේ මූන පාන්න වෙන දෙයක් වෙලා. මේකත් එක්තරා විදියක කොන් කිරීමක් තමයි.
02. පච්ච ගහපු කෙල්ලෙක් නම් බඩුවක්
මේ කොන්කිරීම එන්නේ තැන් දෙකකින්. එකක් තමයි තාමත් අපේ සමාජය ටැටූ සම්බන්ධයෙන් එතරම් ප්‍රගතිශීලී අදහසක් දරන්නේ නැති එක. කොටින්ම කියනවා නම් පච්ච ගහන්නේ රස්තියාදුකාරයෙක් කියන තැනින් තමයි ගොඩක් අය කොල්ලෙක් ටැටු කරලා හිටියත් බලන්නේ. දෙවෙනි එක තමයි අපේ සමාජයේ කාන්තාවන් සිටිය යුතු වන්නේ මෙහෙමයි කියල දරණ අදහස. ගැහැනු ළමයෙක් කියන්නේ කවදාහරි මවු පදවිය ලබා ගන්නට ඉන්න කෙනෙක් ඒ නිසා ඒ අය මෙහෙම හැසිරෙන්න හොඳ නෑ කියන තැනින් තමයි ඒක පටන් ගන්නේ. ඉතින් ඔය දෙකම එකතු වුණහම, කොච්චර ලස්සනට ටැටූ එකක් අරන් ඉන්න ගෑණු ළමයෙක් දිහා උනත්, කොන් කරන සුළු අදහසකින් තමයි සුචරිතවාදියෝ බලන්නේ.
තව දෙයක්, මේ අපි ටැටු එකත් එක්ක කතා කරන කාන්තාවන්ව කොන් කිරීම, ටැටු වලින් විතරක් නවතින්නේ නෑ. කොටට ඇඳිමේ ඉඳලා යම් යම් විලාසිතාවන් කිරීම දක්වා, ඕනම දෙයක් ගැන තමන්ගේ මතය ප්‍රකාශ කරන්න නිර්භීත වීමේ ඉඳලා, ස්වාධීන වීම දක්වා පරාසයන් වල ඉන්න කාන්තාවන්ට යම් යම් සමාජ කොටස් වලින් මේ විදිහ කොන්කිරීම් අත්විඳින්නට වෙනවා.
03. සෙක්ස් ගැන එහෙම විවෘතව කතා කරනවා නම් ඒත් බඩුවක්
මේක ගැන නම් අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉස්කෝලේ සෞඛ්‍ය ගුරුතුමිය ලිංගිකත්වය ගැන සෙක්ස් කියන වචනෙත් එක්ක කතා කළත් ඌයියා වෙන දෙමාපියන් ඉන්න රටක් මේක. එතකොට ලිංගිකත්වය සහ ලිංගිකත්වයට අදාල කාරණා ගැන විවෘතව කතා කරන්න තරම් ප්‍රගතිශීලී සහ නවීන ගැහැනුන්ට, මේ කොන්කිරීමට මුහුණ දෙන්නට වෙනවා. මෙතනදීත් මේ කොන්කිරීම සිදුකරන සමාජ කොටස් හිතන්නේ, මේ වගේ දේවල් කාන්තාවක් කතා කරනවා නම් ඒ කාන්තාව ඕන කෙනෙක් එක්ක යහන්ගත වෙන්න ලැහැස්ති වෙලා ඉන්න කෙනෙක් කියලා. සමහර වෙලාවට ඇහැට කනට පේන ගැහැනියක් නම් ලිංගික ඊර්ෂ්‍යාවත් මෙතනට එකතු වෙනවා. මේ කියන දේ ගැන සැකයක් තියනවනම්, පහුගිය දවස් වල මාතෘකාවක් බවට පත් වෙච්ච නතාෂා එදිරිසූරිය ගේ stand up කොමඩි ක්ලිප් වලට වැටිල තියෙන කමෙන්ට්ස් ටිකක් කියවලා බලන්න.
අනික මේකේ තව ඉන්ටරෙස්ටින්ග් පැත්තක් තියනවා. සෙක්ස් ගැන විවෘතව කතා කරන පිරිමින්ට මේ වගේ කොන් කිරීමකට මුහුණ දෙන්න එතරම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන ගැහැනු පිරිමි භේදය පදනම් වුණු කොන් කිරීමකුත් තියෙනවා කියන එක.
04. පිරිමි හැඟීම් බර වෙන්නේ නෑ
මෙන්න මේකත් සමාජ තියෙන ටිකක් භයානක ඒකාකෘතික කිරීමක්. අර ස්ටීරියෝටයිප්ස් කියන්නේ. අන්න ඒකක්. එතනදී කියවෙන්නේ පිරිමින් කියන්නේ, ඕනම දේකදි හැඟීම්බර නොවෙන, කඳුලු හලන්න ඇති, ශක්තිමත් පෞරුෂයක් කියන එක. හැබැයි ප්‍රශ්නෙ මේකයි. පිරිමින්ටත් දුක හිතෙනවා, පිරිමිත් හැඟීම්බර වෙනවා, පිරිමිත් අඬනවා. එතකොට ඔය උඩ කිව්ව විදිහේ ස්ටීරියෝටයිප් එකක් එක්ක පිරිමින්ව සමාජයේ මනිනකොට, තමන්ට මොකක් හරි ප්‍රශ්නයක් නිසා අඬන පිරිමියෙක්ව කොන් කරනවා “ගෑනියෙක් වගේ අඬන්න එපා” කියලා. එතකොට ඒකෙන් හානියක් වෙන්නේ පිරිමි පාර්ශවයේ අයගේ මානසික සෞඛ්‍යයටම තමයි. අන්න ඒ නිසා මේ පිරිමි කියන්නේ හැඟීම්බර වෙන්නේ නැති අඬන්නේ නැති කොට්ඨාසයක් විය යුතුයි කියන ස්‍ටීරියෝටයිප් එකෙන් අපි ගැලවෙන්න ඕන. ඒ ඔස්සේ පිරිමින්ව කොන් කරන එක නවත්වන්න ඕන.
05. චීන්නු තමයි කොවිඩ් ගෙනාවේ
සාමාන්‍යයෙන් චීන ජාතිකයන් ගැන ලෝකෙ විවිධාකාරයේ කොන්කිරීම් තියෙනවා. ලංකාව ඇතුළු ගොඩක් රට වලට රටවලට මෑත කාලයේ චීන ජාතිකයන්ව කොන් කරන්න කියලා ලැබුණු පොයින්ට් එකක් තමයි, කොවිඩ්-19 කියන්නේ. දැන් චීනයේ වුහාන් නගරයෙන් තමයි පලවෙනියටම කොවිඩ්-19 රෝගීන් වාර්තා වෙන්නට පටන් ගත්තේ. ඒ නිසා ගොඩක් අය චීන ජාතකයන් ව කොන්කරන්න පටන් ගත්තා කොවිඩ් ලෝකෙට බෙදුවේ චීනෙන් කියලා. පළවෙනියටම, ඒක චීනෙන් පටන් ගත්තට, කොවිඩ් ව්‍යාප්ත වෙන්න චීනය වගකියන්න ඕන කියලා කියන්න සාධක කොහෙවත් නැහැ. දෙවනියට රෝගයක් ආසාදනය වෙනවා කියන්නේ එහෙම කෙනෙක්ව කොන් කරන්නට හේතුවක් නෙවෙයි. හැබැයි අපි දැක්කා ලංකාවෙත් කොවිඩ්-19 ආපු මුල් කාලේ, කොවිඩ් ආසාදිතයන් වත් කොන් කෙරෙනවා. ඒ විදියටම තමයි චීන ජාතිකයන් වත් කොවිඩ්-19 නිසා කොන් කිරීම ලංකාවේ පටන් ගත්තේ.
06. පිරිමි වැරදි කිරීමයි ගැහැණු වැරදි කිරීමයි සමාන නැහැ
දැන් හිතන්න පිරිමි පස්දෙනකු යි ගැහැණු දෙන්නෙකුයි එකට හොරකමේ ගිහිල්ලා අහු වෙනවා කියලා. දැන් ඔය පත්තර වල එහෙම මේ නිවුස් එක ලියන්නෙ කොහොමද? “ගෑනු දෙකක් ඇතුළු හතක් හොරකම් කරද්දී පොලිස් දැලේ” ඔහොම නෙවෙයි ද මේ නිව්ස් එක ලියන්නේ? දැන් මේ විදියට නිවුස් එක ලිව්වහම, ඇයි එතන කාන්තාවන්ව විතරක් ඉස්මතු කරලා තියෙන්නේ? ඇයි එතන හොරකම හිටපු පිරිමින් ගැන කියලා නැත්තේ? හේතුව සරලයි. අපේ සමාජයේ තියෙන මතයක් තමයි, ගැහැණිය උතුම් වූ මව් පදවියට පත් වෙනවා, ඒ නිසා පිරිමි කරන හැම දෙයක්ම ගැහැනුන්ට කරන්න දෙන්න බැහැ කියන මතය. එතකොට මේ වගේ අවස්ථාවක දී වුණත්, ගැහැනු පිරිමි දෙගොල්ලන්ම එක වැරැද්දක් කරාට, ගැහැනුන්ගෙ වැරැද්ද බරපතළ වැඩියි වගේ අදහසක් තමයි පෙන්නන්න හදන්නේ. හැබැයි මේක ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගනිමින් ගැහැණුන්ව කොන් කිරීමක් තමයි.
07. සැකකරුවෙක්ට කෙනෙක්ට මොනව වුණත් කමක් නැහැ
මේකත් අද කාලේ බොහොම සුලභව දකින්න තියෙන සාමාන්‍යකරණය වෙච්ච කොන් කිරීමක්. දැන් මොකක් හරි වැරැද්දකට කාවහරි සැකපිට අත්අඩංගුවට ගත්තා කියමුකෝ. ඒ කියන්නේ ඒ වැරැද්ද ඒ මනුස්සයා වැරදිකාරයා කියන එකද? නැහැ. වැරදි කාරයෙක් වෙන්න නං උසාවියට පමුණුව නඩුව අහලා එයා වැරදියි කියලා ඔප්පු කරන්න ඕන. නීතියෙන් වැරදිකාරයෙක් කියලා ඔප්පු වෙනතුරු එයා නිර්දෝෂයි කියලා තමයි හැඳින්වෙන්නේ. හැබැයි අපේ සමාජයෙන් ම ගොඩක් අය හිතන්නේ, පොලිසියට අරන් ගියා කියන්නේ එයා වැරදි කාරයෙක් කියන එක. හැබැයි කාටවත් හිතෙන්නේ නැහැ නිර්දෝෂී මිනිස්සුන්ව වුණත් වැරැද්දකට අහුවෙන්න පුලුවන් කියලා. ඉතින් ඒ නිසා සැක කරුවන් විදියට හැඳින්වෙන ඕනම කෙනෙක් ව කොන් කරන්න මේ සමාජ කොටස් පසුබට වෙන්නේ නැහැ.
Leave a Reply