රටේම ගෞරවය දිනාගත් රාජ්‍ය නිලධාරීන්

අපේ රටේ රාජ්‍ය නිලධාරීන් ගැන හරි අවබෝධයක් අපේ රටේ මිනිස්සුන්ට නැතිවීම එක අතකට ගත්තොත් අපේ අධ්‍යාපන ක්‍රමයේම අවුලක්. රටේ දේශපාලනඥයෝ ගැන අපි දන්නවා වුණාට ඇතැම් අවස්ථාවල දේශපාලනඥයෝ එක්ක කරට කර හැප්පිලා රටවැසියාගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අපි එතරම් දන්නේ නැහැ. අපි අද කතා කරන්න යන්නේ  ලංකාවේ බොහෝ දෙනෙක්ගේ ගෞරවාදරයට පත් වුණු, දැනට ජීවතුන් අතර සිටින සහ ජීවිතයෙන් සමුගෙන ඇති රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් පිළිබඳව.

 

1. බ්‍රැඩ්මන් වීරකෝන් 

සිවිල් සේවයේ කණිෂ්ඨයෙක් විදිහට අනුරාධපුරයෙන් තමන්ගේ ගමන ආරම්භ කරපු බ්‍රැඩ්මන් වීරකෝන්ගේ ජීවිතය වෙනස් වෙන්නේ අගමැති කාර්යාලයට අනුයුක්ත කිරීමත් එක්ක. ජෝන් කොතලාවලගේ සහකාර ලේකම්වරයා විදිහට කටයුතු කරපු ඔහු ඉන් අනතුරුව අගමැති ලේකම්වරයා විදිහට පත් වෙනවා. ඉන්පස්සෙ එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක, දහනායක, ඩඩ්ලි සේනානායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක යන අගමැතිවරුන්ගේ අගමැති ලේකම්වරයා විදිහට දිගින් දිගටම කටයුතු කරනවා. ඉන් අනතුරුව අම්පාර ප්‍රදේශයේ දිසාපතිවරයා බවට පත්වෙන ඔහු ප්‍රේමදාස රජය සමයේදී යළිත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයට එක්වෙනවා. අවසාන වතාවට ඔහු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත් කරනු ලබනවා. මේ සෑම අවස්ථාවකදීම තම රාජකාරිය නිසි ලෙස ඉටු කළ පුද්ගලයෙකු විදිහට ඔහු කීර්තියක් උසුලනවා.

 

2. කේ. එච්. ජේ විජේදාස

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සහ ඩී. බී විජේතුංග මහතාගේ ජනාධිපති ලේකම් විදිහට කටයුතු කරපු විජේදාස කියන්නේ අතිශයින්ම අවංක සහ කෙළින් වැඩ කළ කෙනෙක්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේදී එල්ටීටීය සාමග සාකච්ඡා පැවැත්වෙන අතරතුර පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ සිද්ධියේදී ජනාධිපතිවරයා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව සිතා ගත  නොහැකි අවස්ථාවක විජේදාස ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ යුතු යැයි ජනාධිපතිවරයාට පවසා, නැතිනම් තමන් ඉල්ලා අස්වන බවටත් ප්‍රකාශ කරනවා. අවසානයේදී ජනාධිපතිවරයා විජේදාසගේ උපදේශය පිළිගන්නවා.

 

3. සෑම් විජේසිංහ

ලංකාවේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් මහලේකම් ධූරය දැරූ සෑම් විජේසිංහ මහතා  පක්ෂ විපක්ෂ සියළු දෙනාගේම ගෞරවය ලබා ගන්න සමත් වුණු පුද්ගලයෙක්. එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් සමඟ පෞද්ගලික ඥාති සම්බන්ධකම් තිබුණ ද තම රාජකාරිය ඉටු කිරීමේදී කිසිලෙසකින්වත් එම සබඳකම් ඔහු බාධාවක් කර ගත්තේ නැහැ. කලවාන අතුරු මැතිවරණය සම්බන්ධයෙන් ව්‍යවස්ථා විරෝධී තීරණයක් ජේ.ආර් ජයවර්ධන රජය විසින් ගත් අවස්ථාවේදී එම තීරණයට ඔහු විසින් දැඩි ලෙස තම විරෝධය පළ කළා පමණක් නොව රජයේ එම උත්සාහය ව්‍යර්ථ කිරීමටත් ඔහු කටයුතු කළා.

 

4 .රිජ්වේ තිලකරත්න 

ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය ඉතිහාසය ලෙස එතෙක් මෙතෙක් පිළිගැනෙන්නේ රිජ්වේ තිලකරත්න යුගයයි. තම ශ්‍රාවකයාගේ රසවින්දනයේ  නිම්වළලු පුළුල් කළ යුතු යැයි දැඩි විශ්වාසයෙන් සිටි රිජ්වේ තිලකරත්න මහතාගේ ඇතැම් තීන්දු තීරණ ආන්දෝලනාත්මක වුවත් ඔහු දර්ශනයක් අනුව කටයුතු කළ අයෙක් බව  වර්තමානයේ දී ඔහුගේ පාලන කාලය ලෙස යළි හැරී බැලීමේදී පැහැදිළි වන කාරණයක්.

 

5. ලයනල් ප්‍රනාන්දු 

යාපනය ප්‍රදේශයේ දිසාපතිවරයා ලෙස ලයනල් ප්‍රනාන්දු මහතා කටයුතු කරමින් සිටි අවධියේ දී දෙමළ ජනතාව ඔහුව හඳුන්වනු ලැබුවේ අවර් ලයන්  ලෙසයි. එපමණක් නොව හදිසි සේවා මාරුවක් යටතේ ඔහුව වෙනත් ප්‍රදේශයකට මාරුකර යවන විට දෙමළ ජනතාව ඊට දැඩි ලෙස විරෝධය පළ කරනු ලැබුවා. ඉන් අනතුරුව තානාපතිවරයෙකු ලෙසත්, අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයෙකු ලෙසත්, රජයේ උපදේශකයෙකු ලෙසත් ඔහු කටයුතු කළ ආකාරය පැසසුම් සහගතයි.

 

6. ලීල් ගුණසේකර 

අද පරම්පරාව මේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියාව දන්නෙ අත්සන සහ පෙත්සම වගේ විශිෂ්ට නවකතා ලියපු නවකතා රචකයා විදිහටයි. නමුත් ඔහු තම නවකතා සඳහාත් භාවිතා කරනු ලැබුවේ රාජ්‍ය සේවය තුළ තමන් ලද අත්දැකීමුයි. රජරට ප්‍රදේශයේ දුෂ්කර පළාත්වල සේවය කරද්දී එතෙක් දිසාපති හාමුදුරුවෝ ලෙස හැඳින්වූ තම තනතුර ගැමි ජනතාව වෙත වඩාත් සමීප කිරීමට ඔහු උත්සාහ ගනු ලැබුවා. ඉන් අනතුරුව රාජ්‍යායතන කීපයක ප්‍රධානත්වය දැරූ ඔහු මෑත කාලයේ දී රජරට විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

 

7. අමර හේවා මද්දුම 

අනුරාධපුර මහ දිසාපති පදවියට පත්වීමෙන් අනතුරුව අමරහේවා මද්දුම මහතා සිදුකළ  පළමු කාර්යය වන්නේ තමන් හමුවීමට පැමිණෙන ගැමියන් සඳහා අසුන් පනවන ලෙස තම නිලධාරීන්ට නියෝග කිරීමයි. ඇතැම් අවස්ථාවල රජයේ දේශපාලනඥයන්ට සමීපවත්, ඇතැම් අවස්ථාවල ඔවුන් සමග ගැටුම් ඇති කර ගනිමිනුත් එතුමා තම සේවය රජරට ගැමි ජනතාව වෙනුවෙන් ඉෂ්ට කළා. පසුව ඔහුව අමාත්‍යාංශ ලේකම් තනතුරු වලටත් ලංගම ආයතනයේ සභාපති ධූරයටත් පත් කරනු ලැබුවා. රටේ ඉදිරි පරම්පරාව දැනුමින් සන්නද්ධ කිරීම ඉතාම වැදගත් වගකීමක් බව නිතර සිහි කළ එතුමා ලිපි ලිවීම සහ දේශන  පැවැත්වීමත් තම ජීවිතයේම එක් අංගයක් කරගත්තා.

 

මේ විශිෂ්ට රාජ්‍ය නිලධාරීන් පිළිබඳව මතක සටහන් ඇතැම්විට ඔබටත් ඇති. ඒ පිළිබඳව කමෙන්ට් සෙක්ෂන් එකේ මතක් කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *