අපේ රටේ බොහෝ දෙනෙක් මේ ශිෂ්ටාචාරය දන්නේ මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය විදිහට. වර්තමාන ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ වයඹ දිග ඉන්දියාව යන භූමි ප්‍රදේශවල මෙම ශිෂ්ටාචාරය පැතිරිලා තිබ්බා. ආර්යයන්ගේ පැමිණීමත් එක්ක මේ ශිෂ්ටාචාරයේ බිඳවැටීම සිද්ධ වුණා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. අපි අද මේ ශිෂ්ටාචාරය ගැන තොරතුරු ටිකක් හොයලා බලමු.
1. කාලයට වඩා ඉදිරියෙන් හිටිය ශිෂ්ටාචාරයක්
මේ ශිෂ්ටාචාරය තාක්ෂණික වශයෙන් ඉතාමත්ම ඉදිරියෙන් හිටපු ශිෂ්ටාචාරයක්. උදාහරණයක් විදිහට ඒ අය තමන්ගේ නිවාස සාදා ගත්තේ පුච්චපු ගඩොල් භාවිතා කරලා. ඒ වගේම මේ නිවෙස් ඉදි කිරීමේදී හුළං හමන දිශාව පිළිබඳව ඔවුන් හොඳ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ හරහා අද වායු සමීකරණයකින් කරන කාර්යය ඔවුන් ස්වභාව ධර්මය ලවා කරගෙන තියෙනවා. තවත් විශිෂ්ටම දෙයක් තමයි ඔවුන් සෞඛ්‍යසම්පන්න මළාපවහන පද්ධතියක් නිර්මාණය කරලා භාවිතා කර තියෙනවා. යුරෝපයේ නගර වලට පවා මළාපවහන පද්ධතියක් ඇතුළත් වුණේ 18 වන සියවසේදී විතර.
2. ඔවුන්ගේ විශාලතම ගොඩනැගිල්ල
සමකාලීන ශිෂ්ටාචාර වුණු මෙසපොතේමියාවේ සහ ඊජිප්තුවේ විශාලතම ගොඩනැගිලි විදිහට රාජ මාළිගා සහ සිද්ධස්ථාන ගොඩනැගීම සිදු වුණත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ හමුවන විශාලතම ගොඩනැගිල්ල වන්නේ පොදු ස්නානාගාරයක් කියලා කිව්වොත් එහෙම ඔබ විශ්වාස කරනවද? මේ තුළිනුත් අපිට පැහැදිළි වෙන්නේ ඔවුන් ශිෂ්ටාචාරයක් විදිහට තමන්ගේ සෞඛ්‍යය ගැන කොතරම් අවධානයක් යොමු කරාද කියන එක. නමුත් ඇතැම් පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ස්නානාගාර යම්කිසි අභිචාරයක් සඳහා භාවිතා කළා වෙන්න පුළුවන් කියලයි.
3. ශිල්ප ඥානය
අද දක්වාම භාවිතාවන ලෝහ නිස්සාරණ ක්‍රම සඳහා මූලික අඩිතාලම යොදනු ලැබුවේ ඉන්දු නිම්න වාසීන් විසින්. තඹ, පිත්තල, යකඩ වැනි විවිධ ලෝහ වර්ග නිස්සාරණය කළ ඔවුන් ඒවා තමන්ගේ එදිනෙදා භාවිතයට වගේම පිළිම නෙලීම වැනි ආගමික කටයුතු සඳහාත් භාවිතා කරනු ලැබුවා. ඒ වගේම මේ නිසා අනෙකුත් ශිෂ්ටාචාර වලට සාපේක්ෂව ඉතාමත් අනර්ඝ ආභරණ නිර්මාණය කිරීමේ හැකියාවක් ඔවුන්ට ලැබුණා.
4. මුද්‍රා
සන්නිවේදනය සඳහා ඔවුන් විසින් විවිධ මුද්‍රා භාවිතා කරලා තියෙනවා. අදටත් මේ මුද්‍රාවලින් කියවෙන්නේ මොකක්ද කියන එක නිශ්චිතව හඳුනාගැනීමේ හැකියාවක් ලැබිලා නැහැ. ඔවුන් හුවමාරුකරනු ලැබූ වෙළෙඳ ද්‍රව්‍ය නිරූපණය කිරීම මේ මුද්‍රා මගින් සිද්ධ වුණා කියලා ඇතැම් පාර්ශව විශ්වාස කරනවා. ඒ අතරින් හම්බ වෙලා තියෙන සුප්‍රකටම මුද්‍රාව හඳුන්වන්නේ පශුපති ලෙසයි. පසුකාලීන හින්දු ආගමේ ත්‍රිමූර්තියෙන් ප්‍රධාන දෙවි කෙනෙකු බවට පත් වූ ශිව දෙවියන්ගේ මූලික අවස්ථාවක් මෙමගින් නිරූපණය වෙන බවට මතයක් පවතිනවා.
5. සැලසුම් සහගත නගර
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන කතා කරද්දි අපි ආරම්භයේ දී කිව්වා වගේම වැඩි වශයෙන් කතා කරනු ලබන්නේ මොහෙන්දජාරෝ නගරය සහ හරප්පා නගරය ගැන. නමුත් වර්තමාන ගුජරාට් ප්‍රාන්තය ආශ්‍රිතව සොයා ගනු ලැබූ ලෝතාල් නගරය ලෝකයම විස්මයෙන් විස්මයට පත් කිරීමට සමත් වුණා. ඊට හේතුව වූයේ ගංවතුරෙන් ආරක්ෂා වන පරිදි සැලසුම් සහගතව සකස් කෙරුණු නගර සැලැස්ම නිසයි. නගරය කොටස් වලට බෙදා තිබුණු අතර ඒ හැම කොටසකම පාහේ නිවාස විස්සක් පමණ ඇතුළත් කොට තිබුණා.
6. මිනුම් ක්‍රම
ගුජරාට් ප්‍රදේශයෙන් හමු වුණු ඇත්දළයක් 1.7 mm දක්වා දිග ප්‍රමාණයක් මැනිය හැකි ආකාරයට ක්‍රමාංකනය කොට තිබුණා. එය සැළකෙන්නේ ලෝකඩ යුගයේදී මේ දක්වා මිනිසා විසින් මනින්නට යෙදුණු කුඩාම මිනුම ලෙසටයි. තවදුරටත් මේ පිළිබඳව පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයන් පවසා සිටින්නේ අඟලකින් 0.005 දක්වා මැනීමේ හැකියාව ඔවුන්ට පැවැතුණු බවයි. බර මැනීම සඳහා ඔවුන් භාවිතා කරනු ලැබු මිනුම් පද්ධතිය වර්තමාන අවුන්ස ක්‍රමයට සමානුපාතික වන බවට විශ්වාස කෙරෙනවා.
7. සාමයට ලැදි ඉන්දු නිම්න වාසීන්
මේ වන විට පුරාවිද්‍යාඥයන් විසින් දාහකට ආසන්න ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් සහිත ප්‍රදේශ ගවේෂණය කොට තිබෙන අතර පුදුමයකට මෙන් කිසිදු ස්ථානයකින් මිනිස් ඝාතක අවි ආයුධ හමුවී නැහැ. මේ නිසා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාර වාසීන් සාමයට ලැදි ජනතාවක් බවයි. ශිෂ්ටාචාරය උපරිම අවස්ථාවේ මිලියන 5කට ආසන්න ජනතාවක් මේ නගර ආශ්‍රිතව ජීවත් වූ බවට විශ්වාස කෙරෙනවා.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply