කියැනු රීව්ස් (keanu reeves) වෙනුවෙන් එක පාර ඇති වුණ උන්මාදයට හේතු

අවුරුදු 54ක් විතර වෙච්චි මේ නැඩයට 2019 අවුරුද්දේ ඉඳන් එක පාරට අමුතු ආදරයක් ඇති වෙන්න ගත්තා. කියැනු නළුවෙක් වශයෙන් අපේ මතකයේ හොඳින් ම ඉන්නේ ​මේට්රික්ස් එකේ නියෝ විදියට. අපෝ ඉතින් ඒ කොයි කාලෙද! එක පාරට අන්තර්ජාලය ම කළඹලා ගෑනු පිරිමි භේදයකින් තොරව ඔහු ගැන අපේ හිත්වල ආදරයක් ඇති වෙලා. ඇයි?

 


1. යූ ආර් බ්‍රේත්ටේකින්!


ලෝකේ තියන ලොකුම ගේමින් ඉවෙන්ට් එකක් වෙන E3 එකට කියැනු ආවා. ඒ ආවේ Cyberpunk 2077 කියන ගේම් එකේ මනුස්සයගේ කොටසක් තියේ ය වගේ දේවල් කියන්න. දහස් ගාණක් මිනිස්සු ඉදිරිපිට ඉතින් කියැනු ස්ටේජ් එකට නැග්ගා. නොසිතූ විදියට ප්‍රේක්ෂකාගාරය පැත්තෙන් කෙනෙක් ‘යූ ආර් බ්‍රේත්ටේකින්’ කියලා කිව්වා. ලැජ්ජාවෙන් ඇඹරෙන්නැතුව කියැනු ආපහු ප්‍රේක්ෂකාගාරෙට ‘යූ ආර් බ්‍රේත්ටේකින්’ කිව්වා. ඕක ම මදෑය ඉතින් ලෝකෙට. කියැනු ගැන කාලාන්තරයක් තිස්සේ ටෙනිස් බෝලේ වගේ උඩ පහළ යමින් තිබුණු හොඳ කතා ආයේ මතු වෙන්න ගත්තා. 



2. ජෝන් වික් 3


බල්ලෙක් ගෑවෙන තැනක ආදරය වැඩියි. ඉතින් එහෙම බල්ලෙක්ට ලව් කරන කොල්ලෙක්ටත් ආදරයක් ඇති වෙන්න හොඳටම ඉඩ වැඩියි. 2014 පටන් ගත්ත ජෝන් වික් සීරිස් එකත් එක්ක කියැනු ගැන ආය කතා කරන්න පටන් ගත්තත් 2019 ජෝන් වික් 3 එක්ක තමයි අසාමාන්‍ය ජනප්‍රියත්වයක් රසික ආකර්ෂණයක් කියැනු දිහෑට තල්ලු වෙන්නේ. ඒක බොරු ෂෝ නැති හොඳ ඇක්ෂන් ෆිලුමක්. ඒ වගේ ම බොක්ස් ඔෆිස් රෙකෝඩ් ගැහුවා.

 


3. ගෑල්ලමයින්ට ආදරෙන්


ජෝන් වික් එක්ක ජනප්‍රිය වුණත් හරි යන යන තැන ගෑල්ලමයි එක්ක පොටෝ ගහන්න කියැනුට සිද්ධ වෙනවා. ඒ හැම වෙලේම කියැනු වගබලාගන්නවා පොටෝ එක ගන්න කෙල්ලගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව ඉන්න. ඒක සාමාන්‍යයෙන් හොලිවුඩයේ නළුවෙකුගෙන් දකින්න ලැබෙන්න නැති තරමේ සිල්වත් ලක්ෂණයක්. මේ විදියට ගත්තු ඡායාරූප කීපයක් ම අන්තර්ජාලයේ සංසරණය වුණා. 



4. සරල මිනිසා


අපි රටක් වශයෙන් වුණත් සරලයි කියලා කියන මිනිස්සුන්ට ආසයිනේ. ඉතින් මුළු ලෝකයත් එහෙමයි. තනියම තමන්ගේ පාඩුවේ ගමන් බිමන් යන, සබ්වේ එක පාවිච්චි කරන, සාමාන්‍ය අපාර්ට්මන්ට් එකක ජීවත් වෙන හින්දා කියැනු කියන්නේ හරි රත්තරන් සරල මනුස්සයෙක් කියලා කතාවක් නිර්මාණය වෙලා තියනවා. මේකට හැදුණ එක තියරියක් තමයි මේ දේවල් මනුස්සයගේ PR හදන්න කරන වැඩ කියලා. ඒත් ඉතින් ඇත්තටම කියැනුගේ ජීවිතේ ඒ වගෙයි පේන්න තියෙන්නේ.



5. නෙට්ෆ්ලික්ස් කැමියෝ


ඉතින් ඔය අස්සේ නෙට්ෆ්ලික්ස් රොමැන්ටික් කොමඩියක් වෙච්චි ‘Always Be My Baby’ චිත්‍රපටයේ කැමියෝ පාරකට ඔහුව තෝරා ගැනුණා. ඒක හරිම ආතල් චරිතයක්. චිත්‍රපටය පුරා ඉන්නේ පොඩි වෙලාවකට. හැබැයි ඒ ටිකේ තව අවුරුදු ගාණකට කතාබහක් ඇති කරවන තරමේ රඟපෑමක් බලාගන්න පුළුවන්. ඒක හරියට ජෝන් වික්ගේ සීරියස් අඩු වර්ෂන් එකක් ෆිල්ම් එකට ගත්තා වගේ. 



6. මීම්ස්


කිසිම වැදගැම්මකට නැති මනුස්සයෙක්ව වුණත් සෑහෙන අප් කරන්න පුළුවන් දෙයක් තමයි මීම්ස්. ඉතින් වැඩක් ඇති මිනිහෙක්ව මීම්ස්වලින් උස්සලා තියනකොට කෙලින් ම හඳේ තමයි නවතින්නේ. ජෝන් වික් එක්ක සත්තු සම්බන්ධ මීම්ස් ගොඩක් හැදුණා. ඒත් එක්ක ම ‘යූ ආර් බ්‍රේත්ටේකින්’ මීම්ස් හැදුණා. තවත් සමහරු කියැනුව දැක්කේ ජේසු තුමා වගේ. බාහිර පෙනුම පැත්තක තියෙද්දී කියැනුට වතුර වයින් කරන්න පුළුවන්කමක් තියෙන බවටත් මීම් ටිකක් ෂෙයාර් වුණා.



7. නිහතමානී කලාකරුවා


ෆෑන් කෙනෙක්ට නෑ බෑ නොකියන නළුවො හරිම විරලයිනේ. ඒ අතින් කියැනු එහෙම විරල කෙනෙක්. හදිසි ජනප්‍රියත්වය එක්ක ගොඩක් අය කියැනු එක්ක තමන්ගේ රසික අත්දැකීම සෝෂල් මීඩියාවල බෙදා හදාගෙන තිබ්බා. ෆොටෝ ගන්න කතා කරන්න ගියාම සාමාන්‍ය මනුස්සයෙක්ට කතා කරනවා වගේ හැඟීමක් ලු එයාලාට දැනුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *