නැපෝලියන් සහ ජොසෆින් ආදර කතාව

අපි අද උත්සහ කරන්නේ ඉතිහාසයේ සංකීර්ණම ආදර කතාවක් ගැන ඔබේ අවධානය යොමු කරන්න. හැබැයි ඉතින් අවංකව අපිට මේ ආදර කතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්ද කියන එක සැකයි. ඒකට හේතුව තමයි මෙතුවක් කල් මේ ආදර කතාව ගැන ලියැවුණු පොත්පත්, තිරගත වූ චිත්‍රපටි, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍යය  ගණනාවක් පවතිනවා. මේ හැම නිර්මාණයකින්ම වගේ එකිනෙකට වෙනස් අදහස් තමයි මේ ආදර කතාව ගැන කියැවුණේ. ඒ ඇයි කියලා ඔබට මේ ආටිකල් එක කියවගෙන යද්දි පැහැදිළි වෙයි.

 

1. ඔහුට විතරක් ජොසෆින්

උපතේදී මාරී ජොසෆි රෝස් ටැස්ෂර් ඩී ලා පේජරී ලෙස හැඳින්වුණු ඇය පවුලේ සාමාජිකයන් අතර හැඳින්වුණේ මාරී හෝ රෝස් ලෙසයි. නමුත් පසු කාලයක ඇගේ ජීවිතයට එළඹුණු නැපෝලියන් බොනපාට් මේ කිසිදු නමකට ප්‍රිය කළේ නැහැ. ඔහුට ඇය ජොසෆින් වුණා. ඇය වටා ගෙතී ඇති ඇතැම් ජනප්‍රවාද වලට අනුව කුඩා කාලයේ දී අනාවැකිකරුවෙකු ඇය දෙස බලා අනාගතයේ දී ඇය ප්‍රංශයේ රැජින බවට පත් වන බවත් වඩාත් නිවැරදිව කිව්වොත් රැජිනකට වඩා එහා ගිය තත්ත්වයක් අත්කර ගන්නා බවත් කියවුණු බව කියවෙනවා.

 

2. සාපයක් වූ පළමු විවාහය 

ජොසපින්ගේ පවුල ආර්ථික වශයෙන් දැවැන්ත අවපාතයකට මුහුණදුන් අතර පවුලෙන් එල්ල වුණු පීඩනය මත ඇය ඇලෙක්සැන්ඩර් බොන්රේ නම් දෙවන පෙළ වංශාධිපතියෙකු සමඟ විවාහ වනවා. මෙම විවාහයට ඉයුජින් නම් පුතෙකු සහ හොටෙන්සේ නම් දියණියක ලැබෙනවා. එම විවාහය කිසිසේත්ම සාර්ථක විවාහයක් වන්නේ නැහැ. ප්‍රංශ විප්ලවය සමයේ දී ඇගේ සැමියාව ඝාතනය කෙරෙන අතර ඇයව සිරගත කෙරෙනවා. පසුව ඇය සිරෙන් නිදහස් වන්නේ අහම්බයකින් වගෙයි.

 

3. අනියම් බිරිඳ 

එකල ප්‍රංශ සමාජය තුළ ප්‍රබල පුද්ගලයන් අනියම් බිරින්දෑවරුන් තබාගැනීම විලාසිතාවක් බවට පත්ව තිබුණා. විප්ලවයට පෙර ප්‍රංශ රාජ සභාව තුළ පවා රජවරුන්ගේ අනියම් බිරින්දෑවරුන්ට සුවිශාල බලයක් හිමි වුණා. සිය දරු දෙදෙනා නඩත්තු කිරීමට සහ සමාජ බලයක් ගොඩනගා ගැනීමට ජොසෆින් විසින්ද එම මාර්ගය තෝරා ගත් අතර ප්‍රංශ දේශපාලනයේ ප්‍රබලයකු වූ පෝල් බරාස්ගේ අනියම් බිරිඳ බවට ඇය පත්වුණා.

 

4. පළමු හමුවීම 

පෝල් බරාස් විසින් සිය මාළිගාවේ සංවිධානය කළ නැටුම් සාදයක් අතරතුර දී එවකට වූ 26 හැවිරිදි වියේ පසුවූ නැපෝලියන් බොනපාට්ව ඇයට මුණ ගැසුණා. ඒ වන විට ඇයට වයස අවුරුදු තිස් දෙකක්. මේ වන විට ප්‍රංශ හමුදාව තුළ ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්ව සිටි මේ සොල්දාදුවා ඇගේ සිත් ගත් අතර එහි ප්‍රතිඵලය වූයේ පෝල් සමග සබඳතාවය නිමකරමින් ජොසෆින් නැපෝලියන්ගේ අනියම් බිරිඳ බවට පත්වීමයි.

 

5. විවාහය 

කෙසේ වෙතත් වසරක් ගත වීමට පෙර තම තම අනියම් බිරිඳ සිය නීත්‍යානුකූල බිරිඳ බවට පත්කර ගැනීමට නැපෝලියන් බොනපාට් විසින් තීරණය කරනු ලැබුවා. ඒ සඳහා ඔහුගේ පවුලෙන් විශේෂයෙන් මව සහ සහෝදරියන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. විවාහයෙන් දින 2කට පසු ඉතාලියේ ක්‍රියාන්විතයක් සඳහා නැපෝලියන් සිය සේනාංකය මෙහෙයවූ අතර ඔවුන් වෙන්ව සිටි කාල සීමාව පුරාවටම ඔහු විසින් සිය ආදරය ප්‍රකාශ කරමින් ජොසපින් වෙත ලිපි ලියනු ලැබුවා. නමුත් ජොසපින් ගෙන් නම් ඊට ලැබුණේ ඇල්මැරුණු ප්‍රතිචාරයක් .එසේ වුවත් නැපෝලියන් විසින් සිය පොකැට්ටුව තුළ ඇගේ කුඩා චිත්‍රයක් තබාගෙන සිටි අතර ඔහු දිනකට වතාවන් කීපයක් එම සිතුවම සිප ගත් බව කියවනවා. 

 

6. ජොසපින්ගේ වංචනික ස්වභාවය

මේ ආකාරයට නැපෝලියන් ඉතාලියේ සටන් වැදෙද්දී සහ ජොසපින් ගැන සිතමින් කාලය ගත කරද්දී ඇය තමන්ට වඩා වයස අවුරුදු නමයක් බාල චාල්ස් නම් සොල්දාදුවකු සමග තවත් අනියම් සබඳතාවක් ආරම්භ කරනු ලැබුවා. මුල් කාලයේදී සබඳතාවය නැපෝලියන්ට රහසක්ව පැවති අතර ඔවුන් දෙදෙනා තවත් පිරිසක් සමඟ නැපෝලියන් බැලීමට ඉතාලියට පවා ගොස් තිබෙනවා. පැරීසියට පැමිණීමෙන් පසුව මොවුන් දෙදෙනාගේ සබඳතාවේ නියම ස්වභාවය නැපෝලියන්ට හෙළි වූ අතර නැපෝලියන් සිය ඊජිප්තු ක්‍රියාන්විතය ආරම්භ කරද්දී ඇය විසින් තමන්ට සිදුකළ වංචාව පිළිබඳව දැඩි ලෙස කෝපයට පත්වුණා.

 

7. නැපෝලියන්ගේ ප්‍රතිචාරය 

සිය වැඩිමල් සහෝදරයා වූ ජෝසෆ් බොනපාට්ට තම දික්කසාදය සඳහා කටයුතු සූදානම් කරන ලෙස නැපෝලියන් විසින් දන්වා යැව්වත්, අදාළ ලිපිය බ්‍රිතාන්‍ය නාවික හමුදාව විසින් තම ග්‍රහණයට ගනු ලැබුවා. මේ නිසා මෙම ලිපිය සිය සහෝදරයාට නොලැබුණු බව නැපෝලියන් දැනගත්තේ දිගු කාලයකට පසුවයි. තම ආදරය තමන්ට වංචා කිරීම නිසා දැඩි ආතතියකට පත් වූ නැපෝලියන් සිය වේදනාව සමනය කිරීමට වෙනත් කාන්තාවන්ගේ පහස සොයා ගෙන ගියා.

 

මේ නැපොලියන් බොනපාට්ගේ සහ ජොසපින්ගේ ආදර කතාවේ පළමු කොටස පමණයි. මේ කතාව දිගට ගලාගෙන යද්දි යද්දී තව තවත් සංකීර්ණ වෙනවා. එහෙම නම් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *