පුංචි බබාලා සම්බන්ධ විවිධ කාරණා අපි ඉස්සර ඉඳලම නිතර නිතර කතා කළානෙ. බබාලට, අලුත් අම්මලා තාත්තලාට සම්බන්ධ කාරණා ගැන ලියවුනු අපේ ලිපි වලට තිබුණු ප්‍රතිචාරත් එක්ක ඒ මාතෘකාව ගැන සමාජයේ තියෙන උනන්දුව කොච්චරද කියල පුදුමත් හිතුන වෙලාවල් තිබුණා. මොකද පුංචි බබාල ඉන්න දෙමව්පියෝ, බබාල ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න දෙමව්පියෝ වගේම තමන්ගේ දරුවන්ගේ, සහෝදර සහෝදරියන්ගේ බබාලව ආදරෙන් හිතේ දරාගෙන ඉන්න ආච්චිලා, සීයලා, පුංචිලා, බාප්පලා හැමෝමත් මේ ලිපි කියවල අපෙන් නිතර නිතර ප්‍රශ්න අහලත් තිබුණා. ඉතින් ඒ උනන්දුව නිසාම අපි හිතුව මේ කාරණාව ගැනම කතාකරන්න වෙන්වුණු, ඒ කිව්වේ parenting කියන category එකේ තියෙන ලෝකයේ හොඳ වෙබ් අඩවි කිහිපයක් ගැන ඔයාලව දැනුවත් කළොත් හොඳයි කියලා. අපිත් එක්ක එකතුවෙලා ඉන්න ගමන්ම මේ වෙබ් අඩවි පැත්තෙත් ගිහිලා පුංචි පැටියෙක් උස්මහත් කරන එක ගැන වටිනා කියන දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වෙයි.
1. Baby Center
පුංචි බබාල සම්බන්ධව එහෙමත් නැත්තම් parenting සම්බන්ධව කෙරෙන හොඳම වෙබ් අඩවි අතරිනුත් ඉහළින්ම ඉන්න වෙබ් අඩවියක් විදිහට මේ Baby Centre වෙබ් අඩවිය හැඳින්වූවාට වරදක් නැහැ. ඇත්තටම Baby Centre කියන්නෙ තනි වෙබ් අඩවියක්ම නෙමෙයි. මේක Online සන්නිවේදන ආයතනයක්. පිහිටල තියෙන්නෙ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ. මේ ආයතනයෙන් කෙරෙන්නේ විවිධ රටවල් 11ක් තුළ එයාලගේ ආයතනයට සම්බන්ධ වෙබ් අඩවි, ජංගම දුරකථන යෙදවුම් (Mobile App), ඊ මේල් මඟින් මේ parenting කියන මාතෘකාවේ මුල ඉඳලා අගටම එයාලගේ සාමාජිකයින්ව දැනුවත් කිරීම. දරුවෙකු පිළිසිඳ ගැනීම ගැන හිතුන දවසේ ඉඳලම දරුවට වයස අවුරුදු 9ක් වගේ කාලයක් වෙනකන්ම අවශ්‍ය සියළුම දැනුම මේ Baby Centre එක්ක සම්බන්ධ වෙලා ලබාගන්න පුළුවන්.
2. Scary Mommy
Scary Mommy කියන්නෙ 2008 වසරේ ආරම්භ කෙරුණු වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවිය දෙමව්පියන් සහ ළමයින් ගැන වගේම Life Style, Sex & Relationship වගේ මාතෘකා ගැනත් කතාබහ කරන හොඳ වෙබ් අඩවියක්. ඒ වගේම මේ වෙබ් අඩවියේ සාමාජිකත්වය අරගෙන නාමිකව වගේම නිර්නාමිකවත් තමන්ගේ අත්දැකීම් බෙදාගන්න, කතාබහ කරන්න පුළුවන් ක්‍රමවේදයක් වෙබ් අඩවිය හරහා නිර්මාණය කරල තියෙනවා.
3. Parenting
මේකත් බබ්බු හැදිල්ල ගැන හොඳ තොරතුරු නිතර හුවමාරු වෙන, අලුත් අම්මලා තාත්තලාට වැදගත් වෙන වෙබ් අඩවියක්. Baby Centre වගේම දරුවෙක් ගැන මුල්ම අදහස ඇතිවුණු දවසේ ඉඳලම මේ වෙබ් අඩවිය එක්ක එකතු වෙන්න පුළුවන්. දැනුමට අමතරව මේ වෙබ් අඩවියෙන් බබාල සම්බන්ධ නිෂ්පාදන මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම වෙබ් අඩවිය එක්ක එකතුවෙලා ඉන්න සාමාජිකාවන්ට විවිධ දිනුම් ඇදීම් පවා සූදානම් කරන හොඳ වෙබ් අඩවියක් තමයි මේක.
4. New Parent
NewParent කියල කියන්නෙ ගැබිණි මව්වරුන් සහ අලුත් මව්වරුන් දැනුවත් කිරීම සහ බලගැන්වීම කියන අරමුණ ඇතිව සකස් කරගත්ත වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවිය ආරම්භ කරල තියෙන්නෙ 1999 වර්ෂයේදී New Parent කියන සඟරාව ආරම්භ වීමත් එක්කමයි. මේක ඇමරිකානු වෙබ් අඩවියක්. බබාගේ වර්ධනය, ක්‍රියාකාරකම් විතරක් නෙමෙයි බබාට අවශ්‍ය කෑම හදන්න රෙසිපි එහෙමත් හොයාගන්න පුළුවන්, අලුත උපන් බබාල ඉන්න අම්මලාට වැදගත්වෙන හැම කාරණාවක්ම වගේ ඇතුළත් මේ වෙබ් අඩවියත් කියවන්න හොඳ වෙබ් අඩවියක් කියල බය නැතුව අනුමත කරන්න පුළුවන් ඕනම කෙනෙකුට.
5. Parents
Parents කියල කියන්නෙත් ඇමරිකානු වෙබ් අඩවියක්. පිළිසිඳ ගැනීමේ ඉඳලම බබෙක් ලැබෙන හැටි, උස්මහත් කරන හැටි කියන සියළුම කාරණා සම්බන්ධ දැනුම වගේම පවුලක් විදිහට ගතකරන ජීවිතේට අවශ්‍ය වෙන අනිත් දැනුම සම්බන්ධ කාරණා ගොඩකුත් මේ වෙබ් අඩවියෙන් එකතු කරගන්න පුළුවන්. පරණ අදහස් වල හිරනොවී ලෝකයේ අලුත් දැනුමත් එක්ක බබාලා උස්මහත් කරන්න කැමති අලුත් දෙමව්පියන්ට හොඳටම ගැළපෙන තවත් එක වෙබ් අඩවියක්.
6. Bundoo
නම ටිකක් විතර අමුතු වුණාට මේකත් හොඳ parenting වෙබ් අඩවියක්. ඇත්තටම මේ වෙබ් අඩවිය තොරතුරු සපයන සාමාන්‍ය වෙබ් අඩවියකට වඩා ටිකක් විතර දියුණු වෙබ් අඩවියක් කිව්වත් වැරදි නැහැ. මේ වෙබ් අඩවිය හරහා පුංචි බබාලා ඉන්න ඒ වගේම ගැබිණි මව්වරුන්ට පුළුවන් සුදුසුකම් තියෙන වෛද්‍යවරු එක්ක සෘජුවම සම්බන්ධ වෙලා අදහස් බෙදාගන්න, උපදෙස් අරගන්න. මුල්ම වතාවට අම්මෙක් තාත්තෙක් වෙන යුවළකට නිතර නිතර ඇතිවෙන ප්‍රශ්න වලට හැමදාම වෛද්‍යවරු හමුවෙන්න යන්නත් බැරි එකේ මේ වගේ වෙබ් අඩවියක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක හරිම නුවණක්කාර වැඩක්. ඒ වගේම සාමාන්‍ය parenting වෙබ් අඩවියක වගේම බබාලා සම්බන්ධ හුඟක් දැනුම ලබාදෙන ලිපි මේ වෙබ් අඩවියෙත් තියෙනවා.
7. Baby and Me
මේ කියන්න යන්නෙ ලයිෆි කියවන වගේම ලයිෆි එක්ක ආදරෙන් ඉන්න ඔයාලට අලුත් නොවෙන හැබැයි සතුටු හිතෙන වෙබ් අඩවියක් ගැන. මේ තමයි ලයිෆි පවුලේ parenting වෙබ් අඩවිය. කලින් ලියපු ඔක්කොම පිටරටවල වෙබ් අඩවි නිසාත්, ඒ ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු වෙබ් අඩවි නිසාත්, මේ Baby and Me වෙබ් අඩවියේ අපි පළකරන දේවල් හැමදේම ඔබේ දරුවාගේ යහපතටම බව අපි හැමෝටම විශ්වාස නිසාත් ඔන්න මේ ගැනත් ලියන්නම ඕන කියල හිතුනා.
ගර්භණී කාලය, දරු උපත, නව ජන්ම කාලය වගේ සියළු දරුවන් සම්බන්ධ කාරණා ගැන ලිපි වගේම පුංචි බබාලා එක්ක ඉන්න ගමන් පහසුවෙන් හදාගන්න පුළුවන් රස රස ආහාර රෙසිපිත් අපේ මේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. සිංහලෙන් කියවන්න කැමති ඔයාලට දරුවෝ ගැන දැනුම ලබාගන්න හොඳම හොඳ වෙබ් අඩවියක් තමයි මේකත්.
Leave a Reply