ඔබත් අතිශය සංවේදී පුද්ගලයෙක් නම්, මේ කරුණු පිළිපැදීම ඔබේ ජීවිතයට වටිනු ඇති

ඔබත් අතිශයින්ම සංවේදී පුද්ගලයෙක්ද? එහෙම අහපු ගමන් එක්කෝ සෑහෙන පිරිසක් කියයි ඔව් කියලා. තවත් සමහරු ඒකට කොහොමද උත්තර දෙන්නේ කියලා පොඩ්ඩක් පටලැවෙයි. හරි, ඔක්කොටම වඩා ලේසියි අතිශයින්ම සංවේදී පුද්ගලයෙක් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා මුලින් හඳුනාගන්න එක. සාමාන්‍යයෙන් මේ නමෙන්ම කියන විදියට, ඉතාම සංවේදී මනුස්සයෙක් (HSP) ලෝකේ තමන් අත්දකින, අත්විඳින දේවල් සම්බන්ධයෙන් ඉතාම සංවේදීයි කියන එක. මේ අය ප්‍රචණ්ඩත්වයට හෝ කෘරත්වයට කිසිසේත්ම ආස නෑ. අනික් අයගේ හැඟීම් දැනීම් මේ අය තමන් වෙත උරාගන්නවා. ඒ නිසාම වේදනා විඳිනවා. බොහොම ගැඹුරින් හිතනවා. දුක සතුට වගේ හැඟීම් මේ අයට සාපේක්ෂව වඩා ගැඹුරෙන් දැනෙනවා. හැබැයි සංවේදී මනුස්සයෙක්ට ඒ වගේම පොඩි දේකිනුත් දුක හිතෙනවා.

දැන් මේ ගතිලක්ෂණ හින්දා එක්කෝ අතිශයින්ම සංවේදී කෙනෙක් ඉන්නේ නිරන්තරයෙන්ම හිත රිද්දගත්තු ගමන්. එහෙම නැතිනම් අනික්  අය හැමවෙලේම මේ අයව විවේචනය කරනවා ‘බබෙක් වෙන්න එපා’ කියලා.

ඉතින් ඔයත් එහෙම අතිශය සංවේදී මනුස්සයෙක් නම්, ඇත්තටම කොහොමද ජීවත් වෙන්නේ?

 

1. ප්‍රමාණවත් නින්දක්, සෞඛ්‍ය සම්පන්න දිවියක්

මේ දේවල් දෙක හරියට කරන්න සංවේදී මනුස්සයෙක් වෙන්නම ඕනෙද? ඇත්තටම මේවා හැමෝටම අදාළ දේවල් තමයි. හැබැයි අතිශය සංවේදී මනුස්සයෙක් මේවා කරන එක ඉතාමත්ම වැදගත්. උදාහරණයක් විදියට කිවුවොත්, ප්‍රමාණවත් සුව නින්දක් නැතිවීම හින්දා මිනිස්සුන්ට මූඩ් අප්සෙට් ගහනවා, අමාරු ගතියක් දැනෙනවා. ඉතින් කොහොමත් පොඩි දෙයිනුත් අප්සට් යන්න පුළුවන් සංවේදී මනුස්සයෙක්ට අඩු නින්දකින් ගේම ගහන්න බෑ. ඒ නිසා හොඳ නින්දක් අත්‍යාවශ්‍යයි.

ඒ වගේම හොඳ, සමබල ආහාර පාන සහිත ආහාර වේල් හරි වෙලාවට අරගෙන, ජීවිතේ සෞඛ්‍ය සම්පන්නව තියාගන්න එකත් සංවේදී මනුස්සයෙක්ගේ බැලන්ස් එක තියාගන්න අත්‍යාවශ්‍යයි.

 

2. නොයිස් කැන්සලින් හෙඩ්ෆෝන්ස්

අතිශය සංවේදී මනුස්සයෙක් සාමාන්‍යයෙන් අධික ශබ්ද වලින් තිගැස්සෙන ප්‍රමාණය, අපහසුතාවයට පත්වෙන ප්‍රමාණය වැඩියි. අන්න ඒ නිසා හොඳ අදහසක් තමයි නිතරම තමන් ගාව අර නොයිස් කැන්සලින් කියන ජාතියේ හෙඩ්ෆෝන් දෙකක් තියාගැනීම. එතකොට වාහනයක් ඩ්‍රයිව් කිරීම වගේ අවට පරිසරයේ ශබ්ද වලට සංවේදී විය යුතුම අවස්ථා වලදී හැරෙන්න ඒක දාගෙන ඉන්න පුළුවන්. ඒකෙන් වාසි දෙකක් තියෙනවා. එකක් තමයි නොයිස් කැන්සලින් හෙඩ්ෆෝන් යුවළකින් පිටතින් එන ශබ්ද කපාහැරීම නිසා අපහසුතාවයට පත්වෙන්න, තිගැස්සෙන්න තියෙන ඉඩ අඩු වෙනවා. දෙවෙනියට, තමන් ආස, තමන්ට හොඳ පොසිටිව් හැඟීමක් ලබාදෙන සංගීතය අහන්න පුළුවන් නිසා මූඩ් ගහන්න තියෙන ඉඩ අඩු වෙනවා වගේම මූඩ් ෆික්ස් කරගන්නත් චාන්ස් එකක් ලැබෙනවා.

 

3. මං සංවේදී කියලා ප්‍රසිද්ධ කරන්න නොයන්න

මේක නොකළ යුතුයි කියලා කියන්නේ ලොකු හේතුවක් ඇතුව. සාමාන්‍යයෙන් අද කාලේ අතිශය සංවේදී මනුස්සයෙක් කියන කෙනෙක් ගැන පොදු සමාජය විවේචනාත්මකව බලන්න තියෙන ඉඩ වැඩියි. “ඇයි ඔච්චර දුක හිතෙන්නේ?”, “ඇයි නිකම් බබෙක් වගේ හැසිරෙන්නේ?” වගේ අදහස් එක්ක තමයි අතිශය සංවේදී මනුස්සයෙක් දිහා සමහරු බලන්නේ. ඉතින් එහෙම තමන්ගේ විදිය සම්බන්ධයෙන් විවේචන එල්ල වීමෙන් වෙන්නේ සංවේදී කෙනෙක්ව තවත් අමාරු තැනකට තල්ලු වෙන එක. 

 

අන්න ඒ නිසා මුලින්ම තමන් කවුද කියන එක වටහාගන්න. ඊට පස්සේ තමන් කවුද කියන එක පිළිගන්න. එතනින් එහාට තමන් කවුද කියන එක අනික් අයට කියන්න යන්නේ නැතුව ඉන්න.

 

4. එක වගේ හිතන කාරුණික මිනිස්සු

පොදුවේ අපි ඕනම කෙනෙක්ට කියන දෙයක්නේ ඔය විසකුරු මිනිස්සුන්ව ආශ්‍රය කරන්න එපා කියන එක. ඉතින් අතිශය සංවේදී මනුස්සයෙක්ට ඒ අවවාදය ඩබල් සීරියස් පිට ගන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අතිශය සංවේදී මනුස්සයෙක් වගබලා ගන්න ඕන තමන් බොහොම පරිස්සමෙන් තමන් වටේ ඉන්න මිනිස්සු තෝරගන්න බවට. ඇත්තටම තමන් වටේ කාරුණික මිනිස්සු ඉන්න එක හරිම ලේසියි. කාරුණික, හිත හොඳ මනුස්සයෙක් කවදාවත් හිත් රිද්දන විදියේ දේවල් කියන්නේ කරන්නේ නැති තරම්. හිත රිදෙන විදියේ දෙයක් වුණත් එහෙම කෙනෙක් කියන්නේ බොහොම පරිස්සමෙන්, අනික් කෙනාගේ හිත කැඩෙන්නේ නැති විදියට. අන්න ඒ නිසා එහෙම අයව තමන් වටේ තියාගන්න එක වටිනවා.

ඒ වගේම, තමන් මේ ලෝකේ තනිවෙලා නෑ කියන එක තේරුම් ගන්නත් එහෙම කාරුණික, තමන් වගේ හිතන හෝ තමන් හිතන විදිය තේරුම් ගන්න පුළුවන් අයට සමීපයෙන් ඉන්න එක වටිනවා.

 

5. හයිඩි මෙතඩ් අනුගමනය කරන්න

අතිශය සංවේදී මනුස්සයෙක්ට කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි, අර යොහානා ස්පියරි ලියපු හයිඩි පොතේ ඉන්න හයිඩිගේ විදියට වැඩ කරන එක. හයිඩිගේ ලයිෆ් ගෝල් එක තමයි ඕනම දේක හොඳ පැත්ත දකින එක. ඒක එයා ක්‍රීඩාවක් විදියට තමයි කරන්නේ. ඒ කියන්නේ තමන්ට මුණගැහෙන අතිශයින්ම දුක්ඛිත දේක පවා හොඳ දෙයක්, සතුටු වෙන්න පුළුවන් දෙයක් එයා හොයාගන්නවා. මෙන්න මේක ප්‍රැක්ටිස් කිරීම අතිශය සංවේදී මනුස්සයෙක්ට අතිශයින්ම වැදගත් දෙයක්. ඒක තමන් කළ යුතුම ක්‍රීඩාවක් කියලා හිතුවත් කමක් නෑ. 

උදාහරණයක් ගමු. අපිට වැඩ වැඩි අස්සේ අසනීපයක් එහෙම හැදෙන එක හොඳයි කියලා ගන්න පුළුවන්ද? හැබැයි අපිට මෙහෙම හිතන්න පුළුවන්. අසනීප වුණු එක හොඳ නැති වුණත්, ඒකෙන් අපිට පොඩි බ්‍රේක් එකක් ලැබිලා තියෙනවා. අපිට ඒ බ්‍රේක් එකේදී වැඩ ටික සම්පූර්ණ කරගන්න හැටි ගැන පොඩ්ඩක් ප්ලෑන් එකක් ගහ ගන්න පුළුවන්. හොඳ වෙලා ගිහින් ඩබල් එකේ වැඩ කරන්න පුළුවන්. අන්න ඒක හොඳ දෙයක්.

 

6. තමන්ට කාරුණික වෙන්න

මේක අතිශය සංවේදී මනුස්සයෙක්ට ඉතාම වැදගත්. තමන්ට කාරුණිකව සලකන එක. අපි උඩිනුත් කියපු දෙයක් තමයි තමන් කවුද, තමන් මොනවගේද කියන එක වටහාගන්න. ඊට පස්සේ තමන් කවුද කියන එක පිළිගන්න කියන එක. එතනින් පස්සේ තමන් ගැන කාරුණික වෙන එකත් අවශ්‍යයි. උදාහරණයක් විදියට කියනවා නම්, අපේ වැරදි, අඩුපාඩු, දුර්වලකම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක අතිශය සංවේදී මනුස්සයෙක්ට විතරක් නෙවෙයි, ඕනම කෙනෙක්ට අදාළයි. හැබැයි ඒක දරුණු විදියට ස්වයං විවේචනය කරන්න යන්න එපා. ඒවා හෙමිහිට හෙමිහිට හදාගන්න. තමන් ගැන ධනාත්මකව හිතන්න. විශේෂයෙන්ම අතිශය සංවේදී මනුස්සයෙක්ට ඉක්මනින් හිත රිදෙන නිසා, ඒකටත් එයා තමන් එක්ක තරහ ගන්නවා. “මං සෙන්සිටිව් හින්දනේ මේ ඔක්කොම” කියලා. අපි කියන්නේ එහෙම හිතන්න එපා කියන එක. ඒ වගේ මොහොතක තමන් එක්කම, තමන්ගේ ඇතුළාන්තය එක්කම ආදරයෙන්, කරුණාවෙන් කතා කරන්න. ඒ අභ්‍යන්තර සංවාදය ඔස්සේ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න.

 

7. සංවේදීතාවය තෑග්ගක් කරගන්න

මේක නම් එක පාරටම අමාරු වැඩක් විදියට පේන්න පුළුවන්. සංවේදී බව තෑග්ගක්ද? ඔව්. මේ ලෝකේ සෑහෙන්න අසංවේදී, හිරිවැටිලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ අයට තව කෙනෙක්ගේ දුකක්, කඳුලක් ඒ තරම් දැනෙන්නේ නෑ. පෙනුනත් ඒ ගැනත් නරුම විදියට හිතන්නේ. හැබැයි සංවේදී මනුස්සයෙක් තව කෙනෙක්ගේ දුකකට සංවේදීයි. ආන්න ඒක පාවිච්චි කරන්න පුළුවන් ලෝකේ අනික් අයට යහපතක් කරන්න. හැබැයි එකක් තියෙනවා. එහෙම මුළු ලෝකෙකම දුකට සංවේදී වෙන්න තනි මනුස්සයෙක්ට බෑ. විශේෂයෙන්ම අතිශය සංවේදී මනුස්සයෙක් එහෙම වෙන්න ගියොත් එයා ඉතාම ඉක්මනට කඩාගෙන වැටෙනවා. ආන්න ඒ නිසා අපිට පුළුවන් එක් එක් වතාවකදී එක තැනකට විතරක් ෆෝකස් වෙන්න. තමන්ගේ අවධානය එක් වරකට එක් තැනකට යොමු කරන්න ඉගෙන ගන්න. එහෙම නැතුව ලෝකෙක දුක්ගන්නාරාළ වෙන්න යන්න එපා.

 

8. සීමාවන් තියාගන්නවා මිසක් තාප්ප බඳින්න එපා

අතිශය සංවේදී මනුස්සයෝ සමහර වෙලාවට කරන දෙයක් තමයි, තමන්ව ඉමෝෂනලි රිදෙන එක වළක්වගන්න තාප්ප බැඳගන්න එක. ඒ කියන්නේ එක්කෝ ඒ අය හිතනවා මම මීට වඩා දැඩි වෙන්න ඕන කියලා. එහෙම හිතලා දැඩි විදියට රඟපාන්න උත්සාහ කරනවා. එහෙම නැතිනම් හිතලම ඉමෝෂනලි අනික් අයගෙන් දුරස් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඒක සාර්ථක වැඩක් නෙවෙයි. ඒකේ කෙළවර වෙන්නේ තමන් තවදුරටත් රිද්දා ගැනීමෙන්.

 

හැබැයි ඒ වෙනුවට පුළුවන් යම් යම් සීමාවන් පවත්වාගන්න. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ට කරන්න බැරි දේකට බැහැ කියන්න ඉගෙන ගන්න ඕන. තමන්ට පළමුව රට කියලා, තමන්ව අමතක කරලා දේවල් කරන්න යන්නේ නැතුව, තමන්ගේ දේවල් කරලා හෝ කරන ගමන්, පුළුවනි නම් විතරක් අනික් අයට දේවල් කරලා දෙන්න ඉගෙන ගන්න ඕන. ඒ වගේම තමන් තමන් විදියට පිළිඅරගෙන රඟපාන්න නොයා ඉන්නත් ඉගෙන ගන්න ඕන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *