අතුරුපස චාරිත්‍රයට කොළඹ රටේ ඇති තැන් 7ක්

පැණිරස කෑමක් හිත ඉල්ලන වෙලාවට ඒ ඇරියස් එක යවාගත්තෙ නැත්නම් සෑහෙන අවුල්. ඒකට හොඳ ප්ලේස් එකකුත් සෙට් වෙන්න ඕනෙ ඉතින්. මේ කියන්න හදන්නෙ පැණි රහට හොඳ ඩිසර්ට් පාරක් දාන්න සෙට් වෙලා යන්න පුළුවන් කොළඹ අවට හොඳම තැන් 7ක් ගැනයි.

 

1. Carnival Ice Cream Parlour

කොල්ලුපිටිය හන්දිය පේන මානේ ගාලු පාරට වෙන්න තියෙනවා පරණ වලව්වක් වගේ බිල්ඩිමක්. ගාලු පාරට පේන්න තියෙනවා කානිවල් කියලා බෝඩ් එකක් අයිස්‍ක්‍රීම් කෝන් එකක් එක්ක. කීයටවත් ඒක නම් මග ඇරෙන්නේ නෑ. මෙතන ඉතින් අයිස්ක්‍රීම්වලින් දාන වැඩ තමයි. අයිස්ක්‍රීම් ස්කූප් එකේ ඉඳන් වොෆ්ල් දක්වා තියනවා එක එක ෆ්ලේවර්ස් එහෙම.

 

2. Jam Rolled Ice Cream

රෝල් කරපු අයිස්ක්‍රීම්. වෙනදට කන අයිස්ක්‍රීම් එක රෝල් කරලා කන්නයි තියෙන්නේ. මේක රෝල් කරන්නෙත් ඔයාගෙ ඇස් ඉස්සරහමයි. තැන් 2ක් තියනවා. එකක් බත්තරමුල්ලේ පාලම් තුන හන්දිය ගාව. අනෙක තියෙන්නේ කුරුඳුවත්තේ IUCN ඔපීසිය ගාවමයි. මෙයාලගේ අයිස්ක්‍රීම් අවශ්‍ය ඕන ම විදියකට. ෆ්ලෙවර්ස් ගත්තොත් අපිට අවශ්‍ය විදියට හදාගන්න කස්ටම් ක්‍රමේකුත් තියෙනවා.

 

3. Hyve Dessert Bar

කොළඹ අතුරුපස චාරිත්‍රෙට අලුතින් ම එක් වෙලා හොඳ කස්ටමර් බේස් එකක් ඉක්මනට හදාගත්තු තැනක් තමයි මේ. මෙතන වැඩිම ඉල්ලුම තියෙන්නේ එස්ප්‍රෙසෝ චීස් ටාර්ට් එකට. මෙතන වටපිටාව ගත්තම වුණත් සෑහෙන රිලැක්සින්. පොඩි එවුන්ට සෙල්ලම් කරන්නත් වෙන ම ප්ලේ ඒරියා එකක් තියනවා. තැන තියෙන්නේ 135 බස් යන තිඹිරිගස්යාය පාර පටන් ගන්න ම තැන වගේ.

 

4. Sugar Shack

ද ෆොන්සේකා පාරේ Sugar Shack එක එතනට පොඩ්ඩක් අලුත් වුණාට ඩෙසර්ට් වැඩේට මෙයාලා අලුත් නෑ. මෙතන Sugar Shack එකත් එක්ක ම Tosakanth’s Roast Paan එකත් තියෙනවා. Sugar Shack එකේ රස ම රස කප්කේක් සෙට් එකක් තියනවා. ඒ වගේ ම මෙයාලගේ ටින්කිරි කෝපි එකත් එතන තියන කෑම ජාති එක්ක ම නැගලා යනවා. නමේ හැටියට කන බොන එව්වයේ සුගර් නම් තියෙනවා කියලා කියන්න ම ඕනි ඉතින්.

 

5. Bakes by Bella

අතුරුපස කතන්දරේ සාර්ථක ව්‍යවසායිකාවකගේ වැඩක් තමයි Bakes by Bella. මෙතනට පුරුද්දක් වශයෙන් යන පුද්ගලයෝ කීප දෙනෙකුත් ඉන්නවා. ඒ තැන ඒ තරමට ම ගෙදර වගේ සනීප ගතියක් තියනවා. තැන හරියට ම කිව්වොත් බම්බලපිටියේ ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියු එකේ තමයි තියෙන්නේ. මෙතන තියෙන කේක් ජාර් ටික නම් දැක්කත් ආස හිතෙනවා. ඩෙසර්ට්වලට නැගලා ගියාට අලුතින් මෙයාලගේ මෙනූ එකේ සේවරි රේන්ජ් එකකුත් පටන් ගෙන කියලා ආරංචියි.

 

6. Butter Boutique

සමහර තැන්වල නම කිව්ව ගමන් මතක් වෙන යුනික් අයිටම් එකක් තියනවනේ. මෙතන නම කිව්ව ගමන් එහෙම මතක් වෙන්නේ ත්‍රෙස් ලෙචස්. මෙතනට ආවොත් ලෙචස් කෑල්ලක් නොකා කවුරුත් යන්නේ නැහැ. පිහිටලා තියෙන්නේ රොස්මෙඩ් ප්ලේස්වල. තැන හරිම විශාල වගේ ම සුවපහසු ගතියක් තියනවා. දැන් කට්ටිය ගිහින් දෙයක් කනවට වඩා කන වටපිටාව ගැන සැලකිලිමත් නේ. ආහ් තව දෙයක්, කොළඹ තියන හොඳම වර්ගයේ කෝපි කෝප්පයක් වුණත් මෙතනින් ගතෑකි.

 

7. Simply Strawberries by Jagro

ඇතුල්කෝට්ටේ බස් හෝල්ට් එකත් එක්ක ම තියෙන මේ ප්ලේස් එක ස්ට්‍රෝබෙරි නොකන කෙනෙක් ව වුණත් ඒවා කන තත්ත්වෙට පත් කරන තැනක්. ස්ට්‍රෝබෙරිවලින් මෙච්චර එකක් කරන්න පුළුවන් ද කියලත් හිතෙනවා එතනට ගියා ම. පැණි රහ අයිටම්වලට අමතර ව මෙතනත් සේවරි රේන්ජ් එකක් සුප් වර්ග එහෙම තියනවා. ට්‍රයි කරන්න ම වටිනවා ඉතින් මෙතන චීස් කේක් එක, ටාර්ට් එක සහ වොෆ්ල් එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *