ඉන්ඩක්ෂන් කුකර් (Induction Cooker) භාවිතයේ වාසි සහ අවාසි ගැන දැනගනිමු!

බලශක්තිය කියන්නේ අපිට වියදම් කරන්නට වෙන දෙයක්. ගෑස් එන්න එන්නම මිල අධික වෙනවා. ඒ වගේම අපිට විදුලිය සඳහා ගෙවන්න වෙන මිලත් වැඩියි. ඒ එක්ක අපි ඉවුම් පිහුම් වලටත් වඩාත් කාර්යක්ෂම ක්‍රම සොයාගත යුතු වෙනවා. බඳුන් වලට තාපය දෙන උඳුන් අතුරින් ඉන්ඩක්ෂන් කුකර් එක වඩාත් කාර්යක්ෂම උඳුනක් විදිහට දැක්වෙනවා. මේ තොරතුරු ඒ ගැනයි. 

 

1. මේකෙන් උයද්දි මොකද වෙන්නේ? 

සාමාන්‍යයෙන් සිද්ද වෙන්නේ අපි හට්ටියක් ලිපේ තිබ්බාම ගින්දර වල තියෙන තාපය හට්ටියට ගිහින් හට්ටිය ඇතුළේ තියෙන අපේ කෑම රත් වෙන එක. ඒත් ඉන්ඩක්ෂන් එකේදි සිදුවෙන දේ වෙනස්. ඒකෙදි අපි බඳුන තියෙන තැටිය රත් වෙන්නේ නැහැ. රත් වෙන්නේ බඳුනේ පතුල. මේකෙදි චුම්භක ක්ෂේත්‍ර හරහා කෙළින්ම බඳුන සහ ඒක ඇතුළේ තියෙන දේ රත් වෙනවා. මේක සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් වගේම ආරක්ෂිත බවෙනුත් වැඩියි.

 

2. විශේෂිත බඳුන් 

මේ උඳුනේ වැඩි කාර්යක්ෂමතාවයක් ගන්න නම් පතුල චීනච්චට්ටි හෝ යකඩින් හැදූ බඳුන් අවශ්‍ය වෙනවා. ඒ වගේම පතුලේ යම් ඝනකමකුත් තියෙන්න වෙනවා. දැනට පාවිච්චි කරන ඇලුමිනියම් සැහැල්ලු බඳුන් අපිට ඉන්ඩක්ෂන් කුකර් එකට කෙළින්ම පාවිච්චි කරන්නට බැහැ. එක් අතකින් මෙය අවාසියක්. වෙනත් තාප උඳුන් වලදි බඳුන් මාරු කරන්න ලොකු උවමනාවක් නැහැ. ඒත් මේකෙදි වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගන්න නම් මේ කුකර් එකට අදාළ බඳුන්වලට යොමුවීම කළ යුතුයි.

 

3. ඉන්ඩක්ෂන් කුකර් එකේ වාසි

ඉන්ඩක්ෂන් කුකර් එකක තිබෙන මූලික වාසියක් තමයි එහි වේගවත් බව. සාමාන්‍යයෙන් වතුර කෝප්ප දෙකක් නටන්නට සාමාන්‍ය ගෑස් උඳුනකට විනාඩි හතරක් විතර යනවා. ඒත් හොඳ වොට් අගයක ඉන්ඩක්ෂන් කුකරයකදි විනාඩි දෙකකින් වතුර නටවාගන්න පුළුවන්. ඒ වගේම විදුලිය යොදාගෙන උයන නවීන විදුලි උඳුන් වලටත් වඩා ඉන්ඩක්ෂන් කුකර් එක කාර්යක්ෂමතාවය අතින් වැඩියි. මේ උඳුනේ සර්ෆේස් එක හරහා බඳුන තිබෙන වෙලාවට එයට තාපය කෙළින්ම සන්නයනය හරහා යනවා පමණයි. ඒ කියන්නේ බඳුනක් නැත්නම් මෙහි සර්ෆේස් එක රත් වෙන්නේ නැහැ. එය මෙහි වාසියක්.

 

 

4. අවාසි

මූලික වශයෙන් ලාංකික අපිට නම් විදුලිය මිල අධික දෙයක්. විදුලි බිල ඒකක කිහිපයකින් හරි වැඩි වීම මෙහි තියෙන අවාසියක්. සූර්යබල ක්‍රමය වැනි ක්‍රමයකට විදුලිය අමතරව නිපදවා ගන්න පුළුවන් නම් උයන පිහන වැඩට මෙය හොඳ කාර්යක්ෂම දෙයක්. ඒ වගේම මානසික අතින් ගත්තාම දැල්ලකින් උයනවා වගේ හැඟීමක් මෙහිදී ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ඇතැම් කෑම වර්ග පිසීමේදී දැල්ලෙන් පිසිනවා වැනි තත්ත්වයක් ඉන්ඩක්ෂන් එකක එන්නේ නැති බවක් තමයි කියවෙන්නේ.

 

 

5. භාවිතා කරන රටවල්

ඉන්ඩක්ෂන් කුකර් විදුලිබලය ඉතිරි කළත් එය වඩාත් ජනප්‍රිය ආසියානු කළාපයේ චීනය ජපානය, කොරියාව, සිංගප්පූරුව වගේ රටවල් කාණ්ඩයක පමණයි. ඇමරිකානු ජනතාවට මිලදී ගන්නට ඉන්ඩක්ෂන් කුකර් තිබුණත් ඔවුන් ඔවුන්ගේ සාම්ප්‍රදායික ක්‍රම හැරදා ඉන්ඩක්ෂන් කුකර් එකට යොමුවෙන්නට ලොකු පෙළඹවීමක් නැහැ. අනෙක් අතට ගත්තම ආසියානු රටවල තිබෙන සහල්, නූඩ්ල්ස්, සුප් වැනි කුඩා ආහාර වර්ග ඉන්ඩක්ෂන් කුකර් හරහා පිසගැනීමට පහසුයි. ඒත් ඇමරිකානුවන්ගේ ග්‍රිල්, බාබකිව් පිළිස්සීම් වැනි දේවල් මේ තාක්ෂණයෙන් කරන්න අමාරුයි.

 

 

6. ලංකාවේ තිබෙන කුකර්

රුපියල් 5,000 සිට 25,000ක් දක්වා වන පරාසයකට ලංකාවේ ඉන්ඩක්ෂන් කුකර් තිබෙනවා. මෙයින් මිල අඩු කුකර් වල ඇති දඟර සහ අභ්‍යන්තර විදුලි උපාංග ඉක්මනින්ම දැවී යන බවට චෝදනාවක් තිබෙනවා. මේ වගේ කුකර් එකක් මිලදී ගන්නවා නම් එය වගකීම් කාල සීමාව ඇතුළත වැඩිපුර පාවිච්චි කරන්නට ඕනි. මොකද වගකීම් කාලයෙන් එපිට මෙය දැවී ගියහොත් එය අලුත්වැඩියා කරගන්නට අමාරුයි. කුකර් මිලදී ගැනිමේදි සිංගල් ටොප් ඒ කිව්වේ එක බඳුනක් තියන්න පුළුවන් ඒවා වගේම බඳුන් කීපයක් එකවර තියන්න පුළුවන් උඳුනුත් තියෙනවා.

 

 

7. තවත් කරුණු

ඉන්ඩක්ෂන් කුකර් එකක වැඩි උෂ්ණත්වයකින් උයද්දි පොඩි නොයිස් එකක් එනවා හම් එකක් විදිහට. ඒ විදිහට බස් එකක් එන එක සාමාන්‍ය දෙයක්. නවීන කුකර් වල නම් දැන් ඒ තත්ත්වය අඩුයි. ඉන්ඩක්ෂන් එකේදි අඩුමිලට තිබෙන එකක වුණත් අපි පිසගන්න සුප්, එළවළු ආදී එක එක දේට එක එක සෙටිංග්ස් තියෙනවා. ඒ සෙටිංග්ස් වලදි ඉන්ඩක්ෂන් කුකර් එක අපිට අවශ්‍ය ආකාරයට උෂ්ණත්වය සකසා දෙනවා.

 

ගෑස් එකක සිට වෙනත් කුකර් එකකට යනවා නම් අපිට ඒකට යම් හුරුවීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කෑම වල රස සහ උයන විදිහත් අපිට ඉන්ඩක්ෂන් එකේදි වෙනස් කරගන්නට සිද්ද වේවි. ඒත් බලශක්තිය ගැන ගොඩක් කතාවෙන මේ කාලෙදි ඉන්ඩක්ෂන් එකක් පාවිච්චියට හුරු වෙන එක හැම අතින්ම හොඳ විසඳුමක් වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *