සෝෂල් වෙනකොට කථා නොකළ යුතු දේවල් මේවා තමයි

ගොඩක් මිනිස්සුන්ට සමාජය ඇතුළේ අත්විඳින්න සිද්ධ වෙන ලොකු ප්‍රශ්නයක් තමයි කතා කරන්න ගියහම චාටර් වෙන එක. විශේෂයෙන්ම කතා කරන්න ඕනෑ දේ සහ එපා දේ පටලවා ගැනීම නිසා තමයි ඉතින් මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. ඇත්තටම කොයි තරම් හොඳට ඇඳලා පැළඳලා සුපිරි ලෙවල් එකෙන් හිටියත් වැඩක් නෑ කට පාලනයක් නැත්තං. ඒකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ තමන්ගේ තත්වේ පහත වැටෙන එක විතරක් නෙවෙයි. තව කෙනෙක්ගේ හිත් රිදෙන එකත් සිද්ධ වෙනවා.

ආන්න ඒ නිසා, පොදු සමාජේ පොඩ්ඩක් සෝෂල් වෙනකොට, ඒ කියන්නේ ඔය යාලු මිත්‍ර සෙට් වීමකදී, ප්‍රිය සම්භාෂණයකදී, ආතල් පාටියකදී, නෑදෑ හමුවකදී වගේ සමාජේ හමුවෙන තැනක කථා නොකළ යුතු කාරණා, නොඇසිය යුතු කාරණා ගැන කියලා දෙන්න තමයි මේ යන්නේ.

 

1. පොලිටික්ස්!

එකෙන්ම පොලිටික්ස්! ඒ ගැන ෂුවර් නැතිනං මේ දවස් වල වාතාවරණේ දිහා බලන්න. සාමාන්‍යයෙන් බොක්කේ යාලුවෝ සෙට් වෙන තැනක් වුනත් හැමෝටම එකම දේශපාලන අදහස් තියෙන්නේ නෑ. ආන්න එතකොට එකෙක් ගෝටාභය තමයි ජනාධිපති වෙන්න ඕන කියනකොට අනිකා කියනවා නෑ සජිත් කියලා. තව එකෙක් අනුර කුමාර කියනකොට අනික් එකා කියනවා නෑ නාමල් කුමාර කියලා. බොරු වලිනේ මචං. ආන්න ඒ නිසා දේශපාලනය ගැන සෝෂල් වෙන තැන්වල කතා නොකරන එක හොඳයි. හැබැයි ඉතින් ඔය ගැඹුරු දේශපාලන දර්ශන වගේ එව්වා කතා කළාට නං එහෙම වලි යයි, හිත් රිදෙයි කියලා අපි කියන්නෙ නෑ. ඒ නිසා මැකියාවෙල්ලි දේශපාලන දර්ශනය, භූ දේශපාලන ප්‍රවණතා, චීනයේ සහ බලුකිස්ථානයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වගේ දේවල් කතා කළාට අපි මොකුත් කියන්නෙ නෑ!

 

2. ආගම!

මෙන්න මේකත් පොලිටික්ස් තරං අවුලක් නැතත් සෝෂල් වෙනකොට කතාබහට අප්සෙට් යන මාතෘකාවක්. මොකද සමාජේ ඉන්නේ එක ආගමක අය නෙවෙයි. ආන්නෙ එතකොට ඔය එක එක ආගම් වල එවුන් ගහගන්න පටන් අරගෙන තමයි වැඩේ කෙළවර වෙන්නේ. අනික ආගම කියන්නේ සෝෂල් වෙන්න නැගලා යන මාතෘකාවකුත් නෙවෙයි. ඔක්කොටම වඩා රහමෙර වීදුරුවක් අතේ තියාගෙන පන්සිල් රැකීමෙන් ඇතිවන සමාජ ප්‍රගමනය වගේ මාතෘකාවක් සාකච්ඡාවට ගන්න එකත් අප්සෙට් නේ. ආන්න ඒ නිසා හොඳම දේ තමයි සෝෂල් එකතුවකදී ආගම අත ඇරල වෙන ආතල් මාතෘකාවක් සාකච්ඡාවට ගන්න එක.

 

3. පුද්ගලික සෙක්ස් ලයිෆ් එක!

සාමාන්‍යයෙන් කොල්ලෝ කොල්ලෝ හරි කෙල්ලෝ කෙල්ලෝ හරි එකතුවෙන තැනක සෙක්ස් වගේ දෙයක් කතා නොකෙරෙනවා නං ඒක ලෝක පුදුමයක්. ඒකේ කිසි අවුලකුත් නෑ. හැබැයි සෙක්ස් ගැන සෝෂල් හමුවක කතාකරනකොට තමන්ගේ පුද්ගලික සෙක්ස් ජීවිතේ ගැන කතාකරන එක අප්සට්. ඒක ටූ මච් ඉන්ෆොමේෂන්. ඒ වගේම ඔය කොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ සෙක්ස් ජීවිතේ ගැන පම්පෝරි ගහනවනේ. සෝෂල් හමුවකදී එහෙම කරන එක හරිම අප්සට්. විශේෂයෙන්ම වෙනත් අය ගැන කියන “මම අරකිවත් ඇද්දා, මේකිටත් ගැහුවා” වගේ කතන්දර නම් අතිශයින්ම පිළිකුල් කියන එක මතක තියාගන්න. මෙහෙම තමන්ගේ පුද්ගලික ලිංගික ජීවිතේ ගැන කියන එකෙන් තමන්ගේ තත්වය හිතන්න බැරි විදියට පහළට වැටෙනවා කියන එකත් මතක තියාගන්න.

 

4. පඩිය!

සාමාන්‍යයෙන් මිනිස්සු ආසයිනේ පම්පෝරි ගහන්න. ඉතින් ඔය සමාජ හමුවකදී එහෙමත් ඒ විදියේ මිනිස්සු ලොකු එකෙන් පම්පෝරි ගහන්න පෙළඹෙනවා සමහර වෙලාවට. තමන්ගේ ජොබ් එකේ ලොකුව, තමන් යටතේ ඉන්න මිනිස්සු ප්‍රමාණය, තමන් ගිහින් තියෙන රටවල් ගාණ වගේ දේවල් වගේම තමන් හම්බුකරන ගණන් වගේ දේවල් ගැන මිනිස්සු පම්පෝරි ගහනවා. හරි. අපිට පම්පෝරි නවත්තන්න අවශ්‍ය කමක් නෑ. හැබැයි ඉතින් ඒ පම්පෝරියේ දිගුවක් විදියට අනික් අය හම්බු කරන ගණන් ගැන, පඩිය කීයද කියන එක ගැන අහන එක හරිම කැතයි. ශිෂ්ට සමාජය ඇතුළේ ඒ වගේ දේවල් කතා නොකළ යුතුයි කියලා තමයි සැලකෙන්නේ. ඒ වගේම තමයි “ඔයාට ක්‍රෙඩිට් කාඩ් එහෙම තියෙනවද, ඒකේ ලිමිට් එක කීයද” වගේ ප්‍රශ්න වුනත් මේ කතා නොකළ යුතු කැටගරියටම තමයි වැටෙන්නේ!

 

5. ඇඟේ හැටිය!

මේක නම් අපේ ජාතික කැත පුරුද්දක්. ඕන වෙලාවක අපේ ඈයෝ ලෑස්ති වෙලා ඉන්නේ තව කෙනෙක්ගේ ශරීරය ගැන විවේචන එල්ල කරන්න. “අයියෝ මොකෝ මේ මහත් වෙලා?”, “කළු වෙලා නේද, අහවල් ක්‍රීම් එක ගාන්න”, “පොඩ්ඩක් හිතේ සතුටින් හිටියොත් ඇඟ මහත් වෙයි” වගේ එක එක කමෙන්ට්‍රීස් දෙනවා සෝෂල් හමුවකදී වුනත්, තනියෙන් පාරේ හම්බුනත්. ආන්න ඒක කතා නොකළම යුතු දෙයක්, විශේෂයෙන්ම තවත් අය ඉන්න තැනක කෙනෙක්ට එහෙම එව්වා කියන එකෙන් ඒ කෙනා මොන තරම් අපහසුතාවයකට පත් වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මිනිස්සුන්ගේ රූප සොබාවය, බාහිර පෙනුම විවිධාකාරයි. ආන්න ඒ නිසා තව කෙනෙක්ගේ පෙනුම සමාජ හමුවකදී තමන්ගේ ප්‍රශ්නයක් කර නොගෙන ඉන්න වග බලාගන්න එකයි ශීලාචාර විදිය.

 

6. අනුන්ගේ පවුල් ප්‍රශ්න

සමහරු ඉන්නවා, පුදුමාකාර විදියේ ආසාවක් තියෙන්නේ අනුන්ගේ පවුල් අවුල් ගැන කතාකරන්න. අරයා පැනලා ගියපු හැටියි, මෙයාගේ දුව යාලුවෙලා ඉන්න එකාගේ විදියයි, අහවලාගේ පුතා ඒලෙවල් ෆේල් වෙලා ඉන්න හැටියි වගේ දහසකුත් එකක් දේවල් ගැන කියවන්න මේ විදියේ අය දක්ෂයි. මේ විදියේ ගොසිප් කොහේ කතා කරන එකත් හොඳ නෑ. හැබැයි සමාජ හමුවකදී නම් මේ වගේ දේවල් කතා කරන එක විශේෂයෙන්ම කැතයි. මොකද එතන ඉන්න කෙනෙක්ට ඒ කතා කරන දේවල් අදාළ වුනොත් ඒ කෙනා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. අනික ගොසිප්, අනුන්ගේ පවුල් ප්‍රශ්න කතා කරන්න අකමැති එතන ඉන්න අනික් මිනිස්සුත් අපහසුතාවයකට පත් වෙනවා. ආන්න ඒ නිසා ගොසිප් මල්ල ගෙදර තියලා එන්න කරුණාකරලා!

 

7. තමන්ගේ ප්‍රශ්න

ඔව්, තමන්ගේ ප්‍රශ්න ගැනත් සමාජ හමුවකදී කතා කරන එක අප්සට්. යාලුවෝ මුණගැහෙන තැනක වුනත්, පාටියක වුනත් තමන්ගේ ප්‍රශ්න ගැන, තමන්ගේ හිතේ අමාරු ගැන කතා කරන්න ගියහම එතන මූඩ් එක අප්සට් යනවා විතරක් නෙවෙයි, අනික් මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනවා. අන්න ඒ නිසා තමන්ගේ ප්‍රශ්න, සිත් තැවුල් ගැන කතා කරන්න සමීප මිත්‍රයෙක් එක්ක පුද්ගලිකව. එහෙම නැතිනම් යන්න උපදේශන සේවාවක් ලඟට. හැබැයි සමාජ හමුවක් ඇතුළට එව්වා ගෙන්න එපා. ඒකෙන් තමන්ගේ තත්වයත් පහළට වැටෙනවා කියන එක මතක තියාගන්න.

 

8. වෙන ජාතියක, ආගමක, පාටක, ලිංගික නැඹුරුතාවයක අය පහත හෙළන දේවල්

මේක ගොඩක් වෙලාවට මිනිස්සුන්ට වැරදියි කියලා තේරුම් ගන්නත් බැරි, ඒත් ප්‍රසිද්ධියේ ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. දැන් මිනිස්සු විවිධ ජාතීන්ට අයිතියි, විවිධ ආගම් අදහනවා. විවිධ හමේ වර්ණයන්ගෙන් යුතුයි. විවිධාකාරයේ ලිංගික නැඹුරුතාවයන් තියෙනවා. හැබැයි කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන මේ දේවල් එක්ක මිනිස්සුන්ව භාර ගන්න. එහෙම නැතුව මේ දේවල් පදනම් කරගෙන මිනිහෙක්ව කොන් කරනවා නම් ඒක අශීලාචාරයි. එහෙම කොන් කරන විදියේ දේවල් සමාජේ කතාවෙන එක ඊටත් වඩා අශීලාචාරයි. ආන්න ඒ නිසා “ආපෝ ඔය මනුස්සයා සමනළයෙක්නේ, ඒකනේ බැඳලත් නැත්තේ!”, “පොර දෙමළනේ, ඒකයි මිනිහගේ මහන්තත්වේ”, “පොර කපටියා, මුස්ලිම්නේ!” වගේ දේවල් සෝෂල් වෙනකොට කියන එක අන්තිම කැතයි. තමන්ගේ තත්වෙත් බාල්දුයි.

 

දැන් එතකොට සෝෂල් වෙනකොට මොනවා ගැනද කතා කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. අපි ඔය උඩින් කියලා තියෙන දේවල් වලට අමතරව දෙයක් සෝෂල් වෙනකොට කතා කරන්න නැතිනම් ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙමනම් සෝෂල් වෙන එක පැත්තකින් තියලා රට තොට ගැන, ලෝකේ ගැන පොඩ්ඩක් කියවලා බලලා එන එක වටිනවා. කතා කරන්නම දෙයක් නැතිනං මීයා කලීෆා ගැන කතා කළත්, ජොනී සින්ස් ගැන කතා කළත්, පෝර්න් හබ් එක ගැන කතා කළත් කිසි අවුලක් නෑ. හැබැයි අපි මේ උඩින් කියලා තියෙන දේවල් නං කතා කරන්න එපාමයි! 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *