කෑම කියන්නෙ කොයි තරම් හිත් සනහන දෙයක්ද? අපිව සනසන ඕනම දේකට අපිව රිදවන්නත් පුළුවන්නෙ. අන්න ඒ නිසායි මේ කතාව කියන්නෙ. මේ කතාවෙ තියෙන්නෙ කෑමවලින් හිත් රිදෙන අවස්ථා මොනවද කියල. පුදුම වෙන්නෙපා එහෙම අවස්ථා තියෙනවා. මතක නැතුව ඇති. හිතෙන්නෙ නැතුව ඇති. ඒත් ඒක එහෙම තමයි. එහෙම වෙන්නෙ ඇයි කියලනං අපි ඩෝන්ට් නෝ වයි. කොහොම කළත් මේ කතාව කියෙවුවම ඔයාලටත් කෑම නිසා හිත රිදිච්ච තැන් මතක් වේවි. ඉස්සරහටත් හිත රිදේවි. ඒ දුක දරාගෙන මේ කතාව කියවන්න.
1. අවසානයේ
විශාල සතුටකට පස්සෙ කෑම නිසා ඇතිවන දුකක් තමයි හොඳට ගිලලා ඉවර වුනාම පුටුවෙන් නැගිටින්න බැරිවීම. ඒ දුක ජීවිතේටම දැනෙන්නෙ අඩු වතාවක් වුනාට ඒ අඩු වතාව මතක හිටින විදියට සිද්ධ වේවි. කොටිම්ම මේක සිද්ධ වෙන්නෙ දශක දෙක තුනකට වතාවක්. කවුරුත්ම නැතුව තමුන් විතරක් හතර දෙනෙකුට වේල් දෙකකට උයපු කිරිකොසුයි, සුදු කැකුළු බතුයි, කරවලයි තනි වේලකට කෑවම මේ විදියෙ අමාරුවක් එන්න හොඳටම ඉඩ තියෙනවා. ඔය තත්ත්වෙ මතක තියෙනකං ආයෙ ආයෙ කොච්චර රස වුනත් ඔය විදියට පෙරේතකමට නොකන නිසා තමයි ඔය වගේ අවස්ථා ලොකු කාලෙකට පාරක් උදා වෙන්නෙ.
2. කෝ හම්බන්තොට
උදේට කෑම කද්දිම අම්ම කියන්නෙ අද උදේට අඩුවෙන් කන්න, දවල්ට ආසා දෙයක් හදලා දෙන්නං කියල. ඉතිං දෙයියනේ ඉවසිල්ලක් නෑ දකින තුරා ඔය සුදු පිඟානෙ දාලා කන්න දෙන ඒ ආසම කෑම මොකද්ද කියල දැනගන්නකං. හොයල බලල ලකලැහැස්තිය බලලත් හිතාගන්න බැරි වුනාම ලැජ්ජාව වහල අම්මගෙන්ම අහනව මොනවද අද කන්න දෙන්නෙ කියල. එතකොටයි අම්මා කියන්නෙ සම්බා බතුයි, එළු මසුයි, මුගුණුවැන්න මැල්ලුනුයි පපඩමුයි කියන මගේ ආසම මෙනූ එක විත්තිය. අනේ ඉතිං තොල කට ලෙව කකා බලං ඉන්නෙ ඒ ආදරණීය මොහොත උදා වෙනකං. බලං හිටියට මොකද උණුවෙන් කන්නත් බැහැනෙ කියල ටිකක් වෙලා නිවුනම බෙදාගන්නව. ඔක්කොම බලාපොරොත්තු හිතේ දරාගෙන හපන පළවෙනි කටෙන්ම බලාපොරොත්තු සුන් වෙනව කියන්නකො. අම්මට ලුණු දාන්න අමතක වෙලා. ඒ මදිවට මස් එකේ සැරත් මදියි. ඉතිං ඉවරයි. පස්සෙ ලුණු දාගත්තත් අර කොලිටිය නෑ. ඉතිං ෆීලිං එක ඉර පායන්නෙ නෑ අප්පච්චි, කපුටො පියාඹන්නෙ නෑ අප්පච්චි, ගොවියො උදැල්ල කරේ තියාගෙන කුඹුරට යන්නෙ නෑ අප්පච්චි තමයි සතියක් විතර යනකං.
3. මහ දුර යන කය
ජනක මහබෙල්ලන තමුන්ගෙ සංයුක්ත කවි එකතුවක මහ දුර යන කය කියන වචන හතර එකතු කරලා මරණය කියන වචනෙ හදලා තිබුනා. මේ කතාවත් එහෙමයි. ඔන්න සාමාන්‍යයෙන් නොයන පැත්තකට ගමනක් යනව. නිකමට හිතමු ගාල්ලට කියල. එක පාරක් විතරක් තාම කාලා තියෙන, කන කන කටක් ගාණෙ රස නහර පිනාගිය කඩයක් හොයාගෙන දවසම යන්නෙ ගමන යන අනිත් අයගෙත් බැනුම් මැද්දෙ. කොහොමහරි ඒ බැනුම් ඉවසගෙන යන්නෙ ඒ කඩෙන් කෑවට පස්සෙ කට්ටියට බැන්නෙ අපරාදෙ කියල හිතෙයි කියන මූඩ් එකේ සතුටත් තියාගෙන. ගියාට පස්සෙයි වැඩේ කෙළවෙන්නෙ. ඒ කඩේ දැන් කරන්නෙ වෙනිං කට්ටියක්. නමත් වෙනස්. රසත් නෑ. ඉතිං කට්ටියගෙ බැනුම් වැඩියි. බඩගින්නත් වැඩියි. පුරුදු රස මගහැරුණු දුකත් වැඩියි.
4. ඒකෙන්දෝ මේකෙන්දෝ?
කෑමවල තියෙන ලොකු අවුලක් තමයි ඒකෙන්ද මේකෙන්ද කියල හිතාගන්න බැරි වීම. ඇයි දෙයියනේ ආස කරන ෆුඩ් ෆ්‍රැන්චයිස් දෙක විසින් පියවරුන්ගේ දිනය සමරන්න කියලා හොඳම ඔෆර්ස් දෙකක් දීලා. පියා හිටියට එයා කැමති නෑ ෆුඩ් ෆ්‍රැන්චයිස්වල තියෙන උලවු කන්න. අනේ ඉතිං දුක දරාගෙන අපි අපිටම පියා වෙලා ඕඩරේ දාන්න කියල ආසා කරන දෙකෙන් ටකා ටිකා ටුකා ගහල එකක් තෝරගෙන ඕඩර් කරනවා. එදා ඕඩර් වැඩි නිසාද කොහෙද වෙනදට තියෙන කොලිටිය ලොවෙත් නෑ. ඉතිං තනි දුකක්. අපරාදෙ අනිත් එක ගන්න තිබ්බෙ කියල හිත හිත ඉද්දි යාලුවෙක් කෝල් එකක් දීලා කියනව, අනිත් එකෙන් ඕඩරයක් දැම්ම මරු කියල. ඉතිං හද කඩං වැටෙනව කියහංකො.
5. පොදු වරද
මේක තමයි අපේ පොදු වරද. මස් උයලා, අල බැදලා, පොල් සම්බෝල තෙම්පරාදු කරලා සුදු බත් එක්ක කන්න තියෙන බත් වේලකට කරස් කරස් ගාන පපඩම් ටිකක් තිබුනනං රස කියලා නිමක් නෑ. කමක් නෑ ඉතිං අපි මහන්සි වෙන්න කැමතිත් නෑ, අම්මව මහන්සි කරන්න ඕනෙත් නෑ කියන තීරණය අරගෙන ඔන්න ඔහේ බත් ටික බෙදාගෙන ආසාවෙන් කනව. කාලා පිඟාන හෝදලා පපඩං නැති වුණු අවුල ගැන හිත හිත ඉද්දි අම්ම තාත්තට කියනව ඇහෙනව දෙබසක්. ඒක ඇහෙනව විතරයි මතක. “ඒයි මේ… ඔන්න එහා පැත්තෙ පෙඟෙනවට බෑග් එකක දාලා ඇති පපඩං.”
6. මගේ මුල් කට
මේ කියන්න යන්නෙත් වේල් දෙකක්වත් යනකං මතක හිටින දෙයක් ගැන. ඒ තමයි මගේ මුල් කට. ඔයාලටත් මේක වෙලා ඇති. ඔන්න අම්මා ආසම කරන මෙනූ එකක් හදනව. හැදුවට පස්සෙ ඉවසිල්ල දරාගන්න බැරුව මුලින්ම දුවගෙන යනව කුස්සියට. බෙදාගන්නෙත් හදිස්සියෙන්. මේසෙ උඩ හොදි හැලුනට බැණුමුත් අහගෙනම ඇවිත් පෙරේතකමට පළවෙනියට ටිකක් ලොකු මස් කෑල්ලක් දාලම අනාගන්නව බත් එක. ඇඟිලිවලට අවුලක් දැනුනෙ නැතුවට දිව ඒකට අවනත නෑ. බුදාම්බෝ ආයෙ කට ඇතුළෙ තියෙන මස් කෑල්ල එළියට පනින්නෙ දිව පිච්චිච්ච රස්නෙ දරාගන්න බැරුව. ඉතිං වේල් දෙක තුනක් යනකං දිව අග කොකියනව වගේ තමයි ඉන්න වෙන්නෙ.
7. විෂබීජ
විෂබීජ කියල හෙඩිමෙ තිබුනට මේ කියන්නෙ කෑමවල තියෙන විෂබීජ නෙමෙයි. මේ කියන්නෙ කද්දි අපේ ඔලුවලට එක එකා දාන විෂබීජ. ඇයි මස් විතරක් බෙදාගත්තෙ මුරුංගා හොදිත් දාගන්න එපැයි වගේ කියන නෑදෑයො. ඔච්චර කන්නෙපා බං කියල කියන ඔෆිස් එකේ උන්. යකෝ වේල් දෙකටම බිත්තර කෑවොත් තොට වෙනම ලෙඩක් හැදෙයි කියන යාලුවො වගේ විෂබීජකාරයොන්ව ආශ්‍රයෙන් අයින් කරන්න. ප්ලීස්! ඒ අයට මූණට කියන්න බැරිනං වෝල් එකට ෂෙයා කරන්න.
Cover Image Source – videoblocks.com
Leave a Reply