අපිට ළඟින්ම තියෙන ඉන්දියාව එක්ක අපේ තියෙන සම්බන්ධතා වැඩියි. ලංකාවෙ ඉඳන් ඉන්දියාවට දැන් රුපියල් 25,000ක් තරම් මිලකට ගුවන් ටිකට් ලබාගන්න පුළුවන්. වීසා එකත් ලේසියෙන්ම ලබාගන්නට පුළුවන්. ඉතින් ලෝකේ අනිත් කොණ අල්ලන්න ඉස්සර වෙලා ඉන්දියාවේ තියෙන වැදගත් තැන් ටිකක් බලලා ඉන්න එක පොකට් එකට වාසි වැඩක්. අනෙක් පැත්තෙන් භාෂාව පොඩ්ඩක් වෙනස් වුනාට කෑම බීම, නවාතැන් ආදියත් ඉන්දියාවෙදි ලංකාවට ටිකක් සමාන විදියට මෙහෙ මිලටම හොයාගන්නත් පුළුවන්. ඉතින් අපි දඹදිව වන්දනාවට ගියොත් හරි වෙන සවාරියකට ගියොත් හරි බලලා එන්න වටින ඉන්දියාවේ තියෙන පෞරාණික ස්ථාන මොනවද?
ඉන්දියාව ලොකුයි. ඒ නිසා ස්ථාන ගොඩක් තියෙනවා. ඒ අතර ජනප්‍රියම තැන් කිහිපයක් ගැන අපි ඔයාලට කියන්න ඕනි කියල හිතුවා.
1. තිරුපති
දකුණු ඉන්දියාවේ අන්ද්‍රාවල තියෙන තිරුපති දේවාලය ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අතර ජනප්‍රිය දෙවොලක්. තිරුමල කඳු මුදුනේ පිහිටි මේ දෙවොල් බිමට පෙනෙන සූර්ය උදාව නරඹන්න බැතිමතුන් මේ කඳු මුදුනට එනවා. ඉන්දියාවේ ඊස්ටර්න් ඝාට්ස් කඳු පන්තියේ පිහිටි මෙම දෙවොල බලන්න දවසකට පනස්දාහක් විතර සෙනග එනවා. මේ දේවාල සංකීර්ණයේ ඉහළම තැනට යන්න පඩි තුන්දාස් පන්සීයක් විතර නගින්න තියෙනවා. අවසාන පඩි ටික අපේ සිරිපාද කන්ද නගිනවා වගේ බොහොම අමාරුවෙන් තමයි නගින්න තියෙන්නේ. මේක හින්දු ආගමිකයින්ගේ ගෞරවයට පාත්‍ර වූ පුද බිමක් නිසා තිරුපති යනවා නම් ඇඳුම් පැලඳුම් ආදිය දේවාලයකට, පන්සලකට ගැලපෙන ආකාරයෙන් ඇඳගෙන යන්නට ඕනා. ලංකාවෙ ඉඳන් යනවා නම් චෙන්නයි හෝ බැංගලෝර්වලින් බැහැලා ඉන් පස්සෙ තිරුපති දක්වා බස්රිය ටැක්සි හෝ දුම්රියෙන් පිවිසෙන්නට හැකියි.
2. රාජස්ථානයේ කුම්බලාගර් කොටුව
පෞරාණික ස්ථාන අතර ඉන්දියාවේ රාජස්ථානයට මූලික තැනක් ලැබෙනවා. රාජස්ථානයේ තියෙන පැරණි ගොඩනැගිලි පවුරු පදනම් ගොඩක් ඒවා තාමත් ඒ පැරණි ආකාරයෙන්ම දැකබලාගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. පැරණි ඉන්දියාවේ ශ්‍රී විභූතිය බලාගන්න එන සංචාරකයින් රාජස්ථානය නම් මිස් කරගන්නේ නැහැ. රාජස්ථානය කටුකයි. කාන්තාර පරිසරයකින් යුක්තයි. ඒ නිසා රාජස්ථානයට යද්දි යන කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ගොඩක් රස්නේ තියෙන කාලෙක ගියොත් අපිට ඒ ඌෂ්ණය උහුලන්න අමාරුයි. රාජස්ථානයේ කුම්බලාගර් කොටුව චීන මහා ප්‍රාකාරය වගේ මහා කොටු පවුරකින් වට වෙලා තියෙනවා. ඒ කොටු බැම්ම කිලෝමීටර 38ක් දිගයි. 15 වන සියවසේ නිම වුනු මේ කොටුවේ ඇතුළත සුන්දර ගොඩනැගිලි තවමත් හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. රාජස්ථානයේ උදායිපූර් කිට්ටුව තමයි කුම්බලාගර් කොටුව තියෙන්නේ. ලංකාවේ ඉඳන් යනවා නම් උදායිපූර් දක්වා ගුවනින් යාම තමයි ලේසිම ක්‍රමය. දිල්ලි වලින් වගේ එනවා නම් දුම්රියෙන් උදායිපූර් දක්වා එන්නත් පහසුව තියෙනවා.
3. මහබලිපුරම්
දකුණු ඉන්දියානුවන් අපේ රටට කළ ආක්‍රමණ සහ ඇඟිලි ගැසීම් ගැන අපේ ඉතිහාසය පුරාවට තියෙනවා. රාජ රාජ, රාජේන්ද්‍ර චෝල ආදී අදිරාජ පාලකයින් ඉන්දියාවේ බෙංගාලය දෙසටත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දෙසටත් ආදී විශාල බලයක් ඒකරාශි කරගෙන තිබුණා. මේ දකුණු ඉන්දියාවේ තිබූ රාජධානි වල නටඹුන් රැසක් තවමත් තැන් තැන් වල ඉතිරි වෙලා තියෙනවා. ඒ අතර මහබලිපුරම් ශෛලමය නටබුන් බොහොමයක් එකම තැනක තියෙන තැනක්. පල්ලව යුගයට අයිති මහබලිපුරම් වල පෞරාණික දේවස්ථාන, පිලිම, කැටයම් ආදි පැරණි කලාශිල්ප රැසක් දැකගන්න තියෙනවා. චෙන්නයි ඉඳලා මහබලිපුරම් වලට තියෙන්නේ කිලෝමීටර 60ක් විතර. දඹදිව හෝ ඉන්දියා ගමනකදි චෙන්නයිවලට දවසක් දාගන්න පුළුවන් නම් මහබලිපුරම් වල පරණ නටබුනුත් දැකබලාගන්න හැකියාව ලැබෙනවා.
4. හම්පි
විජයනගර් අධිරාජ්‍යයේ තවමත් හොඳින් ඉතිරි වී ඇති නටබුන් රැසක් හම්පි හි තියෙනවා. මේ හම්පි මෑත කාලේ ඉන්දියාවෙ පැරණි දේවල් හොයන් එන සංචාරකයින් අතර ඉක්මනටම ජනප්‍රිය වුනා. නටබුන් වූ මාලිගා, පන්සල් එකක් දෙකක් නෙමෙයි සිය ගාණක් මේ හම්පි පළාතේ තියෙනවා. විජයනගර් අධිරාජ්‍යය කාලේත් බුදුදහම හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. මේ නටබුන් අතර බෞද්ධ වෙහෙර විහාරස්ථානත් හමුවෙනවා. බැංගලෝර් ඉඳන් කිලෝමීටර 350ක දුරින් තියෙන හම්පිවලට බැංගලෝර් ඉඳන් බස් එකේ කෝච්චියෙ හෝ ටැක්සියකින් ළඟා වෙන්න පුළුවන්.
5. එල්ලෝර ගුහා
එල්ලෝර ගුහා හදලා තියෙන්නේ මහ කලුගල් පර්වතයක් ඇතුළට කැණීම් කරලා. මේ නටබුන් ක්‍රිස්තු වර්ෂ 600 සිට ක්‍රිස්තු වර්ෂ 900 දක්වා කාලයට අයිති වෙනවා. කිලෝමීටර දෙකක් විතර දිගට පිහිටා තියෙන මෙම ගුහා වල ජෛන, බෞද්ධ සහ හින්දු නටබුන් එක් එක් ගුහා සංකීර්ණ වලින් හමු වෙනවා. ඇතැම් තැනෙක බුදු පිළිම එදා ආකාරයෙන්ම තවමත් හොඳින්ම ආරක්ෂා වෙලා තියෙනවා. මේ අතරින් කෛලාශ ගුහාව පුදුමාකාරයි. මහා කළුගල් පර්වතය මීටර් ගාණක් හාරලා, ඒ පිහිටි කළුගලේම ලස්සන දෙවොලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ දෙවොල පුංචි සයිස් එකක් නෙමෙයි. දේවාලය මීටර් 50ක් දිග මීටර තිහක් පළල මීටර 30ක් උස එකක්. ඒ තරම් විශාල ඉදිකිරීමක් කරන්න කලුගල් කැඩුවේ කොහොමද? ඒ සියුම් කැටයම් ගලේ පිහිටවූයේ කොහොමද කියන එක අදටත් රහසක්.
මහාරාශ්ට්‍ර පළාතේ ඔරන්ගාබාද් (Aurangabad) කියන උපනගරයේ ඉඳලා කිලෝමීටර 30ක දුරින් එල්ලෝර ගුහා පිහිටලා තියෙනවා.
6. නාලන්දා විශ්ව විද්‍යාලය
පැරණි නාලන්දා විශ්ව විද්‍යාලය උතුරු ඉන්දියාවේ බිහාරයේ පිහිටලා තියෙනවා. එය මුස්ලිම්වරුන් ඉන්දියාවට ආපු කාලේ කඩලා බිඳලා දාපු නිසා අද වනවිට දකින්නට තියෙන්නේ නටබුන් ගොඩක් පමණයි. එදා ගුප්ත යුගයේ ඉදිවූ මේ නාලන්දා විශ්ව විද්‍යාලය තුළ විදෙස් සිසුන්ද අධ්‍යාපනය ලබලා තියනවා. එවකට ලංකාවෙන් ගියසිසුන්ද මෙහි අධ්‍යාපනය ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. චීන දේශ ගවේශක හියුං සාන් ගේ දේශාටන වාර්තාවලට අනුව එදා නාලන්දාව සිසුන් දහස් ගණනක් අධ්‍යාපනය ලැබූ මහා තක්ෂිලාවක්. බුදුන් දවස ජෛන ආගමික සිද්ධස්ථානයක් වූ නාලන්දාව පසුකාලීනව බිහි වූ නාගර්ජුන ආදී මහා බෞද්ධ දාර්ශනිකයින්ටද නවාතැනක් වුනා. මේ විශ්ව විද්‍යාලය තුළ දර්ශනය, ගුප්ත විද්‍යාවන් සහ ගණිත මිණිත ශාස්ත්‍රද උගන්වා තියෙනවා. අද වනවිට නටබුන්ව ඇති මේ නාලන්දා විශ්ව විද්‍යාලය දඹදිව නටබුන් අතර ප්‍රකට රජගහ නුවර හෙවත් වර්තමාන රාජ්ගීර් ආසන්නයේ පිහිටලා තියෙනවා.
7. මීනාක්ශි දෙවොල් සංකීර්ණය
ලංකාවේ ඉඳන් පැයකටත් අඩුවෙන් ළඟාවෙන්න පුළුවන් තැනක් තමයි දකුණු ඉන්දියාවේ මදුරෙයි නුවර. මදුරෙයි වල තියෙන මීනාක්ශි දෙවොල් සංකීර්ණය ඉන්දීය හින්දු දේවාල අතර අදටත් වැඳුම් පිදුම් කරන පැරණිම දේවාල පද්ධතියක්. හින්දු කතාවලට අනුව මීනාක්ශි කියන්නේ ප්‍රබල දිව්‍යාංගනාවක්. ඇය පසුකලෙක ශිව දෙවියන් හා විවාහ වෙලා තියෙනවා. මේ දේවාල ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවස සහ 4 වන සියවස දක්වා කාලයේදී ඉදිවෙලා තියෙනවා. ඉන් පස්සේ 14 වන සියවසේ දිල්ලියේ මුස්ලිම් සුල්තාන්ලා බලවත් වුනා. මේ දේවාල කඩා බිඳ දැම්මා. පස්සේ කාලෙක ආයෙත් නායක්කර් වංශිකයින් බලවත් වුනා. එයාල මේ දේවාල පද්ධති ආයෙත් නවීකරණය කළා. මේ මදුරෙයි වල නායක්කර් වංශිකයින් අපේ ඉතිහාසයට සම්බන්ධ වෙනවා. අපි හොඳින් අසා ඇති ලංකාවේ අවසාන රජවරුන් වූ කීර්ති ශ්‍රී රාජසිංහ, විජය ශ්‍රී රාජසිංහ සහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජවරුන් මේ මදුරෙයි වල නායක්කර් වංශයට අයත් අයවලුන් වුනා. අද වනවිටත් මදුරෙයි වල මීනාක්ශි දෙවොල් කිහිපයක්ම පැරණි ආකාරයෙන්ම ආරක්ෂා වෙලා තියෙනවා. ඉන්දියානු ගමනකදි දකුණු ඉන්දියාව පැත්තට යන්න ටිකක් වෙලාව ඉතුරු කරගත්තොත් මේ මදුරෙයි වල මීනාක්ශි දෙවොල් සංකීර්ණ දැකබලාගන්න ඔයාලටත් පුළුවන්.
දඹදිව වන්දනා ගමනකදී අපි බුදුන් වහන්සේගේ පහස ලැබුනු ඉපැරණි සිද්ධස්ථාන වැඳපුදා ගන්නවා. ඒ වගේම ඉන්දියාව කියන්නේ ශතවර්ෂ ගණනාවක් පුරා ශිෂ්ටාචාර බිහිවුනු විශාල දේශයක්. ඉතින් කුඩා කණ්ඩායමක් යනවා නම්, එහෙමත් නැතිනම් අපි දෙතුන් දෙනෙක්ම එකතු වෙලා සැලසුම් කරගෙන දඹදිව යනවා නම් බෞද්ධ සිද්ධස්ථාන වගේම වටිනා කියන ඓතිහාසික ස්ථානයක් දෙකකුත් ගමනට එකතු කරගන්න පුළුවන්. ඒ හරහා අපේ දැනුම වැඩිදියුණු වෙනවා. ඒ වගේම අපිට ආසන්න ඉන්දියාවේ ඉතිහාසය ගැනත් අපිට අවබෝධයක් ලැබෙනවා.
Leave a Reply