සාමාන්‍යයෙන් ඔය රටේ දේශපාලකයොන්ගේ ඡන්ද රැස්වීමක් එහෙම අහගෙන හිටියොත්, ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ අපිට සිය පාරකට වඩා ඇහෙයි. එතකොට දේශපාලනය ගැන විවේචන සහ විචාර ලබාදෙන අයට ඇහුම්කන් දුන්නොත්, ඒත් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ දෙසිය පාරක් විතර ඇහෙයි. ඕක ඇත්තටම ලංකාවට විතරක් පොදු දෙයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ ලෝකේ හැමතැනකම, හැම රටකම – ඒ කියන්නේ ඒකාධිපතියෝ සහ ප්‍රජා පීඩකයෝ ඉන්න රටක පවා හොරෙන් හොරෙන් හරි ඇහෙන වචනයක්. විශේෂයෙන්ම මේ දවස් වල ලංකාවේ අපිට ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇහෙනවා සෑහෙන්න. හැබැයි ඇත්තටම ඔය ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ ගිරව් වගේ කිව්වට, ප්‍රජාතන්ත්‍රවාදේ රටක තියෙන්න ඕන කියලා අපි කෑ ගැහුවට, ඇත්තටම අපි දන්නවද මොකද්ද ඔය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා?
ඒක නොදන්නවා නම්, මේ කාරණා ටික කියවලා එන්න. ඊට පස්සේ අපි ආයෙ කතා කරමු ඒ ගැන!
1. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද?
ප්‍රජාතන්ත්‍රවාදය නැතිනම් ඉංග්‍රීසියෙන් DEMOCRACY. මෙතන ප්‍රජාව කියන්නේ ජනතාව. තන්ත්‍ර ක්‍රමය කියන්නේ පාලන ක්‍රමය කියන්න පුලුවන්. එතකොට සරලවම කිව්වොත්, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාව විසින් ජනතාව පාලනය කර ගැනීම කියන එක. වෙනත් විදියකට කිව්වොත් ජනතාව විසින් අනුමත කරගෙන පවත්වා ගෙන යන පාලන ක්‍රමයක් කියලා කියන්නත් පුලුවන්. ඒ කියන්නේ තවදුරටත් රජවරු හරි, රදළයෝ හරි, ප්‍රාදේශීය නායකයෝ හරි ජනතාව පාලනය කරන්නෙ නෑ. ජනතාව පාලනය කරන්නේ ජනතාව විසින්මයි. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ ඉන්න මිලියන විසිදෙකක ජනතාව කොහොමද ඒ මිලියන විසිදෙක එකිනෙකා හරහා පාලනය කරගන්නේ? ඒ කියන්නේ ඒ මිලියන ගණන් ජනතාව කොහොමද ප්‍රායෝගිකව රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්නේ? ආන්න ඒක තමයි අපි ඊළඟ කාරණාවෙන් කියන්නේ.
2. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය
දැන් අපි උඩිනුත් කිව්වනේ රටේ ඉන්න ඔක්කොම ජනතාවට රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්නෙ බැහැයි කියලා ප්‍රායෝගිකව. එහෙමනම්, ඒ ජනතාවට වක්‍රාකාරයෙන් රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයෙන් කියන්නේ. ආන්න ඒකට මේ ජනතාව විසින් ජනතාව පාලනය කරනවා කියන සංකල්පය පරිණාමය වෙලා තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ඇවිත් තියෙන්නේ. මේකෙන් කියන්නේ, යම් කිසි කාල ප්‍රාන්තරයන් තුළ රටක ජනතාව නියෝජනය කරන්න සුදුසු කවුද කියන එක තෝරාගන්න ඡන්දයන්, එහෙම නැතිනම් මැතිවරණයන් පැවැත්වීමත්, ඒ මැතිවරණයන් ඔස්සේ ජනතාව වැඩිම ප්‍රමාණයක් කැමති ජනතා නියෝජිතයන්ව වැඩිම ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමත් තමයි. එතකොට, තාක්ෂණිකව ගත්තහම ජනතාව විසින් තමන්ව පාලනය සඳහා හොඳයි කියලා හිතන නියෝජිත පිරිසක් තෝරලා, ඒ අයව යම් කිසි කාලයක් දක්වා පාලන කටයුතු ගෙනියන්න පත් කරනවා. එතකොට ඒ කාලෙදී ඒ නියෝජිතයෝ හරියට වැඩේ කළේ නැති නම්, ඊළඟට එන මැතිරවණයේදී ඒ නියෝජිතයින්ව පන්නලා දාලා අලුත් ජනතා නියෝජිත පිරිසක් පත් කරගන්නත් චාන්ස් එකක් මහජනතාවට ලැබෙනවා. දැන් පැහැදිලියිනේ කොහොමද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්නේ කියලා?
3. වැඩි පිරිසක් කැමති නියෝජිතයෝ පත් කරගන්න එක හරිද?
අපි උඩින් තර්කයේ පහසුවට එහෙම කිව්වට, ඇත්තටම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඊට වඩා සංකීර්ණයි. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු එක රටක ඉන්නවා ජන වර්ග දෙකක්. ඒකෙන් වැඩියෙන් ඉන්නේ ‘බයිටු’ කියන ජනවර්ගය කියලා කියමු. ඒ අය සමස්ත ජනගහණයෙන් 69% ක් කියමු. එතකොට අනික් ජන වර්ගේ ඇවිල්ලා ‘ටොයිටු’, එයාලා එතකොට ඉන්නේ ඉතුරු 31%. දැන් ඡන්දෙට ඉල්ලන්න දෙන්නෙක් ඉදිරිපත් වෙනවා. එක්කෙනෙක් බයිටුලාගෙන්, අනික් එක්කෙනා ටොයිටුලාගෙන්. දැන් එතකොට වැඩි ඡන්ද ලැබෙන්න ගොඩක් දුරට ඉඩකඩ තියෙන්නේ කාටද? වැඩි ඡන්ද නියෝජනයක් තියෙන බයිටු අපේක්ෂකයට. හා නැද්ද? හරි. එතකොට, ඒ වැඩි පිරිස කැමති වුණු නියෝජිතයාද පාලකයා වෙන්න ඕන? ඒක සාධාරණද? ආන්න ඒ නිසා තමයි කියන්නේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනේකට සහභාගීත්වය සහ නියෝජනය අවශ්‍යයි කියලා. මැතිවරණය යහපත් සහ සාධාරණ වෙන්න ඕනෑ, බහු පක්ෂ සහ සංවිධානය වීමේ නිදහස එහෙම තියෙන්නත් ඕනෑ, සර්වජන ඡන්ද බලයත් තියෙන්න ඕනෑ. ඔය හැමදෙයක් එක්කම, හැම ප්‍රජාවක්ම, හැම ජනතා කොට්ඨාසයක්ම නියෝජනය වෙන විදියේ ක්‍රමවේදයක් තියෙන්නත් ඕනෑ. එතකොට, මේ මහජන නියෝජිත පිරිස තමන්ට ඡන්දය දීපු නොදීපු හැම දෙනෙක්ගේම යහපත වෙනුවෙන් වැඩ කරන්නත් ඕනෑ!
4. එතකොට ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙන්නෙ කොහොමද?
දැන් එහෙම උඩ කියපු විදියට රටක හැම දෙනෙක්ගේම, හැම පුරවැසියෙක්ගේම යහපත වෙනුවෙන් වැඩ නොකරන ජනතා නියෝජිතයිනිගෙන් සැදුණු පාලන තත්‍රයක් ඇත්තටම ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා හඳුනගන්න පුලුවන්. වෙන විදියකට කියනවා නම්, පාලනයට සහභාගී වෙන්න සුදුසුයි කියලා වැඩි ඡන්දයෙන් තෝරගන්න යම් මහජන නියෝජිතයෙක් ඊට පස්සේ අර තමන්ට ඡන්දේ දීපු අයට විතරක් වාසි සලසන්න වැඩ කරනවා නම්, තමන්ට ඡන්දය නොදීපු කොටස කොන් කරන්න, ඒ කොටසේ අයිතිවාසිකම් අහිමි කරන්න, ඒ අයට පීඩා කරන්න කටයුතු කරනවා නම්, ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. ඒ ක්‍රමය බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදය කියලා පෙනුනට ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. දූෂිත ක්‍රමය. ආන්න ඒක අපි මහජනතාව විදියට, පුරවැසියන් විදියට ඔළුවේ තියාගෙන ඉන්න ඕන.
5. ඡන්දේ
අපි දැන් උඩිනුත් කිව්වනේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ෂණය වෙන්නේ මහජනතාව විසින් පාලනය ගෙනියන්න තමන් අතරින් නියෝජිතයෝ පිරිසක් යම් කිසි නිශ්චිත කාලයක් සඳහා තෝරගන්න එක කියලා. එහෙම තෝරගන්න භාවිතා වෙන්නේ ඡන්දය. ඒ ඡන්දය ප්‍රකාශ කරන ක්‍රමවේදයට තමයි මැතිවරණ කියන්නේ. එතකොට, මේ ඡන්දය කියන එක රටකට ඉතාම වැදගත්. ඒක පුරවැසියන් සතු බලවත්ම අවිය කියලා කිව්වත් හරි. ඉස්සර හැමෝටම ඡන්දෙ දාන්න බෑ. උදාහරණයක් විදියට, එක කාලයක් තිබුණා කාන්තාවන් පුරවැසියන් කියලා නොසැලකුණු. ඒ නිසා ඒ අයට ඡන්ද අයිතිය තිබුණෙ නෑ. ශ්‍රී ලංකාවට වුණත් සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 අවුරුද්දේ ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව තමයි. සර්වජන ඡන්ද බලය කියන්නේ රටක සුදුසුකම් සැපිරූ සියලු පුරවැසියන්ට, ජාතිය, ආගම, භාෂාව, වර්ගය, කුලය, අධ්‍යාපනය, දේපළ හිමිකම, උපත, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය ආදී කිසිඳු වෙනස්කමකින් තොරව පාලන බලයට හවුල්වීමේ අයිතිය හා/හෝ තමන්ගේ නියෝජිතයින් පත්කර ගැනීමට ඇති අයිතිය කියන්න පුලුවන්.
6. සර්වජන ඡන්ද බලයේ වටිනාකම
සාමාන්‍යයෙන් රාජාණ්ඩුවක නම් තීරණ ගන්නේ, අවසන් තීරණය දෙන්නේ රජා හෝ රැජිණ. ප්‍රාදේශීය නායකවරුන්, රදළ නායකයින් ඉන්න සිස්ටම් එකක වුණත් ඒ ඒ අය තමයි තීරණ ගන්නේ. හැබැයි තාක්ෂණිකව ගත්තහම, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තියෙන ජනරජයක තීරණ ගන්නේ ජනතා නියෝජිතයෝ, එතකොට ඒ අය මහජනතාවගේ යහපත වෙනුවෙන් මේ මේ තීරණ ගන්න ලැහැස්තියි කියලා ඡන්දෙකට කලින් කියනවනේ. ආන්න ඒ විදියට ඒ අය තමන් කරනවා කියන ප්‍රතිපත්ති තීරණ වලට අනුව ජනතා නියෝජිතයින්ව පත් කරන්නේ මහජනතාව. එතකොට, හරියටම ගත්තහම ජනරජයේ තීරණ ගැනෙන පරමාධිපත්‍ය බලය තියෙන්නේ මහජනතාව අතේ. ආන්න ඒක තමයි සර්වජන ඡන්ද බලයේ තියෙන වටිනාකම. මෙතනදී කියන්නේ ආණ්ඩු කරන්නන් රටේ භාරකරුවන් වන අතර, රටක අයිතිකරුවන් වන්නේ මහජනතාව කියන එකයි. එතකොට මහජනතාවගේ අදහස්වලට, කැමැත්තට විරුද්ධව ක්‍රියා කිරීමට ආණ්ඩුවලට හැකියාවක් නැති වෙනවා වගේම, එහෙම කරන වෙලාවකදී ඒ ආණ්ඩුව ඉවත් කිරීමේ බලය, සර්වජන ඡන්දය මගින් ජනතාව සතුවෙනවා.
7. නිදහස් සහ සාධාරණ ඡන්දයක්
මැතිවරණයකින් උඩ කියපු විදියට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා, හරියටම මුළු රටේම යහපත වෙනුවෙන් වැඩ කරන ජනතා නියෝජිතයින් පිරිසක්, රටේ හැම ජනතා කණ්ඩායමක්ම නියෝජනය වෙන විදියට, රටේ වැඩි දෙනෙක්ගේ කැමැත්ත උඩ පාලනයට පත් වෙන්න නම්, නිදහස් සහ සාධාරණ විදියට රටේ ජනතාවගේ ඡන්දය ප්‍රකාශ වෙන, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වෙන්න ඕන කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ආන්න එතනදී ඡන්දයේ රහස්‍ය බව ආරක්ෂා වීම, පුද්ගල ඡන්දයවෙනත් විවිධ ක්‍රම මගින් වෙනස් වීමට හෝ විකෘති වීමට ඉඩ නො තැබීම, දේශපාලන පක්ෂ වල පැවැත්ම, මාධ්‍ය නිදහස, සියලු දෙනාට සමාන ඉඩ ප්‍රස්ථා පැවතීම හා වෙනස්කම්වලට භාජනය නොවීම හා නීතියේ ආධිපත්‍යය, හා ස්වාධීන අධිකරණ ක්‍රියාවලිය කියන හැම දෙයක්ම හරි විදියට තියෙන්න ඕන. ඔය හැම දේම එහෙම නිදහස් සහ සාධාරණ විදියට පැවතුණොත්, ජනතාවත් ඇත්තටම බුද්ධිමත් සහ හොඳ තීරකයන් වුණොත්, රටේ සමස්ත යහපත වෙනුවෙන් වැඩ කරන මහජන නියෝජිත පිරිසක් පාලනයට එනවා. ආන්න එතකොට රටටත්, ජනතාවටත් ගොඩ යන්න පුලුවන් වෙනවා!
දැන් පැහැදිලියිනේ මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා. මේ කාරණා ටික කියවනකොට ඕනම කෙනෙක්ට තේරුම් යන්න ඕන ඇයි ප්‍රජාතන්ත්‍රවාදය රටකට වැදගත් වෙන්නේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදය රටකට ඇත්තටම අවශ්‍යද, එහෙම නැතිනම් රටකට අවශ්‍ය වෙන්නේ වෙන මොකක් හරි වාදයක් ද කියන එක වෙනම කාරණයක්. හැබැයි ඒක තීරණය කරන්නත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැනගෙන ඉන්න එක වටිනවා!
Leave a Reply