ජීවිතයේ සතුට හොයාගන්න ඉකිගයි ක්‍රමය පාවිච්චි කරන හැටි

Ikigai concept

ලෝකෙටම හපන්නු විදියට හඳුන්වන ජපන්නුන්ගෙ මේ සරල වගේම බොහොම වැදගත් ඉකිගයි සංකල්පය ගැන තමයි අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නෙ. මේක දිගුකාලයක් සතුටින් ජීවත් වෙන්න ජපන්නු අනුගමනය කරන හරිල ලස්සන සංකල්පයක්. මේක ලස්සනට විග්‍රහ කරපු පොතක් තියනවා ලෝක ප්‍රසිද්ධ ලේඛකයින් දෙපලක් වන Hector Garcia හා Frances Mirallers විසින්. ඉතින් අපි බලමු ඒක කොහොමද වෙන්නෙ කියලා.

01. මොකද්ද මේ ඉකිගයි කියන්නෙ

Ikigai concept

මුලින්ම වචනාර්ථය අරන් බැලුවොත් ඉකි කියන්නෙ ජපන් වලින් ජීවිතය කියන අර්ථය. ඒ වගේම ගයි කියලා කියන්නෙ වටිනාකම කියන එක. සරලවම කිව්වොත් අපේ මේ ජීවිතයට හරි වටිනාකමක් දෙමින් සතුටින් දිගු කාලයක් ජීවත් වෙන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. මේක මුලින්ම පටන් ගත්තෙ ජපානයේ ඔකිනාවා කියන ග්‍රාමයෙන්. ඒ ගමේ මිනිස්සුගෙ ආයුෂ ගොඩක් වැඩී. ඒකට හේතුව එයාලා මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන නිසා.

02. කොහොමද මේක වෙන්නෙ?

Ikigai concept

ඉකිගයි සංකල්පය ක්‍රියාත්මක වෙන්න ප්‍රධාන වශයෙන් කාරණා 4ක් බලපානවා.
1. ඔයා වැඩියෙන්ම කැමති දේ
හිතන්න ඔයා යමක් කරනකොට අන් සියල්ලටම වඩා ඒ දෙයින් සතුටක් ලබනවා නම්, හරිම උනන්දුවෙන් ඒක කරනවා නම්, පොසිටිව් ෆීලින් එකක් දැනෙනවා නම්, එතන මේ ඉකිගයි කියන දේ තියනවා.

2. මේ කැමති දේ අන් අයට අවශ්‍යද, මේකෙන් අන් අයට පොසිටිව් බලපෑමක් තියනවද කියන දේ, එහෙම උනොත් ඒක ඔයාගෙ ඉකිගයි එක වෙන්න පුළුවන්. හැබැයි මේ ඔයා කැමති දේ අනික් අයත් කරන්නම ඕනෙ කියලා දෙයක් නෑ. එයාලා කැමති නම්කරන්න පුළුවන්. ඔයාගෙ මේ ස්කිල් එකෙන් අනික් අයට වැඩක් තියනවද කියලා තමා මේකෙන් සරලවම කියන්නෙ.

3. ඊලඟට බලන්න ඕනේ මේ තියන ස්කිල් එකෙන් ලෝකෙට වැඩක් කරලා මුදලක් උපයාගැනීමේ හැකියාව තියනවද කියන එක. සාමාන්‍ය මතය නම් සතුටින් ඉන්න මුදල් ඕනේ නෑ කිව්වට අද මුදල් නැත්තන් කරන්න කිසි දෙයක් නෑනෙ නෙහ්. ඉතින් හැකියාවට මුල්‍යමය වටිනාකමක් ලබාගන්න පුළුවන්ද බලන්න ඕනෙ. මොකද ඔයගෙ දිනපතා අවශ්‍යතා වලට ප්‍රමාණවත් මුදලක් නොලැබුනොත් ඔයා ඒ වියදම් පිරිමසා ගන්නා විදිය ගැන හිතලා ස්ට්‍රෙස් වෙනවා. මේකෙන් සතුට අඩු වෙනවා. ඒ නිසා මේ තුන්වෙනි පියවර හරිම වැදගත්.

4. ඊලඟට ඔයාට මේ ඉකිගයි එක හොයාගන්න කොට ඒක ඔයාට හොඳට පුළුවන්ද? ඒ කාර්‍යයයේදි ඔයාට හොඳටම පෆෝම් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනෙ. එතකොට තමා මේ ඉකිගයි කියන සංකල්පය සාර්ථක වෙන්නෙ.

03. මේකෙ වැදගත්කම කොහොමද?

Ikigai concept

ඉතින් උඩින් කිව්ව විදියට තමාට හොඳින්ම කල හැකි කාර්‍යයයේ නිරත වෙනකොට ඒකෙන් ඔයාගෙ කාර්‍යෂමතාවය වැඩිවෙනවා. ඒවගේම සතුටින්, ප්‍රබෝධයෙන් වැඩ කරනවා. මේ විදියට දීර්ඝ කාලයක් වැඩ කරනකොට ශරීරයට බොහොම සුවපහසු ගතියක් දැනෙනවා. මනස සතුටින් තියන නිසා ලෙඩරෝග අඩුවෙලා නිරෝගී බව රැකෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්නව දිගු කාලයක් ජීවත්වෙන්න හැකියාව ලැබෙනවා. මේ ඉකිගයි කියන සංකල්පය හරහා මුළු ලෝකෙම තමන්ට කළ හැකි හොඳම කාර්‍යයයේ නියැලෙනව නම් තමන්ගෙ සතුට වැඩි කරගෙන ලස්සන ප්‍රීතිමත් ජීවිතයක් ගෙවන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.

04. මේක ප්‍රායෝගිකව කරන්නෙ කොහොමද?

Ikigai concept

අපි දැන් බලමු උඩින් මං කිව්ව විදියට ඔයාගෙ ඉකිගයි එක හොයාගන්නෙ කොහොමද කියලා. හිතන්න ඔයා දැනට කරන රැකියාවහෝ කාර්‍යය ඔයා ආසාවෙන්ද කරන්නෙ කියලා. ඒකෙදි ඔයා සතුටින්ද ඉන්නෙ කියලා. එහෙම නැතිනම් ඔයා ඔයාගෙ ඉකිගයි එක හොයාගෙන නෑ. හිතන්න ඔයාට හොඳටම පුළුවන්, ඔයා කරන්න ගොඩක්ම ආස දේ මොකද්ද කියලා. උදාහරණයක් විදියට අපි හිතමු කෙනෙක් රැකියවක් කරනවා. එයා ඒ රැකියාවෙන් තෘප්තිමත් නෑ. ලැබෙන පඩිය වියදම් සෑහීමට මදි නිසා ස්ට්‍රෙස් එකෙන් ඉන්නෙ. නමුත් එයා විනෝදාංශයක් විදියට කේක් හදනවා. ඒකට එයා ගොඩක් දක්ෂයි. ඒ වගේම එයාගෙ කේක් රසයි. ඉතින් එයා හිතනවා කේක් පැත්තෙන් ඉදිරියට ගියොත් හොඳ ගමනක් තියෙයි කියලා. ඒ වගේම එයාට හොඳ කස්ටමර් බේස් එකකුත් හැදෙනවා. තව ටිකක් කේක් කලාව ගැන ඉගෙනගෙන එයා කේක් හදන්න පටන් ගන්නවා. ඒකෙන් එයාට ආර්ථික ලාභයක් අත්වෙනවා. ඊටත් වඩා එයා සතුටින් මේ කාර්‍යය කරන නිසා ඒක හොඳටම කරන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මෙයා මෙයාගෙ ඉකිගයි එක හොයාගෙන තියෙන්නෙ. ඉතින් ජොබ් එකක් කරන කෙනෙක්ට උනත් තමන්ගෙ ඉකිගයි එක ඩිවලොප් කරගන්න අමාරු නෑ. පොඩ්ඩක් හිතන්න විතරයි ඕනෙ.

05. ඔයාගෙ ඉකිගයි එක හොයාගන්නෙ කොහොමද?

Ikigai concept

මේ ඉකිගයි සංකල්පයෙ උඩින් කිව්ව කාරණා 4 හරියටම අවබෝධ කරගන්නකල් අපිට අපේ ඉකිගයි එක හොයාගන්න අමාරුයි. ඉතින් ඔයා බලන්න ඔයා ආසාවෙන් කරන, ඒක නිසා සමාජයට යහපතක් වෙන දේ මොකද්ද කියලා. මේකෙදි විශේෂයෙන්ම ඔයා සතුටින් හා ආසාවෙන්ම කරන දේ තෝරගන්න ඕනෙ. ඊලඟට ඒකෙන් අනික් අයට හොඳ දෙයක් වෙනවද කියලා බලන්න. ඒ වගේම මේ දේ ඔයාට හොඳින්ම කරන්න පුළුවන්ද බලන්න. මොරාල් එක තියනවා කියලා බැරි දේවල් පටන් ගන්න එක ඉකිගයි නෙමෙයි. ඉතින් ඔයාට හොඳින්ම කරන්න පුළුවන් ඒ තෝරලා ඒකෙන් තමුන්ට ආර්ථික වාසියක්, එහෙම නැත්තන් මුදල් උපයන්නත් පුළුවන් නම් සැළසුමක් සහිතව තමන්ගෙ ඉකිගයි එක වර්ධනය කරගන්න පටන් ගන්න. රැකියාවක් කරන්නෙ කළ යුතු නිසා වෙන්න පුළුවන්. ඒත් ඊට වඩා හොඳින් කරන්න පුළුවන් කාර්‍යයක් තියනවනම්, ඒක ඔයාගෙ ඉකිගයි එක කියලා ඔයාට දැනෙනවනම් නොපමාව ඔයාගෙ සතුට සොයාගන්න. ලස්සන ප්‍රීතිමත් ජීවිතයක් අපි හැමෝටම උරුමයි. ඉතින් අපි පටන් ගමු ජීවිතය අලුතින් ලියන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *