ඛේදජනක ඉරණමකට ගොදුරු වුණු රුසියානු රජ පවුල

දහනව වැනි සියවසේ මුල්භාගයේ ලොව ජීවත් වුණු බලවත්ම රජපවුල වුණේ රුසියානු රජ පවුලයි. මේ වෙනකොට බ්‍රිතාන්‍ය රජ පවුල පාර්ලිමේන්තුව හරහා නාමමාත්‍රික රජ පවුලක් බවට පත්ව තිබුණා. ඒත් රුසියානු රජ පවුල මිහිබට දෙවිවරුන් සේ අති දැවැන්ත බලයක් ලබාගෙන තිබුණා. මහද්වීප දෙකක් පුරා  ඔවුන් තම බලය සාර්ථකව පතුරුවා හැරියා. අති දැවැන්ත මාළිගා, අසීමිත වටිනාකමින් යුතු ආභරණ ආදිය ඔවුන්ගේ බලය පෙන්වන සංකේත වුණා. නමුත් මේ අති දැවැන්ත බලයෙන් අන්ධ වුණු ඔවුන්ගේ පාලනය අවසානයේදී රුසියානුවන් විසින්ම පෙරළා දැමූවා. 1917 රුසියානු විප්ලවය ලෙස හැඳින්වෙන්නේ මේ සිදුවීම. විප්ලවයෙන් පස්සේ තමන්ගේ සියළුම බලතල පමණක් නොව අවසානයේදී තමන්ගේ ජීවිතය පවා රුසියානු රජ පවුලේ සාමාජිකයන්ට අහිමි වුණා. අපි අද කතා කරන්න යන්නේ  රුසියානු විප්ලව​යේ ප්‍රතිඵලයක් විදිහට ඛේදජනක විදිහට ජීවිතය අහිමි වුණ රුසියානු රජ පවුලේ ප්‍රධානම සාමාජිකයන් හත් දෙනා පිළිබඳව.

 

1. දෙවන නිකොලොස් සාර්වරයා 

තුන්වෙනි ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ හදිසි මරණයෙන් පසුව 1896 දී රුසියාවේ රජ බවට පත්වූ දෙවැනි නිකොලොස් හැඳින්වූයේ නිසි පරිදි අත්දැකීමක් නොලබා එම තනතුරට පත්වූ අයෙක් ලෙසටයි. ඔහුගේ පාලනයේ මුල් කාලය තුළ යම් යම් අපකීර්තිමත් සිද්ධි ඇති වුවත් ඔහු සිදු කළ සුවිශාලම වරද ලෙස සලකන්නේ  ඩූමාව ලෙස හැඳින්වුණු රුසියානු පාර්ලිමේන්තුවට නිසි බලයක් ලබා දීමට ඔහු දැක්වූ අකමැත්තයි. ඉන්පසුව පළමු ලෝක යුද්ධයට රුසියාව ප්‍රවේශ කිරීම නිසා සමස්ත රුසියාව පුරාම ආර්ථික සහ දේශපාලනිකව අසහනය වර්ධනය වූ අතර 1917 සිදුවූ පෙබරවාරි විප්ලවයේ දී ඔහුව බලයෙන් පහ කරනු ලැබුවා. සයිබීරියාවට පිටුවහල් කරනු ලැබූ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියළු දෙනාම 1918 ජුලි මාසයේදී හමුදා කණ්ඩායමකගේ වෙඩි ප්‍රහාර මාලාවකින් ඝාතනය කරනු ලැබුවා.

 

2. ඇලෙක්සැන්ඩ්‍රා ෆෙඩරොව්නා බිසව

දෙවෙනි නිකොලොස් සාර් රජුගේ බිරිඳ වුණු ඇලෙක්සැන්ඩ්‍රා බිසව රුසියානු රජ පවුල අපකීර්තිමත් තත්ත්වයකට ඇද දැමීමට වක්‍රාකාරව දායක වූ තැනැත්තියක්. වික්ටෝරියා රැජනගේ මිනිබිරියක වූ  ඇය හරහා ඇගේ පුත්‍රයා වු රුසියානු රජ කිරුළ හිමි ඇලෙක්සෙයි කුමරුටත් හිමෝෆීලියාව උරුම වුණා. සියා දරුවාගේ ජීවිතය රැක ගැනීමට  වෛද්‍යවරුන්ගේ පමණක් නොව ගුප්ත විශේෂඥයන්ගේ පවා පිළිසරණ සොයා ගිය ඇය අවසානයේ දී රස්පුටින්ගේ සහාය පතනු ලැබුවා. මේ සිදුවීම රුසියානු රජ පවුල කෙරෙහි රටවැසියන් තුළ පැවති ගෞරවය නැති කර දැමීමට එක් හේතුවක් වූ අතර පළමු ලෝක යුද්ධයේදී ජර්මානු ජාතික රජ කුමරියක් වූ ඇය ජර්මානු ඔත්තු කාරියක් ලෙස හංවඩු ගසනු ලැබුවා. ඝාතනය කිරීමෙන් පසුව ඇයගේ දේහයට පවා ඝාතකයන් විසින් බැණ වැදුණු බව පැවසෙනවා.

 

3. ඔල්ගා මහා ආදිපාදවරිය

දෙවන නිකොලොස් රජුගේ සහ ඇලෙක්සැන්ඩ්රා බිසවගේ වැඩිමහල් දියණිය වූ ඇය රුසියාව සම්ප්‍රදාය අනුව රජ කුමරියක් ලෙස නොව මහා ආදිපාදවරියක් ලෙස හඳුන්වනු ලැබුවා. පළමු ලෝක යුද්ධ සමය ආසන්න වන විට ඇයගේ විවාහය යුරෝපා රටක ප්‍රබල රජ පවුලක් සමඟ සිදු වනු ඇතැයි බොහෝ රුසියානුවන් විශ්වාස කරනු ලැබුවා. පළමු ලෝක යුද්ධ සමය තුළ රතු කුරුස සංවිධානය හා අනුබද්ධ හෙදියක් ලෙස ඇය කටයුතු ලැබුවා. පසුව හෙළි වී තිබෙන ආකාරයට පළමු වෙඩි ප්‍රහාර මාලාවෙන් ඔල්ගා මිය නොගිය අතර අනතුරුව ඝාතකයකු විසින් ඇයට බයිනෙත්තුවෙන් ඇනීමෙන් සහ ඇයගේ හකු ප්‍රදේශයට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඇය මියගොස් තිබෙනවා.

 

4. ටටියානා මහා ආදිපාදවරිය

සාර්වරයාගේ දරුවන් පස්දෙනා අතරින් මවක් බඳු වූ තැනැත්තියක් ලෙස ටටියානා ආදිපාදවරිය සැලකෙනවා. සිය මවට අතිශයින් සමීප තැනැත්තියක් වූ ඇය රජපවුලේ මහා ආදිපාදවරියන් හතර දෙනා අතරින් වඩාත්ම පියකරුම තැනැත්තිය ලෙස බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා. පළමු ලෝක යුද්ධ සමයේදී රතු කුරුස සංවිධානයට අනුබද්ධව හෙදියක ලෙස කටයුතු කළ ඇය සොල්දාදුවන් අතර අතිශය ජනප්‍රිය තැනැත්තියක් වුණා. සර්බියානු කිරුළ හිමි ඇලෙක්සැන්ඩර්, ටටියානාව විවාහ කර ගැනීමට කැමැත්ත පළ කර තිබුණත්, ඇය රුසියානු සොල්දාදුවෙකු සමඟ විවාහ වී රුසියාවේ පදිංචිවීමට ප්‍රිය කළ බව කියවෙනවා. පසුව හෙළි වූ පරිදි ඇගේ හිස පිටුපසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඇගේ මරණය සිදු වී තිබෙනවා.

 

5. මරියා මහා ආදිපාදවරිය 

පළමු ලෝක යුද්ධය සමයේදී තම වැඩිමහල් සහෝදරියන් මෙන් හෙදියක් ලෙස සේවය කිරීමට තරම් වයසක් නොතිබුණු නිසා වරින් වර තුවාල වූ හමුදා සාමාජිකයන් මුණගැසීම මරියා මහා ආදිපාදවරිය විසින් සිදු කරනු ලැබුවා. අතිශයින්ම අහිංසක දැරියක් වූ ඇය තමන් වැඩිහිටියෙකු වූ පසු විවාහ වී දරුවන් රැසක් හදා වඩා ගන්නා බව නිතර නිතර පවසා සිටියා. එසේම තම වැඩිමහල් සහෝදරියන් මෙන්ම රුසියානු සොල්දාදුවන් හට ඇය බෙහෙවින් ප්‍රිය කළා. ඇයත් මියගොස් තිබුණේ හිසට එල්ල කරන ලද වෙඩි පහරකින්.

 

6. ඇනස්ටේෂියා මහාදිපාදවරිය

හතරවැනි වතාවටත් ගැහැණු දරුවෙකු ඉපදීම නිසා, ඇගේ උපත සිදුවූ අවස්ථාවේදී ඇගේ පියා පමණක් නොව  රුසියානු රජ පවුලේ සෑම දෙනෙක්ම දුක් වූ බව පැවසෙනවා. කෙසේ වෙතත් අතිශයින් දඟකාර දැරියක් වූ ඇය පවුලේ සියළු දෙනාගේම ආදරය දිනා ගැනීමට සමත් වුණා. රුසියානු රජ පවුලේ සාමාජිකයන්ගේ සමූළ ඝාතනයෙන් ඇය මිදී පලා ගිය බවට වාර්තා ලොව පුරා පැතිර ගිය අතර ඩී.එන්.ඒ තාක්ෂණය වර්ධනය වන තෙක් බොහෝ දෙනෙක් විශ්වාස කළේ සැබවින්ම ඇනස්ටේෂියා  සිය පවුලට හිමි වූ කුරිරු ඉරණමින් ගැලවීමටත් සමත් වූ බවයි. නමුත් පසුව හෙළි වූ පරිදි ඇය බයිනෙත්තු ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

 

7. ඇලෙක්සෙයි කුමරු 

රජ පවුලේ දරුවන් අතරින් බාලම සාමාජිකයා වූ ඇලෙක්සෙයි කුමරුගේ උපත රුසියානු රජ පවුලට මහත් බලාපොරොත්තු ගෙන දුන් පුවතක් වුණා. ඒ රජ පවුලේ නීති රීති වලට අනුව කාන්තාවකට රුසියානු රජ කිරුළ හිමි නොවීම නිසා නිකොලොස්ගේ වැඩිමල් දියණියන් හතර දෙනාට කිරුළ අහිමිවන තත්ත්වයක් තිබීම නිසයි. අවාසනාවකට මෙන් සිය මව හරහා හිමෝෆීලියා රෝගයට ඔහු ගොදුරු වීම නිසා ඔහුගේ දෙමව්පියන් දරුණු මානසික ආතතියකට ඇද වැටුණා. අවසානයේදී ඔහුගේ මව තම පුත්‍රයාගේ සුවය වෙනුවෙන් රස්පුටින්ගේ සහය පැතීම ඔවුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට පවා වක්‍රාකාර හේතුවක් බවට පත්වුණා. ඇලෙක්සෙයි කුමරුද හිසට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මරු මුවට පත් වනවා 

 

කෙසේ වෙතත් අද වන විට රුසියානු රජ පවුලේ ඝාතනය කරන ලද ඉහත කී සාමාජිකයන් සියළු දෙනාවම රුසියානු ඕතඩොක්ස් පල්ලිය මගින් කුසලාන දරන්නන් ලෙස වන්දනාමාන කරනු ලබනව.

 

 

රුසියානු රජ පවුලට හිමිවූ මෙම අවාසනාවන්ත ඉරණම ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published.