ජීවිතේ වෙනස් කරන්න හදාගන්න ඕන මිනිමලිස්ට් පුරුදු 7 ක්!

7 effective minimalist habits to change your life

අපි ගෙවන ජීවිතේ ගැන බය නැතුව තෘප්තිමත් කියලා කියන්න පුලුවන් කීයෙන් කීදෙනාටද? ගොඩක් දෙනෙක් කැමතියි තමන්ගේ ජීවිතේ දැන් තියෙන විදියෙන් වෙනස් කරගන්න, වෙනස් වෙනවට. ආන්න ඒ නිසා, ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා හොඳ පැත්තට තමන්ගේ ජීවිතේ, තමන්ගේ එදිනෙදා පුරුදු වෙනස් කරගන්න. ඒක ඇත්තටම හොඳ දෙයක්. අන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ මිනිමලිස්ට් පුරුදු 7 ක් ගැන කියන්න හදන්නේ.

මොකක්ද මේ මිනිමලිස්ට් පුරුදු කියන්නේ? ඒක තේරුම් ගන්න, මිනිමලිස්ම් (minimalism) කියන්නේ මොකක්ද කියලා අපිට තේරුම් ගන්න වෙනවා. දැන් ඔය ආට් වල එහෙම මිනිමලිස්ම් කියන්නේ, තනි පාට පසුතලයක බොහොම පොඩි වස්තූන් ස්ථානගත කරලා වගේ පේන ආට්. ඒ කියන්නේ, මිනිමලිස්ම් වලදී අවශ්‍යම සරල දේවල් විතරයි භාවිතා කරන්නේ. මිනිමලිස්ම් කියන්නේ යම් කිසි දේක අවශ්‍යම කොටස විතරක් භාවිතා කිරීම කියලත් කියන්න පුලුවන්. එතකොට , මිනිමලිස්ට් කෙනෙක් පවිච්චි කරන්නේ යම් කිසි අරමුණක් ඉෂ්ට කරන්න භාවිතා වෙන අවශ්‍යම දෙයක් විතරයි. මිනිමලිස්ට් කෙනෙක්ගේ ජීවන රටාව ගත්තත්, ඒකේ තියෙන්නේ සරල ජීවිතේකට අවශ්‍යම දේවල් විතරයි. ඒ කියන්නේ ජීවිතේ සතුටක් විඳින්න පුලුවන් දේවල් අතෑරලා තාපසයෙක් වගේ ජීවත් වීම නම් නෙවෙයි, පටලවා ගන්න එපා. හැබැයි මිනිමලිස්ට් කෙනෙක්ට ජීවිතේ වඩාත් සැහැල්ලුවෙන් ගතකරන්න පුලුවන්.

01. කොලිටි, නොට් ද ක්වොන්ටිටි

7 effective minimalist habits to change your life

ඇත්තටම මිනිමලිස්ටික් ලයිෆ්ස්ටයිල් එකක් කියන්නේ ෂොපින් යන්නෙ නැතුව, බඩු ගන්නෙ නැතුව ඉන්න එක නෙවෙයි. හැබැයි ෂොපින් ගිහින් බඩු ගන්නකොට ඒක සවිඥාණික වෙන්න ඕන කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට, දැන් අපි සුපර්මාකට් එකකට ගියහම, ඒකේ බඩු ස්ථානගත කරලා තියෙන්නේම කස්ටමර්ස්ලට ගන්න හිතෙන විදියට. ඒ කියන්නේ, අපි බඩු ටිකත් අරගෙන කවුන්ටර් එක ගාවට බිල ගෙවන්න ආවහම, ඔන්න එතන තියෙනවා චොකලට් ටිකකුත් දිලිසි දිලිසී. ඉතින් අපිට හිතෙනවා ඒකෙනුත් එකක් ගන්න ඕන කියලා. ඉතින් අපි කියන්නේ, ඕනෑ සහ එපා බඩු ගොඩක් ගන්නවට වඩා, අවශ්‍ය කොලිටි බඩු කීපයක් විතරක් ගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් විදියට කිව්වොත්, සාමාන්‍යයෙන් බඩු ගන්න ගියහම අපි බිස්කට් වගේ දේවල් ගන්නවනේ. එතකොට විවිධ බිස්කට් පැකට් දහයක් ගන්න ගාණෙන්, හොඳ ඉම්පෝටඩ් බිස්කට් පැකට් දෙකක් ගන්න පුලුවන්. හැබැයි අපි බත් කනවා වගේ බිස්කට් කන්න හිතන්නෙ නැතුව, අර කොලිටි බිස්කට් එකක් ගන්න එක වටිනවා. ඒකෙන් නාස්තියත් අවම වෙනවා ඇත්තටම.

02. ගෝ ඩිජිටල්

7 effective minimalist habits to change your life

මේක නම් සමහරු අකමැති වෙන්න පුලුවන් දෙයක්. දැන් පොත් කියවන්න ආස කෙනෙක් ගිහින් පොත් මිලදී ගන්නවනේ. ඔය පොත් වලට ආස එක කොටසක් පොත් ගන්නේ කියවන්න. එතකොට පොත් වලට ආස තව කොටසක් පොත් ගන්නේ එකතු කරන්න. ලොකු ලයිබ්‍රියක් හදාගන්න. ඕකම අදාළයි ෆිල්ම්ස් වලට ආස අයටත්. ෆිල්ම්ස් බලන්න ආස අය ඉන්නවා. එතකොට ෆිල්ම්ස් ඩීවීඩී විදියට එකතු කරන අය ඉන්නවා. හැබැයි එහෙම පොත් හෝ ෆිල්ම්ස් එකතුවක් භෞතිකව තියාගෙන ඉන්න එක ජීවිතේ විනෝදාංශයක් වගේ නොවෙන කෙනෙක් නම්, මිනිමලිස්ට් ලයිෆ් එකකට ගැලපෙන්නේ ඩිජිටල් ක්‍රමයට පොත් සහ චිත්‍රපටි එකතු කරන එක තමයි. පොත් පන්දාහක එකතුවක් වුණත් තියාගන්න පුලුවන් කින්ඩ්ල් රීඩර් එකක් ඇතුළේ. එතකොට ෆිල්ම්ස් දාහක් දෙදාහක් වුණත් තියාගන්න පුලුවන් පෝටබල් හාඩ් ඩ්‍රයිව් එකක. ඒකෙන් අපිට සෑහෙන්න ඉඩක් ඉතුරු වෙනවා ගෙදර.

03. එපා දේවල් අයින් කරන්න

7 effective minimalist habits to change your life

නිකමට හිතලා බැලුවොත්, අපේ ගෙදර අපිට වැඩක් නැති දේවල් කොයි තරම් දේවල් තියෙනවද? ආස හින්දා අරගෙන සාලේ කොණක තියලා තියෙන පුටු සෙට් එකේ කවුරුවත් වාඩි වෙන්නෙවත් නෑ. ඇඟ අඩු කරගන්න කියලා ගත්තු ඕර්බිට්‍රැක් එකේ තුවාය වනනවා, අල්මාරියේ අඳින්න බැරි ආසාවට ගත්තු ඇඳුම් ගොඩ ගැහිලා. අන්න ඒ නිසා, මිනිමලිස්ට් ලයිෆ් එකකට, තමන්ට අනවශ්‍ය දේවල් අයින් කරන පුරුද්දක් හදාගන්න. වෙන විදියකට කියනවා නම්, තණ්හාවට ගොඩගහගෙන ඉන්නෙ නැතුව, තමන්ට අනවශ්‍ය දේවල් අවශ්‍ය කෙනෙක්ට දෙන පුරුද්දක් ඇති කරගන්න. මේ ඇත්තටම තමන්ගේ ගෙදර දොරේ හෝ තමන් අවට තියෙන භෞතික දේවල් වලට විතරක් නෙවෙයි, අපේ ජීවිතේ තියෙන මානසික ඇබ්බැහිකම්, අපේ ජීවිතේ ඉන්න පුද්ගලයෝ සම්බන්ධයෙන් වුණත් මේ පිළිවෙතම අනුගමනය කරන්න පුලුවන්.

04. හැමදේකටම තැනක්

7 effective minimalist habits to change your life

ඇත්තටම හරි විදියට පිළිවෙල ඉගෙනගැනීමත් මිනිමලිස්ට් ලයිෆ් එකකට හොඳ පුරුද්දක්. ඒ කියන්නේ, අපි ගමු අපේ ගෙදර කියලා. එතකොට හැම දේකටම නියමිත තැනක් තියෙනවා. ඒ වගේම, තියෙන දේවල් කාණ්ඩගත කරලා, ඒ ඒ තැන්වල තියන්නත් අපි පුරුදු වෙන්න ඕන. උදාහරණයක් විදියට, තමන්ගේ කුඩා දරුවගේ සෙල්ලම් බඩු හැම තිස්සෙම දවස අවසානයේදී පෙට්ටියකට දාලා එයාගේ කාමරේ තියනවා. එතකොට, කිළුටු ඇඳුම් වෙනම බින් එකකට දානවා. හෝදලා වේලපු ඇඳුම්, මදිනකල් දාන්න තව බින් එකක් තියනවා. මෙන්න මේ විදියට කළමනාකරණය කරගත්තහම සහ හැමදෙයක්ම තියන්න නියමිත තැනක් හදාගෙන, ඒ තැනින්ම තියන්න පුරුදු වුණහම, හිතාගන්න බැරි විදියට තමන්ගේ වටපිටාව පිළිවෙලක්, එකලසක් වෙනවා.

05. ඩිජිටල් පිළිවෙල

7 effective minimalist habits to change your life

අපි දැන් මිනිමලිස්ට් වැඩ කරන මේසයක් නිර්මාණය කරගන්නේ කොහොමද? මුලින් මේසේ උඩ තියෙන හැමදේම අයින් කරලා, මේසේ පිහිදනවා. දැන්, මේසේ උඩ කම්පියුටර් එක, කීබෝඩ් එක, මවුස් එක වගේ කම්පියුටර් එකට අත්‍යවශ්‍ය දේවල් ටික තියනවා. වයර්ලස් මවුස් කීබෝඩ් කොම්බෝ එකක් එහෙම පාවිච්චි කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි. ඊට පස්සේ අත්‍යවශ්‍යම පොත පත විතරක් මේසේ උඩ තියනවා. වෙන මොකුත් නෑනේ. පිළිවෙලයි. අන්න ඒ වගේම, අපේ ස්මාට්ෆෝන් එක, කම්පියුටර් එක එහෙමත් පිළිවෙල කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට, අනවශ්‍ය, පාවිච්චි වෙන්නෙ නැති ඇප්ස් අයින් කරලා දාන්න. කවදාහරි ප්‍රයෝජනවත් වෙයිනේ කියලවත් තියාගන්න එපා. එතකොට කම්පියුටර් එකේ වුණත් එහෙමයි. ඒ වගේම, කම්පියුටර් එකේ ඩෙක්ස්ටොප් එකේ එක එක අයිකන් පුරෝගන්නවට වඩා, අත්‍යවශ්‍යම ෂෝට්කර්ට් දෙකක් තුනක් තියාගන්න එක හරිම පහසුයි. අනවශ්‍ය තියෙන ඔක්කොම ෂෝට්කට්ස්, ෆයිල්ස්, කාණ්ඩගත කරලා, ෆෝල්ඩර් වලට බෙදලා දාගන්න. එහෙම ඩිජිටල් ජීවිතෙත් පිළිවෙලක් තියාගත්තම, කොයි තරම් වැඩ කරන එක පහසුද කියලා තේරෙයි.

06. තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන

7 effective minimalist habits to change your life

සාමාන්‍යයෙන් අපි දැන් කාලේ දෙයක් කොච්චර කල් පාවිච්චි කරනවද? ෆෝන් එකක්? සමහරු ඉන්නවා ෆෝන් එකක් පාවිච්චි කරන්නේ ඊලඟ අලුත්ම ෆෝන් එඩිෂන් එක එනකල් විතරයි. අන්තිමට ගෙදර පරණ ෆෝන් තුන හතර එකතුවෙලා. එතකොට ඇඳුම් පැළඳුම්, සපත්තු වගේ දේවල් ගැන කතා කරලම වැඩක් නෑ. ඒ නිසා, මිනිමලිස්ට් ලයිෆ්ස්ටයිල් එකකට පුරුදු වෙන්න ඕනේ නම්, මුලින්ම කොලිටි බ්‍රෑන්ඩඩ් බඩු ටිකක් ගාණ වැඩිපුර දීලා හරි ගන්න පුරුදු වෙන්න ඕන. ඇයි? ඒවා සෑහෙන්න වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම, දෙයක් ගන්නකොට, ඒ ගන්න දේ අපිට අනිවාර්යයෙන්ම පාවිච්චි වෙනවද කියලා හිතන්න කියලත් අපි කලින් කිව්වනේ. දැන් තියෙන්නේ ඒකේ උපයෝජ්‍යතාවය ඉවර වෙනකල්, එහෙම නැතිනම් කාලේ ඉවර වෙනකල්ම පාවිච්චි කරන්න. මොකක් හරි අවුලක් වුණත්, ඒක විසිකරලා අලුත් එකක් ගන්නවට වඩා, රෙපයාර් කරලා ආයෙමත් පාවිච්චි කරන එක වටිනවා.

07. අනවශ්‍ය පුරුදු

7 effective minimalist habits to change your life

මිනිමලිස්ට් ජීවන රටාවකට අත්‍යවශ්‍ය තවත් කාරණාවක් තමයි, අපේ ජීවිතේ තියෙන හොඳ හෝ නරක අනවශ්‍ය පුරුදු අයින් කරන එක. මොකද, අනවශ්‍ය පුරුද්දක් කොයි තරම් හොඳ දෙයක් වුණත්, ඒකෙන් සිද්ධ වෙන්නේ එක්කෝ කාලය නාස්ති වෙන එක හෝ වෙනත් දේකට වැය කරන්න තියෙන කාලය බ්ලොක් වෙන එක තමයි. ඒ නිසා, අපි මුලින් හිතලා බලන්න ඕන උදේ නැගිට්ට වෙලේ ඉඳලා අපිට තියෙන පුරුදු මොනවද කියලා. ඒකෙන් අපිට අත්‍යවශ්‍ය, යම් කිසි දෙයක් ඉෂ්ට වෙන, අරමුණක් කරා යොමු වෙන පුරුදු මොනවද කියලත් බලන්න ඕන. උදාහරණයක් විදියට අපි දිනපතාම පැයක් භාවනා කරලා, පැයක් යෝගාත් කරනවා නම්, ඒකෙන් අපිට යම් කිසි අරමුණක් ඉෂ්ට වෙනවද? ඒ දෙකෙන්ම වෙන්නේ එකම විදියේ දෙයක් නම්, ඔය දෙකම දිනපතා කරන එකේ වැඩක් තියෙනවද? ආන්න ඒවා හිතලා බලලා, අනවශ්‍ය හැම පුරුද්දක්ම අයින් කරලා දාන එක වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *