කාන්තාවන්ට වඩාත් ගැලපෙන කාර් 7ක්

සිංහ​ල රජ කාලේ නොවෙයි දැන් මේ කාලේ, ගෑණුන්ටත් සිදාදියේ නටන්න ලැබුනේ… කියල සින්දුවක් එහෙමත් තියෙනවා කට්ටිය අහල ඇතිනේ. අන්න ඒ වගේ, මේ කාලේ ගැහැණු අය සමාජයේ ඉතාම කැපී පෙනෙන විදිහට ඉස්සරහට ඇවිත් තියෙන බව පේන්න තියෙනවා. ඒ බව පේන්න තියෙන එක ආකාරයක් තමයි වාහන පදින කාන්තාවන්ගේ ප්‍රමාණය ඉතාම සැලකිය යුතු විදිහට වැඩි වෙලා තියෙන එක. ඉතින් ලංකාව වගේ රටක පාරවල් වල ගැහැණු කෙනෙක් වාහනයක් පදිනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. ​ඒක වෙනම කතාවක්. කොහොම උනත් විනාඩි පහක් බලන් හිටියොත් පාරේ යන වාහන වලින් බාගෙට බාගයක්ම පදින්නේ ගැහැණු අය බව ඕන කෙනෙක්ට පේන්න තියේවි. ඒක කාර් වලට විතරක් සීමා වෙලා නෑ කියන එකත් දැකගන්න පුළුවන් වේවි. ඉතින් අපි හිතුවා ලංකාව වගේ රටක කාන්තාවකට ඉතාම හොඳින් ගැලපෙන වාහන හතක් ගැන කතා කරන්න. ඉතින් හැමදාම වගේ මේකෙත් යම් සීමාවන් ඇතුලේ තමයි මේ ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ කාර් ගැන විතරයි.

 

 

1. Toyota Aqua (Prius c)

ලංකාවේ වාහන මාර්කට් එකේ අංක එකේ ස්ථානය කවුද කියල ඇහුවත් බොහෝ දෙනෙක් කියයි ටොයෝටා කියල. ඒ තරමට ටොයෝටා වාහන ලංකාවට පත්තියම් වෙලා තියෙන්නේ. ඉතින් ටොයෝටා කියන බ්‍රෑන්ඩ් එකෙන් ඉතාම ජනප්‍රිය වුන කාර් මොඩල් එකක් තමයි  Aqua කියන්නේ. මේ වාහනේ ගොඩක්ම කාන්තාවන්ට ගැලපෙන වාහනයක් වෙන්න හේතුවක් තමයි Hatchback මොඩල් එකක් වීම. ඊට අමතරව වාහනයේ ප්‍රමාණය සහ පෙනුම අතින් ගත්තමත් ඉතා ආකර්ෂණිය තත්ත්වයක තියෙනවා. ගැහැණු අය මැනුවල් වාහන වලට කැමති වෙන්නෙ කලාතුරකින්  නෙ. ඒ නිසා පොදුවේ ඔටෝ වාහනයකට කැමති කාන්තාවන්ට මේ වාහනය පංකාදුයි. මේ වාහනයට හයිබ්‍රිඩ් තාක්ෂ​ණය එක්ක එකතු කරපු 1490ක එන්ජින් ධාරිතාවයක් සහිතව සිලින්ඩර් හතරක in-line water-cooled DOHC එන්ජින් එකක් තමයි එන්නේ. සැප පහසුවත් ඉතාම හොඳයි සහ ඩ්‍රයිව් කරද්දී තියෙන Smooth ගතිය නිසා පදවන්න කිසිම අමාරුවක් නැති වාහනයක්.

 

 

2. Toyota Vitz

මේකත් Hatchback මොඩල් එකක් නිසා කාන්තාවන්ට වඩා හොඳින් ගැලපෙනවා කියල කියන්න පුළුවන්. ඒ වගේම, ටොයෝටා වාහනයක් නිසා මාර්කට් එකේ හොඳ නමක් තියෙනවා . මේකේ මොඩල් කිහිපයක් තිබ්බට බදු ප්‍රශ්න නිසා ලංකාවට ගෙන්නන්නේ ගොඩක්ම එන්ජින් එක 990 විදිහට සඳහන් කරපු මොඩල් එකක්. ඒ නිසා ඒ මොඩල් එක ගැනයි මේ කියන්නේ. මේකත් ඔටෝ වාහනයක්. එන්ජින් එක 1000 නිසා ගැහැණු කෙනෙක්ට වඩා හොඳයි. පාරේ තොටේ ගොඩක් ගැහැණු අය මේ වාහනේ පාවිච්චි කරනවා දැකල ඇතිනේ. අනිත් එක, Aqua එක වගේම මේ වාහනෙත් ගොඩක් Smooth. ඩ්‍රයිව් කරන්න ගොඩක් ලේසියි. ඒ වගේම පෙනුමත් හරි හුරුබුහුටියි. මේක හයිබ්‍රිඩ් වාහනයක් නෙමෙයි. ඒ වගේම 2018 සහ 2019 මොඩල් වල Facelift සහ Non Facelift කියල මොඩල් වෙනම ආවා. මේකේ කාන්තාවන්ට Non Facelift මොඩල් එක ගොඩක්ම ගැලපෙනවා.

Lifie Car Review – ටොයෝටා විට්ස් 2018 (Toyota Vitz)

 

3. Honda Fit

Honda නමත් ලංකාවේ වාහන මාර්කට් ඉතාම හොඳ කීර්තිනාමයක් දිනාගත්තු වාහන මාදිලියක් තමයි. මේ වගේ බ්‍රෑන්ඩ් වල වාහන ටිකක් මිලෙන් වැඩි උනත් ඒ ගෙවන මිලට උපරිම දෙයක් ලැබෙන්නේ ඒ නිසයි. Fit එකේ මූලික මාදිලි ගොඩක් තියෙනවා සහ ගොඩක් මොඩල්ස් කාන්තාවන්ට ගැලපෙනවා. GP1 මොඩල් එකේ ඉඳල අද වෙද්දී GP6 මොඩල් එක වෙනකන් මාර්කට් එකේ තියෙනවා. මූලිකවම, පෙනුම Hatchback මොඩල් එකක් සහ ඔටෝ ගියර් පද්ධතියක් සහිත වාහනයක්. හයිබ්‍රිඩ් තාක්ෂණයත් එකතු වෙච්ච, හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන හොඳ වාහනයක් තමයි ෆිට් කියන්නේ. ඇතුලත පෙනුම ගොඩක් ලස්සනයි. ඒ වගේම පදවන්න තියෙන පහසුවත් මේ වාහනේ කාන්තාවකට සුදුසු වෙන්න හේතුවක් වෙනවා. 

 

 

4. Perodua Axia

Axia එක ගැන අපේ කලින් රිවීව් එකකුත් ඇති. ඒ ගැන ගොඩක් විස්තර ​ඒකෙන් කියවන්නත් පුළුවන්. ඉතින් මේ වාහනේ ඉහතින් කතා කරපු වාහන වගේම ඔටෝ ගියර් සිස්ටම් එකක් තියෙන වාහනයක් වගේම Hatchback මොඩල් එකක්. ඒ වගේම 1000cc ධාරිතාවයක් තියෙන සිලින්ඩර් 3ක DOHC,12V, EFI එන්ජින් එකක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ VVTi තාක්ෂ​ණය එක්කම. සාමාන්‍ය බජට් වාහන කැටගරි එකටත් ඇතුලත් කරන්නත් පුළුවන් මේ වාහනය. ඉතින් වාහනයේ ප්‍රමාණයත් එක්ක බැලුවම සහ ඇතුලත සහ පිටත පෙනුමත් කාන්තාවකට වඩා සුදුසු තත්ත්වයක් තියෙනවා. 

Lifie Car Review – පෙරොඩුවා ඇක්සියා (Perodua Axia)

 

5. Suzuki Wagon R / Mazda Flair

මොඩල් දෙකක් උනාට එකම එන්ජින් එක එකම චැසි එක වාහන දෙකේම තියෙන්නේ. මහා බරපතල වාහනයක් නෙමෙයි නිසාත් කියුට් ලුක් එක නිසාත් කාන්තාවකට වඩා ගැලපෙනවා. මේකේ මොඩල් නම් ගොඩාක් තියෙනවා. පොදුවේ ගත්තම මූලික කාරණා ටික සමානයි. මහා ලොකු එන්ජින් එකකුත් නෙමෙයි තියෙන්නේ. 660cc එන්ජින් එකක් තියෙන්නේ. ගොඩාක් ගැහැණු අය මේ වාහනේට විශේෂ කැමැත්තක් දක්වන බව පේන්න තියෙනවා වගේම බජට් වාහනයක් හැටියටත් නම් කරන්න පුළුවන්කම තියෙන නිසා ඔෆිස් යන ගැහැණු උදවිය අතරේ මේ වාහනය ජනප්‍රියයි. 

 

 

6. Toyota IST

Toyota IST කියන්නේ දැනට නිෂ්පාදනය නොකරන වාහනයක්. මේක අන්තිමට නිෂ්පාදනය ක​ළේ 2016 දී. මේකත් Aqua, Vitz වගේම Hatchback මාදිලියේ වාහනයක්. 1.5 එන්ජින් එකක් මේකටත් තියෙන්නේ. දැනට මේ වාහනේ ගන්නවානම් ගන්න වෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් විදිහට දැනට පාවිච්චි කරන කෙනෙක්ගෙන්. කොහොම උනත් හයිබ්‍රිඩ් නොවන වාහනයක් විදිහට කාන්තාවන් බොහෝ දෙනෙක් පාවිච්චි කරන්න කැමති වාහනයක්. සාමාන්‍ය ටොයෝටා වාහනයක එන සියළුම අංගෝපාංග මේ වාහනයේත් දකින්න පුළුවන්.

 

 

7. Kia Picanto

2004 දී නිෂ්පාදනය පටන් ගත්තු මේ වාහනය තාමත් අඛණ්ඩව මාර්කට් එකේ අලෙවි වෙනවා. මේ වෙනකොට මේ වාහනයේ තුන්වෙනි පරම්පරාවත් එලියට ඇවිත් තියෙන්නේ. සාමාන්‍ය බජට් කැටගරි එකටත් ඇතුලත් කරන්න පුළුවන් වෙන මේ වාහනයේ Hatchback පෙනුම සහ Curvy පෙනුම නිසා කාන්තාවකට වඩා යෝග්‍ය වෙනවා කියල සඳහන් කරන්න පුළුවන්. මැනුවල් සහ ඔටෝ මොඩල් දෙකක් ආවට කාන්තාවන් එච්චර මැනුවල් වලට කැමති නැති නිසා ගොඩක්ම නැගල යන්නෙ ඔටෝ මොඩල් එක තමයි. සේෆ්ටි එක පැත්තෙන් ගත්තත් හොඳ අගයක් දිනාගත්තු වාහනයක් විදිහට නම් කරන්න පුළුවන්. ඒ කිව්වේ ASEAN NCAP සේෆ්ටි රේටින්ග් එක තරු පහෙන් හතරක්ම මේ වාහනය දිනාගෙන තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *