දීර්ඝායුෂ වඩවන මධ්‍යධරණී ආහාර වේල

 මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව පිහිටා ඇති රටවල් වල, විශේෂයෙන්ම යුරෝපා මහද්වීපයට අයත් රටවල් වල ජනතාව දීර්ඝායුෂ භුක්ති විඳින බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මේ පිළිබඳව විවිධ පර්යේෂකයන් විසින් සොයා බලනු ලැබුවා. එහිදී ඔවුන්ගේ නිගමනය වූයේ මෙම ප්‍රදේශවල ජනතාවට වැඩි ආයුෂ ලබා දෙන රහස වන්නේ ඔවුන්ගේ ආහාර වේල බවයි. ඒ ආශ්‍රිතව ජීවත් වන විවිධ රටවල ජනතාවට ආවේණික ආහාර වේල් වර්ග රැසක් පැවතුණත් එම ආහාරවල යම් යම් සමානතා ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. ඒ නිසාම අද වන විට මධ්‍යධරණීය ආහාරවේල ලෝක උරුමයක් ලෙස නම් කිරීමට පවා එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කොට තිබෙනවා. අපි අද ඔබට කියන්න යන්නේ මේ මධ්‍යධරණීය ආහාර වේලේ ඇති සුවිශේෂීතා පිළිබඳවයි.

 

 

1. ශුද්ධ වූ ඔලිව් තෙල්

 මෙම ප්‍රදේශවල වාසය කරන ජනතාව සමන්ගේ සෑම ආහාරයක්ම පාහේ සකස් කිරීම සඳහා භාවිතා කරන්නේ ඔලිව් තෙල්. බොහෝ විට ඔවුන් ඔලිව් තෙල් නිස්සාරණය කිරීම සිදු කරන්නේ තම නිවසේමයි. මේ නිසා සීයට සීයක් පිරිසිදු ඔලිව් තෙල් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඔලිව් තෙල් මගින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන අතර හිතකර කොලෙස්ටරෝල් වර්ධනය කෙරෙනවා.

 

 

2. වතුරට වඩා වැඩියෙන් බොන පානය

 වයින් පානය කිරීම මධ්‍යධරණී ජනතාවගේ ජීවිතයේම කොටසක් බවට පත්ව තිබෙනවා. බොහෝවිට ඔවුන් සෑම ආහාර වේලක් අතරතුරම වයින් තොලගාමින් එම ආහාරය භුක්ති විඳීමට ප්‍රිය කරනවා. විවිධ වයින් වර්ග සම්ප්‍රදායානුකූලව සකස් කෙරුණත් රතු වයින් සඳහා ඔවුන් දැඩි ප්‍රියතාවක් දක්වනවා. රතු වයින් වල අඩංගු සංයෝග  හෘදයාබාධ අඩුකිරීමට දායක වන බව මේ වන විට වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී තිබෙනවා.

 

 

3. ආහාරයෙන් පසුව ඇවිදීම

 සෑම ආහාර වේලකට පසුව එළිමහනේ ඇවිදීමට මධ්‍යධරණී ජනතාව පෙළඹෙන්නේ නිරායාසයෙන්. ඒ හරහා ආහාර ජීර්ණය පහසු කරනවා සේම ඔවුන්ගේ සෞඛ්‍යසම්පන්න බවත් වැඩි කරනවා. වර්තමානයේදී කොවිඩ් තත්ත්වය මත ඔවුන්ට නිවාස වලට වී කාලය ගත කිරීමට සිදුවී තිබෙන පරිසරයේදී පවා මෙම ජනතාව තම පරිශ්‍ර තුළ ව්‍යායාම්වල යෙදෙමින් ආහාර වලින් පසු ඇවිදීමට නොහැකි වීමේ හිඩැස පුරවා ගනු ලබනවා.

 

 

4. ගෙදර හදන කෑම

මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව ක්ෂණික ආහාර අලෙවි කරන ස්ථාන අඩු බව ප්‍රසිද්ධ කාරණයක්. මීට හේතුව වන්නේ එම ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් තමන්ගේ නිවසේම සකස් කරනු ලබන ආහාර වලට ප්‍රිය කිරීමයි. මේ නිසා සෞඛ්‍ය සම්පන්න සහ පෝෂණීය ආහාර වේලක් දිනපතා ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. එසේම මෙම ආහාර සකස් කිරීම සඳහා යම්කිසි වේලාවක් ගතවන අතර එමගින් යම්කිසි ව්‍යායාමයක් ද ඔවුන් හට ලැබෙනවා.

 

 

5. මාළු වලට ආලේ

මෙම ජනතාවගේ ප්‍රෝටීන සහ ඔමේගා ත්‍රී අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන්ම පාහේ සපුරාලනු ලබන්නේ මාළු මගිනුයි. ඔවුන් වැඩි වැඩියෙන් මාළු ඇතුළත් රසවත් සම්ප්‍රදායක වට්ටෝරුවලට අනුව සකස් කරනු  ලබන ආහාර වර්ග රැසක් කෑම මේසයට එකතු කර ගන්නවා. ඇතැම් අවස්ථාවල ආහාර වේලක් සඳහා ඇතුළත් වන්නේ මාළු වලින්ම සකස් කරන ලද ආහාර පමණයි.

 

 

6. උදේ කෑම සුළුවෙනි

බොහෝ විට උදේ කෑම සඳහා  ඔවුන් ලබාගන්නේ පළතුරු වර්ගයක් සහ කෝපි කෝප්පයක් පමණයි. ඇතැම් අවස්ථාවල පිටි වලින් සකස් කරන ලද කුඩා බනිස් වැනි ආහාරයක් සමග කෝපි පානය කරනු ලබනවා. ජෑම් සහ බටර් ද අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාවිතා වෙනවා. අනෙකුත් යුරෝපා රටවල මෙන්ම උදෑසන ආහාරයට බිත්තර, සොසේජස් වැනි මාංශමය ආහාර බහුල ලෙස පරිභෝජනය කිරීම මෙම ප්‍රදේශවල සිදු වන්නේ නැහැ.

 

 

7. නිර්මාංශ ආහාර

 ඉහත සඳහන් කළ ආකාරයට ඇතැම් අවස්ථාවල සම්පූර්ණයෙන්ම මාළු වලින් සැකසූ ආහාර වේල් ගත්තත් එසේ නොමැති අවස්ථාවල ඔවුන් බොහෝ විට ප්‍රිය කරන්නේ සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර වේලක් සඳහායි. අනෙකුත් යුරෝපා රටවල මෙන් විවිධ මස් වර්ග පරිභෝජනය කිරීමට ඔවුන් ප්‍රිය නොකරන අතර ඇතැම් අවස්ථාවල පීසා සඳහා භාවිතා කරන්නේ ශාක කොටස් පමණයි. ඒ කෙසේ වෙතත් මේ මෙම ආහාරවල ප්‍රණීත බවෙහි සහ ගුණාත්මක බවෙහි කිසිදු අඩුවක් සිදු වන්නේ නැහැ.

 

 එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *