නිමාවක් නැති ඕස්ට්‍රේලියානු ලැව් ගිනි

මේ ලැව් ගිනි නිසා වර්ග කිලෝමීටර පනස්දාහක් දැවිලා අළු වෙලා ගිහින්. ආසන්නව ලංකාවෙන් හතරෙන් තුන් පංගුවක් විතර විසාල භූමියක් මේ ලැව් ගිනි නිසා විනාස වෙලා තියෙනවා. මේ ලැව් ගිනි නිසා අඩුතරමින් මිනිස්සු 24ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ නිසා මියපරලොව ගිය උරගයින්, පක්ෂීන්, ක්ෂීරපායින්, මාළුන් ප්‍රමාණය බිලියන බාගෙකට එනම් දශ ලක්ෂ පන්සීයක් තරම් විසාල අගයක් වෙනවා කියලා විද්වතුන් විශ්වාස කරනවා. මිනිස්සුන්ට අනතුරු කලින් හඳුනාගෙන ඉවත් වෙන්න හැකි වුනත් වටේම තැන් තැන්වලින් ගිනි ඇවිලෙද්දි ඒ ගිනි වලට මැදිවුන සතුන්ට යන්න කියලා තැනක් තිබුනේ නැහැ.

 

1. සතුන්ගේ තත්ත්වය

මේ සත්තු අතර ඔසී රටේ සුලභ කැන්ගරු සතුන්ගේ ඉඳලා කෝලා වලසුන්, හාවුන්, කෘමීන් වගේ විශාල පරාසයක සතුන් ඉන්නවා. මේ සතුන්ගෙන් ඇතැමෙක් ඉතිරි වුනත් නැවත මේ පළාත් සජීවි තත්ත්වයට එන්න තව සෑහෙන කාලයක් යනවා. ඉතුරු වෙලා ඉන්න කැන්ගරු හාවෝ මුවෝ වගේ සතුන්ට වුනත් දැවී අළු වෙලා ගියපු භූමි වල කන්න දෙයක් නැහැ. බොන්න වතුර පොදක් පේන තෙක් මානෙක නැහැ. ඒ නිසා ගින්නෙන් යම් ආශ්චර්යයකින් දිවි ගැලවුනත් ඒ සතුන්ගේ ජීවිත තණ අග පිණි බිඳු  වගෛ් අවදානම් තත්ත්වයකට ඇවිල්ලයි තියෙන්නේ. මේ අතර ලෝකෙන්ම මේ නිව් සවුත් වේල්ස් පැත්තේ විතරක් ඉන්න දුඹුරු ගස් නරියා grey-headed flying fox වැනි සතුනුත් මේ ගිනි නිසා හදිසියේ මිය ගියා. බිං ඌරන්, ඌරු මීයන් වැනි සතුන් ගුල් හාරාගෙන මේ ගිනි උවදුරෙන් ගැලවෙන්න ස්වභාවිකවම උත්සාහ ගන්නවා කියලත් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා.

 

2. නියංසාය

ඔසී රට දරුණු නියං තත්ත්වයක ඉන්නේ. දැනටත් සිඩ්නි, මෙල්බර්න්, කැන්බරා වගේ ප්‍රධාන නගර වල ජනතාවට රිසිසේ වතුර පාවිච්චි කරන්න බැහැ. ඔවුන්ට පූල් පුරවගන්න, වාහන හෝදන්න වගේම ගෙදර හිටවගෙන තියෙන මල් පැල ටිකට වතුර දාන එකටත් සීමා ඇවිල්ලා තියෙන්නේ. වසර දෙකක ඉදලා නිව් සවුත් වේල්ස් ඇතුළු ඔසී රටේ විසාල පදාසයක් මේ නියඟයෙන් බැට කනවා. මිනිසුන් නම් ජලාශවල සංචිත කරගත් ජලය අරිපිරිමැස්මෙන් පාවිච්චි කරනවා. ඒත් කැලෑබද පැතිවල සතුන් ඒ දැඩි නියං තත්ත්වයන් නිසා ගොඩක් දුක තත්ත්වයට පත් වුනා.

 

3. ආධාර ලැබීම

අපේ රට වගේ දුප්පත් රටක් නොවුනත් නිව් සවුත් වේල්සයට මේ ලැව් ගිනි විපතට උදව් කරන්න ලොව දස දෙසින් ආධාර උපකාර ලැබුනා. ජනවාරි 3 වෙනිදායින් පටන් ගත්තාම ආපු පළවෙනි 48 පැය ඇතුළේ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක තරම් විශාල මුදලක් පරිත්‍යාග වශයෙන් ලැබිලා තිබුනා. මේ අතර ලොව පතල ඔස්කාර් සම්මාන ලාභී නිකොලේ කිඩ්මන් ඩොලර් 50,000කින් ආධාර කරලා තිබුනා. ඒ වගේම ප්‍රවීණ ටෙනිස් ක්‍රීඩිකා මාරියා ෂරපෝවා ඩොලර් 17,500කින් මේ ගිනි ආධාර වලට දායක වෙලා තිබුනා. ජනවාරි 5 වෙනිදා වෙද්දිත් ගින්න ස්ථාන 200කින් ඇවිලෙනවා. මේ සිද්ධියෙන් හානි වෙච්චි ගෙවල් ගාණ 1200කට වැඩියි. ඒ ගෙවල් වල උදවිය කරපු ගොවිතැන් බත්, එයාලගේ හරක බාන වතුපිටි ආදායම් මාර්ගත් ඔක්කෝම ගින්නට අහුවෙලා ඉවරයි.

 

4. මිනිස්සුන්ගේ ජීවිතය

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා කියන ප්‍රාන්තවල ගිනි වැඩි පළාත් වලට විදුලිය නැතිවෙලා. ඒ නිසා විපතට පත් වෙලා ඉන්න අයටත් ලොකු කරදර වලට මුහුණ දෙන්න සිද්ද වෙලා. වැසි වැටෙනවා කියා අනාවැකි තිබුනත් ඒ වැසි වුනත් මේ මහා ව්‍යසනය නවත්වන්න තරම් ප්‍රබල ඒවා වුනේ නැහැ. සමහර වෙරළබඩ නගර වල මිනිස්සු විශාල නැව් බෝට්ටු වලිනුත් සහන කඳවුරු වලට අරං ගියා. ඒ හැර මේ ගිනිගන්නා පළාත්වල පාරවල ලොකු වාහන තදබදයකුත් ඇතිවෙල තියෙනවා. ලංකාවට වඩා දියුණු විදිහට විපත් සන්නිවේදන කටයුතු තියෙන ඔසී රටේ නිරන්තයෙන් ඒ යාබද ගිනි පැතිරෙන විදිය අනුව ආපදාව ගැන මහජනතාව දැනුවත් කරනවා. ඒ කොච්චර දැනුවත් කරත් සමහර මිනිස්සු තමුන් උපන්දා ඉඳලා ඉන්න හදාගත් පැල දාල යන්නේ කැමැත්තෙන් නෙමෙයි. හැගීම් සීරෝ වුනු මලානික මූණු වලින් යුතු ජනයා තාවකාලික කඳවුරු කරා යන දර්ශනය හරිම හැඟුම්බර එකක්.

 

5. සුළඟින් වෙන හානි

මේ ගින්න පැතිරෙන්න ලොකු හේතුවක් වුනා සුළඟ. ගින්නෙන් දැවෙමින් නිකුත් වෙන අලු සහ දුමාරය නිසා සමහර ඔසී පළාත්වල අහස දුමෙන් වැහිලා ගිහින් තියෙනවා. ඒ දුම නිසා ලෝකෙම පරිසරයට වෙන්නෙ මහ විසාල හානියක්. එයිට අමතරව මේ දුමාරය සහ අළු ගිනි නිවන භටයන්ටත් ලොකු බලපෑමක් කරනවා. ගින්න තියෙන තැනට කිලෝමීටර ගාණක් එහා ඉඳලා පැතිරිලා තියෙන මේ අළු සහ දුමාරය සුළං තත්ත්වයත් එක්ක වැඩි වෙනවා. ඔස්ට්‍රේලියා රටේ මේ ගිනි නිසා හටගත් දුමාරය යාබද පළාත්වලත් පැතිරිලා. ඒ වගේම නවසීලන්තයේ සමහර පළාත්වලත් වායුගෝලය දුමින් දූවිලි වලින් පිරිලා මේ ඔසී ලැව් ගිනි නිසා. ආධාර සහන සහ ගිනි නිවීමේ කටයුතු වලට යාබද පැපුවා නිව්ගිනියා රට සහ නවසීලන්තය උදව් කරනවා. සිංගප්පූරු රටෙනුත් සහන සේවක හමුදාවන් ඔසී රටට වලා තිබුනා.

 

6. නගර වලටත් බලපෑම්

මේ ගිනි විපත නිසා ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නුවරට ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයක් වෙන සෙල්සියස් අංශක 44ක උෂ්ණත්වයට මුහුණ දෙන්න වුනා. ඒකත් තව වැඩිවෙන්න හැකියි කියලත් කාලගුණ අංශ කියනවා. කැන්බරා වල තියෙන දුමාරය නිසා ගුවන් ගමන් ඇනහිටුවන්නත් තැපැල් සේවා නවත්වන්නත් සිද්ද වුනා. වාතයෙ ඇති අඩු ජලවාෂ්ප ප්‍රමාණය, දැඩි සුළඟ, වර්ශාව නැතිවීම එක්ක ගිනි වල පැතිරීම තවත් වැඩිවුනා. හොලිකොප්ටර් සහ ගුවනින් ජලය ඉසීම් සිද්ද වුනත් ගින්නේ තියෙන විශාල පැතිරීම එක්ක ගින්න සම්පූර්ණයෙන් පාලනය කරන්න ඒ ක්‍රමවේද අසමත් වෙලා.

 

7. සංචාරක සහ ව්‍යාපාරික කටයුතු

ලැව් ගිනි තත්ත්වය නිසා ලොකේ ගොඩක් රටවල් ඔස්ට්‍රේලියාවට යන්න එපා කියලා තමුන්ගේ පුරවැසියන්ට දැනුම් දීල තියෙනවා. මේ ගිනි තත්ත්වය නිසා ඔස්ට්‍රේලියාවේ මනරම් කැන්ගරු දිවයිනේ හෝටල සහ සංචාරක ස්ථාන ගොඩක් විනාස වෙලා ගිහිල්ලා. ඔස්ට්‍රේලියාවේ වගා බිම්, වනෝද්‍යාන, මංමාවත්, නිවාස, ගොඩනැගිලි විනාශ කරමින් පැතිරෙන මේ ලැව් ගිනි විටෙක අපේ උසම පොල්ගහක උසටත් වඩා මීටර හතලිහ පනහ තරම් උසට නගිනවා. වාණිජ කටයුතු ආදියත් ගුවන් ගමන් අපහසුතා, තැපැල් බඩු භාණ්ඩ ප්‍රවාහන අපහසුතා නිසා අවහිර වෙලා තියෙනවා. ආධාර ලෙස යම් සුලු මුදලක් ලැබුනත් ඔසී රටේ නිව් සවුත්වේල්ස් වික්ටෝරියා පළාත්වලට ගිනි වලින් වුණු විශාල හානි යථා තත්ත්වයට පත් වෙන්න නම් කලක් ගතවේවි.

 

දියුණු රටක් වුනත් මේ වගේ විශාල ගිනි අනතුරු නිසා යම් පසුබෑමකට ලක් වෙනවා. ඒ වගේම ඔසී රටේ දේශපාලකයින්ටත් මේ ගැන ගැන නිසි ලෙස ක්‍රියා කළේ නැහැය කියලා චෝදනා මහජනතාවගෙන් එල්ල වෙලා තියෙනවා. ක්‍රිකට් ලෝකෙදි අපේ සතුරු රටක් වුනත්, අපේ රටේ උදවියට බෝට්ටුවෙන් එන්න එපාය කියලා නිතර දැන්වීම් දැම්මත් ඔස්ට්‍රේලියා කියන්නේ අපේ ලංකාවේ උදවියත් ගිහින් පදිංචි වෙලා ඉන්න සුන්දර රටක්. ඉතින් අනෝරා වැසි පතිත වෙලා මේ වියළි ඔසී බිම දවාලන ලැව් ගිනි ඉක්මන්ටම නවතින්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *