ජොබ් ඇඩ් වලදි වැටුප් සඟවන්නේ ඇයි? 

වැටුප් කියන්නේ නූතන සමාජයේ බොහෝ දෙනාගේ මාසික බලාපොරොත්තුව. ඉතින් දැන් තියෙන රැකියාව දාල අලුත් එකට යන්න අපි ඇබෑර්තු බලනකොට වැටුප් සඳහන් වෙන්නේ නැතිම තරම්. හොඳ තනතුරු, ලොකු තනතුරු වලට නම් හැම වෙලාවෙම වගේ වැටුප් සාකච්ඡා කරගත හැක කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේ වෙන්නේ ඇයි කියලා අපි බලමු.

 

1. එයින් රැකියාව ලැබෙන අයට විය හැකි බාධාවන් නිසා

අපි එකිනෙකා කතා බහ කරද්දී වැටුප් කියන්නේ සඟවන දෙයක්. ඒ ගැන ඇසීමත් ටිකක් ප්‍රයිවෙට් වැඩක් විදිහට තමයි දකින්නේ. එතකොට යම් ලෙසකින් අපේ රැකියාවට අදාළ වැටුප් දැන්වීම් වල පළ වුණානම් ටික කාලෙකින් අපේ රක්ෂාවට අදාළ වැටුප අවට අය දැනගන්නවා. ලංකාවේ නම් එවිට පිරමීඩ්කරුවන්, ඉන්ෂුවරන්ස්කරුවන්, ආයෝජන ප්‍රවර්ධකයින් ආදී එකී මෙකී නොකී අයගෙන් ඉන්පසු ඉස්පාසුවක් වෙන්නේ නැහැ. ඒ නැතත් මුදල් තියෙන බව දැනගත් පසු එය සොරසතුරු බියට පවා බලපාන දෙයක් වෙන්නට පුළුවන්.

 

2. සොයන කෙනා සහ හමුවන කෙනා

මේක සේවායෝජකයාගේ පැත්තෙන් එන අවුලක්. යම් යම් තනතුරු වලට පුද්ගලයින් සොයද්දී අපිට හමුවන්නේ අපි සොයන කෙනාම නෙමෙයි. ඇතැම් වෙලාවට අපි හොයනවාට වඩා හොඳ පළපුරුදු දක්ෂ කීර්තිමත් අයෙක් හමුවන්න පුළුවන්. එහෙම කෙනෙක් සාමාන්‍ය කෙනෙක්ට වඩා වැටුපක් ඉල්ලුවත් එය සමාගමට වාසියක්. අනෙක් අතින් අපි වැටුප් පරිමාණ මුලින් දාල ඉන් පස්සේ අලුතින්ම ඒ ක්ෂේත්‍රයට ආපු කෙනෙක් එම රැකියාවට ආවොත් එය එතරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා එන කෙනා අනුව වෙනස් කරගත හැකි වැටුප් පරිමාණ පුද්ගලික අංශයේ තියෙනවා.

 

3. අනෙක් සේවකයින්ගේ විරෝධතා

රාජ්‍ය අංශය ගතහොත් රාජ්‍ය සේවකයින් හැමෝටම වගේ වැටුප් විෂමතා ගැටළු තියෙනවා. කාලෙන් කාලෙට රැකියා වෙළඳපොල වෙනස් වෙනවා. කලකදි ඉංජිනේරුවරුන් සොයාගන්නට ලේසියි. තවත් කාලෙකදි වැටුප් දෙගුණයක් කළත් ඉංජිනේරුවරුන් සොයාගන්න බැහැ. ඉතින් ආයතන ඒ වගේ වෙලාවකට වෙනත් දීමනා හෝ වෙනයම් පහසුකම් හෝ වැටුප් හරි දීලා නව සේවකයින් බඳවා ගන්නවා. ඒත් කලින් සිටින සෑම සේවකයෙක්ටම ඒ පහසුකම නැහැ. එවැනි අවස්ථාවලදී සේවක වැටුප් දැන්වීම් වල ඇතුළත් නොකීරීම වාසියි.

 

4. හෙට්ටු කිරීමේ වාසිය

පුද්ගලයන් වශයෙන් සාමාන්‍ය පිරිසකට වඩා ආයතනයක හොඳ පළපුරුද්දක් තිබෙන අයට වැටුප් සාකච්ඡා කරලා හොඳ පළපුරුද්දක් තියෙනවා. ඔවුන්ට ඒ අත්දැකීම් හරහා නව සේවකයින් සමග හෙට්ටු කරලා හොඳ තත්ත්වයකට එන්න පුළුවන්. එතනදී අලුතින් එන සේවකයින් හැමෝම එතරම්ම හෙට්ටු කිරීමේ සහ තමුන්ගේ හැකියාවන් අනුව වැඩි වැටුප් ඉල්ලීමේ සූරයින් නෙමෙයි. එතකොට සමාගමට තමුන්ගේ මානව සම්පත් ඇණිය හරහා සමාගමට වාසිදායක කෙනෙක් තෝරාගන්නට අවස්ථාව තියෙනවා.

 

5. රැකියා තත්ත්වයේ පිටත ස්වභාවය අධ්‍යයනය කිරීම

රැකියාවන් ගත්තාම විවිධ ආයතන වල විවිධ ආකාරයේ තනතුරු වල එකම සුදුසුකම් ලබාගත් අය සේවය කරනවා. ඉතින් එවැනි අවස්ථාවලදී දක්ෂ මානව සම්පත් කළමනාකාරවරයෙක්ට ඒ විවිධ ආයතන වල ගෙවන වැටුප ගැන අවබෝධයක් තියෙනවා. යම් අයෙක්ගේ රැකියා අයදුම්පතක අනිවාර්යෙන්ම කලින් සේවය කළ තැන් ගැන විස්තර ඇතුළත් වෙනවා. රැකියා තනතුරු කිහිපයක් බඳවා ගන්නා විට අදාළ ආයතන හරහා මේ රැකියා අපේක්ෂකයාගේ තත්ත්වය බලාගන්නත් ඔවුන්ට පුළුවන්. ඒ වගේ දේවල් ඉන්ටර්වීව් බෝඩ් එකේදිම කරන්න අමාරුයි. ඒ නිසා සමහර වෙලාවට වැටුප් ගැන කතාබහ ඇතිවුණත්, එහි අවසාන තීරණයක් ලබා දෙන්න සමාගම් ටිකක් කල් ගන්නවා.

 

6. අනෙක් සමාගම් සමග ගැටුම් වලට නොයෑම

අලුත් සමාගමක් පටන් ගනිද්දි අනෙක් සමාගම් වලින් එන එක අවුලක් තමයි පළපුරුදු සේවකයින් එම අලුත් සමාගම් වෙතට ආකර්ෂණය වීම. ඒ වගේ ඇතැම් නව ආයතන වැඩි වැටුප් දෙන බවට කරන දැන්වීම් හරහා ක්ෂේත්‍රය තුළ තියෙන තරගකාරීත්වය හරහා යම් යම් අනිසි බලපෑම් එල්ල වෙන්න ඉඩ තියෙනවා. ලංකාවෙදි වගේ නම් සමාගම් වලට දේශපාලන බාධා කිරීම් ආදියත් වෙන්න පුළුවන්. ඒ නිසා දැන්වීම් වල පළ නොකර පස්සේ සේවකයින් සමග පුද්ගලිකව කතාබහ කරගැනීම් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක සාමෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා.

 

7. අයදුම් කරන සේවකයින් කොහොමද වාසිය ගන්නේ?

සාමාන්‍යයෙන් ඉන්ටර්වීව් එකක මුලින්ම වැටුප් ගැන කතාකරන්න එපා කියලා තමයි තියෙන්නේ. ඔවු එහි ඇත්තක් තියෙනවා. ඒත් ඉන්ටර්වීව් එකක් සෑම විටම යටහත් පහත්, සුවිනීත විනීත එකක්ම වෙන්න ඕනි නැහැ. අපි උත්සාහ කරන්නේ අපි දැන් තියෙන තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් ලබාගන්න. ඉතින් ඒකෙදි අපිට නව පළපුරුද්ද ලබාගැනීම, අත්දැකීම් එකතු කරගැනීම වගේ දේවල් එතරම් වැදගත් නැත්නම්, වැටුප නැතිනම් වැටුප් පරාසය හරි අසා දැනගැනීම වැදගත් වෙනවා. ඉතින් එවිට සේවකයින්ට වැටුප් සාකච්ඡා කරන තැනට ආවම කලින් තැන ගෙවීම් කොහොමද කියන ප්‍රශ්නය ආවොත්, ඔබ ආයතනය දෙන්න හිතාගෙන ඉන්න පරාසය මොකද්ද කියලා සෘජුවම අහන්න පුළුවන් වෙන්නට ඕනි.

 

වැටුප් සාකච්ඡා කරගැනීම බොහෝවිට සමාගම් සිය වාසියට කරන දෙයක්. ඒක තමුන්ගේ වාසියට හරවා ගැනීම සේවකයාගේ වැඩක්. රාජ්‍ය අංශයේ වගේ සෑම දෙයක්ම මුලින් පැහැදිළිව සඳහන් කරලා සේවයට ගන්න සිරිත දැන් ගොඩක් පුද්ගලික අංශයේ නැහැ. ඔවුන් සැබෑවටම දක්ෂයින් සොයාගෙන, ඔවුන්ට වැඩිපුර ගෙවලා සේවය ගන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් වැටුප් සාකච්ඡා කරගැනීම ගැන ඔබට වැදගත් කරුණු කිහිපයක් මේ හරහා එකතු කරගන්නට පුළුවන් වෙන්න ඇති.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *