ගෙදරක කෑම වේලක් ලෑස්ති කරන්න අපිට එක එක හේතු තියෙන්න පුළුවන්. උපන්දිනයක්, සංවත්සර සැමරුමක්, දරුවෙක්ගෙ ජයග්‍රහණයක් වගේ දෙයක්. ඒ මොකක්මහරි නැතත් යාළුවො හරි නෑදෑයො හරි ටික කාලෙකින් සෙට් කරගන්න දාන පොඩි පාටියක් වෙන්නත් පුළුවන්. ඔය කොයික වෙතත් කේටරින් එකකින් කෑම ගෙනල්ලා කරන මහ ලොකු පාටියක් නොවන ගෙදරම ලෑස්ති කරන පාටියක් උනහම ඔන්න විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන කාරණා කිහිපයක්ම තියෙනව. බලමුකො මොනවද කියල.
1. කට්ටියගෙ හැටියට කෑම
එන එන අයගේ හැටියට තමා හදන්න ඕන කෑම තීරණය කරන්න ඕන කියන එක තමයි මේ කියන්න යන්නේ. අපි වැඩ පෙන්නන්නත් එක්ක ලොකු ලොකු පොශ් කෑම හැදුවට ඒවට හුරු නැති බතුයි මාළුයි විතරක් කන්න පුරුදු උන අය වෙන්න පුළුවන් එන්නෙ. ඉතින් අපේ ගෙදරට ආවනම් අපි දෙන විදිහට කන්න, නැත්තම් බඩගින්නෙ යන්න කියන්න බෑනෙ. එන අයගෙත් හිත සතුටින් අපෙත් හිත සතුටින් වැඩේ ඉවර වෙන තරමට තමයි හොඳ. නොකාම ගියොත් අපේ හිතටත් හරි නැහැ. ඒ නිසා කෑමට එන පිරිසගේ වයස, සමාජ තත්ත්වය වගේ දේවල් සලකල බලල හදන කෑම වර්ග ටික තීරණය කරන්න. ඒ කිව්වේ බත් දෙනවද, පැස්ටා නූඩ්ල්ස් දෙනවද, පීසා දෙනවද කියල එන සෙට් එක දිහා බලලම තමා හිතන්න ඕන.
2. එක එක අයගේ අවශ්‍යතා
දැන් ඔය එන පිරිස අතරේ ඉන්න පුළුවන් විශේෂ සෙට් එකක්. ඒ කිව්වේ ඔය වෙජිටේරියන් අය, නැත්තම් එක එක කෑමට ඇලර්ජීස් තියෙන අය. ඉතින් ඒ නිසා ඒ වගේ කාරණා ගැන ටිකක් කලින් දැනුවත් වෙලා ඉන්න එක තමයි හොඳම. කලින් එයාලගෙන්ම අහන්න පුළුවන් එහෙම විශේෂ අය ඉන්නවද කියලා. එහෙම අහල දැනගන්න ක්‍රමයක් ඇත්තේම නැත්තම් පරිස්සමට කෑම හදන එක තමා විසඳුම. ඒ කිව්වේ බත් හදද්දී බිත්තර වගේ කලවම් නොකර වෙජි රයිස් එකක් හදන්න. එහෙම බැරිමනම් වෙජි අයට වෙනම ප්ලේන් රයිස් එකක් හරි හදනව වගේ සිම්පල් ප්ලෑන් එකකට යන්න. බඩගින්නේ නොයවා කොහොමහරි බඩ පුරවල යවන එක තමා ටාගට් එක.
3. පිඟන් කෝප්ප
එන පිරිසට ඇතිවෙන්න ගෙදර පිඟන් කෝප්ප, හොදි බෙදන භාජන එහෙම තියෙනවද බලලා ඒව කලින්ම එලියට අරන් ලෑස්‍ති කරගන්න ඕන. අන්තිම මොහොතේ අතනින් මෙතනින් එකතු කරගන්න ගියාම ඔක්කොම පැටලෙනවා. ඒ වගේම තමා ඒ ඒ කාරියට ගැලපෙන භාජන ඒ ඒ විදිහට හදාගන්න ඕන. බීම බොන්න වෙනම වීදුරු, සැර බීම එහෙම දෙනවනම් වෙනම වීදුරු, වතුර බොන්න වෙනම වීදුරු වගේ. කෝකටත් තෛලේ කියල එකම සෙට් එකක් ගන්නෙ නැතුව.
ඒ වගේම තමයි කෑමට පොඩ්ඩො එනවනම් එයාලට වෙනමම ප්ලාස්ටික් පිඟන් කෝප්ප ටිකක් ලෑස්ති කරල තියන්න. අන්තිම මොහොතේ හොයන්න ගියාම ඒකත් පොඩි යුද්ධයක් වෙනව.
4. එන්න කලින් රෙඩි කරන්න
මේක තවත් සෑහෙන්න වැදගත් කාරණාවක්. අපි කෑමට ආරාධනා කරන අයට පැහැදිලිවම එන්න අවශ්‍ය වෙලාව කියනව වගේම ඒ කියන වෙලාවට කලින් පුළුවන් කෑම වර්ග ඔක්කොම හදල තියාගන්න එකත් හරිම වැදගත්. මොකද කට්ටිය ඇවිල්ල ගෙදර පිරුණට පස්සෙත් නෝනා කුස්සියට වෙලා කෑම හද හද ඉන්න එක හරි නෑනෙ. අනිත් එක එහෙම උනාම එන අයත් එක්ක නිදහසේ කතා කරන්න, විනෝද වෙන්න තියෙන අවස්ථාවත් ගෙදර අයට මඟ හැරෙන්න පුළුවන්. ඒ නිසා කට්ලට් බදින එක, පපඩම් බදින එක වගේ බොහෝම පුංචි පුංචි වැඩ ඇරුණම අනිත් ලොකු ලොකු ඩිශස් ඔක්කොම කලින් හදල තියාගන්න.
5. බයිට් වර්ග වෙනම
ඔන්න ඔය පාටිය අස්සෙම ලාවට ස්ටෙලා වෙන්නත් හිතන් ඉන්නවනම් මේ කාරණාව හොඳට මතක තියාගන්න ඕන. ස්ටෙලා වෙන්න අවශ්‍ය බීම ටික විතරක් රෙඩි කර ගත්තට මදි. බයිට් එකට ගන්නෙ මොනවද කියල කලින්ම හිතල ඒක වෙනම හදල තියාගන්න වෙනව. මොකද අන්තිම මොහොතේ මතක් වෙලා කෑමට හදපු කට්ලට්, චිකන් වලින්ම බයිට් එකත් ශේප් කරගන්න ගියොත් අන්තිමට කෑමත් මදි වෙලා බයිටුත් මදි වෙලා තමයි වැඩේ අහවරක් වෙන්නෙ.
අනිත් එක තමයි ඔය බයිට් හැදිල්ලෙදිත් විශේෂයෙන්ම බලන්න වෙනව වෙජිටේරියන් අය ගැන එහෙම. එයාලට වෙනම කඩල තෙම්පරාදුවක් වගේ වෙජි බයිටකුත් හදල තියන්න.
6. අත් හෝදන්න
ඔන්න මේකත් හරිම වැදගත් කාරණාවක්. කලින්ම තීරණය කරන්න කන්න කලිනුයි, කාලයි අත් හෝදන්න දෙන විදිහ ගැන. දැන්නම් හුඟක් ගෙවල් වල කුස්සියට අමතරව පැන්ට්‍රි එකක් හෝ ඩයිනින් රූම් එකක් තියෙන නිසා එතන මේ වැඩේට ඇරේන්ජ් කරන්න පුළුවන්. මතක ඇතුව හෑන්ඩ් වොශ් එකක්, ටිශූ පැක් එකක් එහෙම ඒ ලඟ පාතින්ම තියන්න.
එහෙම නැත්තම් ඉතින් කුස්සියේම සින්ක් එක ලෑස්ති කරනවනම් අර කලබලේ උයපුව අස් පස් කරල එතන ඒ වැඩේටම හදල තියන්න වෙනව. නැතුව ඉස්සර වගේ ෆින්ගර් බෝල්ස් තියන එක හරිම කරදරයි සැරින් සැරේ බල බල ඒක මාරු කරන්නම කෙනෙක් ඉන්න වෙන නිසා.
7. අමතක වෙන්න පුළුවන් ඩෙසර්ට් වර්ග
මේකනම් සෑහෙන්න ගෙවල් වල කෑම දෙද්දි වෙන අකරතැබ්බයක්. මහන්සි වෙලා ඩෙසර්ට් ජාති හදල කලින්ම ෆ්‍රිජ් එකේ දැම්මා මොකද කට්ටිය සෙට් වෙලා ෆන් එකේ කියවන්න ගත්තම කාල ඉවර උනාට සමහර ඩෙසර්ට් ෆ්‍රිජ් එකේම අමතක වෙන්න පුළුවන්. මොකෝ ආපු අය අහනව කියලයෑ අහවල් ඩෙසර්ට් එක කෝ කියල. ඒ නිසා මතක ඇතුව හදපු ඩෙසර්ට් ටික බෙදල දෙන්න ඕන. අමතක වෙයි වගේනම් ඩෙසර්ට් කප්ස් හොඳට පේන තැනක තියන්න. නැත්තම් ෆ්‍රිජ් එකේ දොරේ ලොකුවට පේන්න ඩෙසර්ට්ස් කියල ගහපු කොලයක් අලවන්න.
Leave a Reply