ලස්සන අයව ගැස්සෙන කරදර

ලස්සන කෙනෙක් දැක්කාම අපිට හිතෙනවා “හනේ අපිටත් එහෙම වෙන්න තිබුණ නම්” කියලා. ඒත් ලස්සන අයටත් හැම තිස්සේම තමුන්ගේ ලස්සන ගැන ආඩම්බර වෙන්න ලැබෙන්නෙ නැහැ. ඔවුන්ටත් ඔවුන්ගෙ ලස්සන නිසා විවිධ කරදර වලට මුහුණ දෙන්නට වෙනවා. ඉතින් අපි ඒ වගේ අවස්ථා කිහිපයක් ගැන බලමු.

1. සමාන ලිංගික අයගෙන් ඉරිසියාවට ලක් වීම

රැකියාවක් ලබාගැනීම සහ වෙනත් අවස්ථාවන් වලදී සමාන ලිංගික කොටස් වලින් ඉරිසියාවක්, කැපිල්ලක් ලස්සන අයට එල්ල වෙනවා. පිරිමි අය කියන විදිහට ඒක ලස්සන ගැහැනු අයට වැඩිපුර එන ප්‍රශ්නයක්. ඒත් හොඳ කඩවසම් පිරිමි කෙනෙක් වුණත් ඔෆිස් එකක, වැඩකරන තැනක ඉදිරියට එද්දි ඔහුට රූපය නිසා මුහුණදෙන්නට වෙන වෙනත් ඉරිසියාත්මක දේවල් ප්‍රමාණය වැඩි වෙනවා. රැකියාවකට ඉල්ලුම් කළත් තමුන්ට වඩා ලස්සන කෙනෙක් නව තනතුරකට බඳවා ගන්නට කාන්තාවන් ටිකක් අදිමදි කරන බව සොයාගෙන තියෙනවා.

2. වැරදි සොයන්නන්ට නිතර මුහුණ දීම

එකම වැරැද්ද ආකර්ෂණීය අයෙක් කළොත් ලැබෙන අවධානය සහ වෙනත් අයෙක් කළොත් ලැබෙන අවධානය වෙනස්. ඒ නිසා නිතරම තමුන් ගැන සැළකිල්ලෙන්, කරන වැඩ ගැන වැඩි අවධානයකින් සිටින්නට ආකර්ෂණීය පුද්ගලයින්ට සිදු වෙනවා. කුමන හෝ කරුණක් නිසා ආකර්ෂණීය වූ පළියට සෑම දෙයකටම දක්ෂයෙක් වෙන්නේ නැහැ. ඒත් සමාජය සාමාන්‍යයෙන් ආකර්ෂණීය පුද්ගලයින් එලෙස සෑම දේම නිවැරදිව සිදුකළ යුතු අය ලෙස වරදවා වටහා ගන්නවා. එය ඔවුන්ට බාධාවක් .

3. පැපරාසි කරදර

මෙය ජනප්‍රිය හොලිවුඩ්, බොලිවුඩ් තරුවලට විතරක් මුහුණ දෙන්න වෙන දෙයක්ම නෙමෙයි. පොඩි ගමක, නගරයක ඇහැට කණට පේන යුවතියක් ඉන්නවා නම් ඒ ගමේ කොල්ලෝ විතරක් නෙමෙයි, ඇන්ටිලා පවා නිතරම අර යුවතිය දිහා ඇහැ ගහගෙන ඉන්නවා. ඇය පිරිමියෙකු සමග නිතර මග තොට යන එන අතර කතාබහ කරමින් ගියත් ඒ සඳහා කටකතා නිර්මාණය වෙනවා. ඒ නිසා කටකතා, ගොසිප් ආදියට හසු නොවන්නට පරෙස්සම් වෙන්න අමතර වෙහෙසක් එයාලාට ගන්නට වෙනවා.

4. ලස්සන නඩත්තු කරන්නට සිදු වෙනවා

ලස්සන අයට ලස්සන නිසාම ඇතැම් තනතුරු සහ තැන් ලැබෙනවා. උදාහරණ විදිහට යම් යුවතියක් ලස්සන නිසා ඇයට ගුවන් සේවිකාවක් හෝ පිළිගැනීමේ නිලධාරිනියකගේ තනතුරක් ලැබුණා කියමු. ඒ රැකියාව ඇයට ලැබුණා වුණත් ඇයට ඉන් පසු සිය පෙනුම, හැඩය, හැසිරීම ආදී දේවල් දැඩිව පාලනය කරගන්න, ඒවා නිසි පරිදි පවත්වාගන්නට මහන්සි වෙන්නට සිදු වෙනවා. එය ලස්සන අයට මුහුණ දෙන්නට වෙන අමතර ගැටළුවක් වනවා. යම් පිරිමි කෙනෙක්ට වුණත් ජනප්‍රිය වුණාම සිරුරේ හැඩය, තත්ත්වය පාලනය කරගන්නට වෙනවා.

5. විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ෂණය වධයක් වීම

හොඳ හැඩ ලස්සන කොල්ලෙක් අලුත් තැනකට වැඩට ආවම ඒ තැන්වලදි ඇතැම් විට ඔවුන්ට රාජකාරි කරගන්නට බැරි තරම් විවිධ බාධක සෙට් වෙනවා. ඒ අතර කාන්තා පාර්ශවයෙන්ම එන විවිධ විවිධ ඇරයුම් තියෙනවා. ලංකාවේ නම් ලස්සන ගෑනු ළමයෙක් බස් එකක, කෝච්චියක ගියත් ඇයව විවිධ අන්දමෙන් කතාවට අල්ලගන්න උත්සාහ කරන මැදිවියේ පිරිමින්ට මූණ දෙන්න ඇයට සිද්ධ වෙනවා. ඒ වගේම එවැනි ගැහැනු ළමයින්ට නම්බර් දෙන්නට, විවිධ පිට වාසි ගන්නට සැරසෙන තරුණයින් නිසාත් ඔවුන් වෙනමම අපහසුතාවයකට ලක් වෙනවා.

6. ලස්සන නිසා දේවල් ලැබුණා යැයි විශ්වාස කිරීම

රූමත් යුවතියක් යම් ක්ෂේත්‍රයක ඉදිරියට ගියොත් ඇයට ඒ රූපය නිසා ඒ තැන් ලැබුණාය කියන නරක නාමය කෙසේ හෝ අභූත ලෙස ඉදිරිපත් වෙනවා. ඇතැම් විට ඇගේ රූපය ඇයට ඒ තැන් ලැබෙන්නට යම් උපකාරයක් වන්නට ඇති. ඒත් සෑම රූමත් කෙනාම අනෙකා සමග ලිංගික සතුට හුවමාරු කරගැනීමෙන්ම ඉදිරියට යන්නේ නැහැ. තමුන්ගේ හැකියාවෙන්, මහන්සියෙන් ගොඩ ගිය රූමත් අයත් ඕන තරම් ඉන්නවා. මිනිසුන් හිතන විදිහ වෙනස් කරන්න බැරි වුණත් ඒ හිතන විදිහ නිසා රූමත් අය වැඩිපුර අපහසුතාවයට පත් වෙනවා.

6. ඇරයුම් වැඩි වීම සහ බිසී වීම

කොල්ලෙක් හෝ කෙල්ලෙක් ලස්සන නම් එයාලට එන ඇරයුම් ප්‍රමාණය වැඩියි. මෙය ෆේස්බුක් එකට එන රික්වෙස්ට් ප්‍රමාණය වෙන්න පුළුවන්. ට්විටර් එකේ ෆලෝවර් ප්‍රමාණය වෙන්න පුළුවන්. නැත්නම් කාර්යාලයේ, සමාජයේ වෙනත් දේවල්වලට ලැබෙන ඇරයුම් වන්නට පුළුවන්. කෙසේ හෝ සාමාන්‍ය අයට වඩා ආකර්ෂණීය උදවියට ලැබෙන අවස්ථා ගාණ වැඩි වීමත් එයාලට මුහුණ දෙන්නට වෙන අමතර ප්‍රශ්නයක්. දක්ෂ, ලස්සන කොල්ලෙක් නම් ඔහුට එක දිගු නිවාඩුවට මිතුරු කණ්ඩායම් කිහිපයකින් චාරිකා යන්නට ඇරයුම් ලැබෙනවා. එයත් එක්තරා විදිහක වධයක්.

ලස්සන කියන්නේ වෙනස් වෙන දෙයක්. රූපය කියන්නේ දිරන දෙයක් කියලා නිතර බණ වල, ආගම් වල සඳහන් වෙනවා. ඒ වුණාට අපි වගේ නිතර බණ අහන රටකත් ලස්සන කෙල්ලෙක්ට පාරේ බැහැලා ගියොත් කතාන්දර අහන්නට, අනවශ්‍ය ඇරයුම්වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් ලස්සන ජීවිත වුණත් හැමතිස්සේම ලස්සන අත්දැකීම්වලට මුහුණ දෙන්නේ නැහැය කියලා ඔබට මෙයින් පැහැදිළි වන්නට ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *