සමහර මිනිස්සුන්ට අපි පණ ඇරලා ආදරෙයි. ඒ නිසාම අපිට ජීවිතේට ඒ අයව අමතක වෙන්නෙත් නෑ. කාලය, සල්ලි, පරිසරය වගේ තවත් අටෝරාසියක් වෙන ප්‍රශ්න නිසා අපි ආදරය කරන මිනිස්සුන්ව අපිට නැතිවෙනවා. එහෙම වුණා කියලා එයාලා ගැන මතකය අපිව මකලා හැදුවත් අපෙන් අයින් කරන්න බෑ. කෑමත් නිකන් අපි ආශ්‍රය කරන මිනිස්සු වගේ. සමහර කෑම-බීම ජීර්ණය නොවී අපේ ආත්මෙත් එක්ක ඒ විදියට ම තියෙනවා. ළඟ නැතත් ළඟ වගේ දැනෙන මේ ආත්මීය සම්බන්ධයට ඔයත් හවුල්කාරයෙක්ද කියලා බලන්න?
1. හෝර්ලික්ස් බිස්කට්
![Childhood foods with lovely memories](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/10/Chilhood-food-1.png?resize=835%2C420)
Source – india-consumer.gsk.com
ආය ඉතින් කිසි ගින්නක් නෑ හෝර්ලික්ස් බිස්කට් පැකට් එකක් දැක්කත් ගැම්ම ඇවිල්ලා ඉවරයි. ඉස්සර පෙට්ටි කඩවලත් ඕසෙට තිබ්බත් දැන් දකින්න තියෙන්නේ සුපිරි වෙළඳසැල්වල විතරයි. ඒකත් නිකන් අවාරෙට පොල් වගේ දර්ශනයක්. කිරි රහට හැපුණු නිසා බිස්කට් එක කාලා වතුර වීදුරුවක් බිව්වත් පාඩුවක් නෑ. ලොකු පොඩි විදියට බිස්කට් පැකට් දෙකක් ම තිබ්බත් අද දකින්න තියෙන්නේ හෝර්ලික්ස් මෝල්ට් කිරි එක විතරයි.
2. බන්ටි ටොපිය
![Childhood foods with lovely memories](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/10/Chilhood-food-2.jpg?resize=800%2C420)
Source – images1.hellotrade.com, ednagroup.com
මේ ටොපියේ හැබෑ රහ දන්නේ මුදලාලි මහත්තයා තමයි. ඇයි ඉතින් ඉතුරු සල්ලි වෙනුවට දුන්නේ මේවනේ. අම්මලාට වේදනාවක් උනත් හවස් වෙලාවක මොනා හරි ගේන්න කඩේට යන දුවට පුතාට නම් බන්ටි ටොපිය මහමෙරක්. දොඩම්, අන්නාසි, අඹ වගේ රසවල් ගොඩක් එක්ක රුපියලකට ටොපි දෙකක් ම කන්න පුළුවන් කාලයකුත් තිබුණා. ඉස්කෝලේ පන්තියේ යාළුවොන්ට උපන්දින පාටියක් දාන්නත් අමතර වියදමක් නැහැනේ. බන්ටි ටොපි ටිකක් අරන් දුන්නා ම වැඩේ ගොඩ.
3. ඇලරික්ස් අයිස්ක්‍රීම් බෝලය
![Childhood foods with lovely memories](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/10/Chilhood-food-3.jpg?resize=800%2C420)
Source – alerics.com , facebook.com
අයිස්ක්‍රීම් නැති ළමා කාලයක් හිතාගන්නවත් බැරි තරමේ ශෝඛාන්තයක්. අයිස් පලම්, අයිස් කෝන්, අයිස්ක්‍රීම් කප් අස්සේ අයිස්ක්‍රීම් බෝල් එකක් කරලියට ඇවිත් නැති වෙලා ගියා. ප්ලාස්ටික් බෝලයක් මැද්දට රස ම රස ඇලරික්ස් අයිස්ක්‍රීම් ගොඩක් දාලා තිබුණ මේ නිර්මාණය ඒ කාලේ පොඩි ඈයොන්ට දුන්නේ දිව්‍යලෝක රහක්. අයිස්ක්‍රීම් එක කාලා ඉවර වෙලා සෙල්ලම් කරන්නත් පුළුවන්නේ. අදටත් ඇලරික්ස් අයිස්ක්‍රීම් වෙළඳපොලේ තියෙනවා. ඒත් ඉස්සර වගේ හන්දියේ කඩේ ගන්න නැහැ. විශේෂයෙන් ම මේ බෝලේ හොයාගන්න නැහැ.
4. හැලිබොරේන්ජ්
![Childhood foods with lovely memories](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/10/Chilhood-food-4.jpg?resize=800%2C420)
Source – haliborange.com, kapruka.com
ඒ කාලේ නම කියවගන්න බැරි වුණත් ගානට බඩට දාගත්තු බීම ජාති දෙකයි තිබ්බේ. මේ එතනින් එකක්. ගුණ දේවල් කවන්න පොවන්න අම්මලා අද ළමයි ඉස්සරහා කොහොඹ කංකාරිය නටද්දී අපි බලෙන් ගුණ දේවල් කාපු බීපු උදවිය බවට සාක්ෂියක් තමයි මේ. දොඩම් රහට රස නහර හිරිවැටිලා ගියපු හැටි අදටත් මතක් වෙන්න තරම් කොහොම බීමක් ද කියලා හිතන්නකෝ ඉතින්.
5. මොරිසන්ස් ග්‍රයිප් මික්ස්චර්
![Childhood foods with lovely memories](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/10/Chilhood-food-5.jpg?resize=800%2C420)
Source – youtube.com
නම කියවගන්න බැරි අනික් ඖෂධීය භාණ්ඩේ තමයි මේ. මහප්‍රාණ වගේ පෙනුනට මේක සරලව ම අසමෝදගම් එකක්. අසමෝදගම් කිව්වට මේක දිව්‍යලෝකේ උදවිය බඩේ අමාරුවට බොන ජාතියේ එකක්. ඇහැට පේන මානෙක මේ බෝතලය තිබුණොත් උගුරු කීපයක් ම බීලා තමයි අපේ උදවිය පස්ස බලන්නේ. ඒ අතින් බලනකොට අපි පුදුම මොරාල් එකකින් දුර දිග බලලා කාපු බීපු මිනිස්සු කියලා හිතෙනවා.
මේ නිෂ්පාදන අතරෙන් සමහරක් අදටත් වෙළඳපොලෙන් ගන්න පුළුවන්කම තිබුණාට ඒක හරිම සීමිත අවස්තාවක්. මේ කෑම බීම සම්බන්ධයෙන් අදටත් අපේ ළඟින් ම ඉන්නවා නම් ඒ මේ දේවල් එක්ක බැඳුණු මතක විතරයි.
6. මැලිබන් ග්ලූකොමෝල්ට්
![Childhood foods with lovely memories](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/10/Chilhood-food-6.jpg?resize=800%2C420)
Source – bmtsrilanka.org, images1.hellotrade.com
මැලිබන් බිස්කට්වල තියෙන දිව්‍යමය රහට ඉතිහාසය දරපු හොඳම සාක්ෂියක් තමයි මේ. ආය ඉතින් මේකෙන් බිස්කට් එකක් කෑවා කියන්නේ කිරි ඕනි නෑ පුදුම රසක්. සමහරු මේකට කිව්වේ ගොනා බිස්කට් කියලා. ඇයි ඉතින් බිස්කට් එක මැද ඉන්නේ එළදෙනක් නේ. අපේ අවාසනාවටද රටේ අවාසනාවටද මන්දා ග්ලුකොමොල්ට් අන්තරස්දාන වුණා. අපි ආයෙත් මැලිබන් ආයතනයට කියලා ගොනා බිස්කට් පාරක රහ බලමු.
7. නිවාරන්
![Childhood foods with lovely memories](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/10/Chilhood-food-7.jpg?resize=800%2C420)
Source – www.icl.lk
අපි ඒ කාලේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න කොච්චර නම් ගේමක් දීලද කියලා කාපු කෑම බීම අනුව පෙනුන දෙයක්. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි. හැබැයි ලෙඩක් දුකක් තියෙන්න ම අවශ්‍යයත් නැහැ. කොළ පාට පැකට්ටුවක අයියා කෙනෙක්ගේ රූපෙකුත් එක්ක ආපු නිවාරන් පැකට් එක කෝකටත් දිව ඔසුව. උගුරෙන් පහළට බහින්න කලින් ම නිවාරන් එකේ සුවේ අන්නසෝත්‍රයට ම දැනිලා අහවරයි.
Cover Image Source – www.viewzone.com
Leave a Reply