අපිට ඕන සබ්ජෙක්ට් එකකට අදාළව අදහස් හුවමාරු වෙන ආතල් ෆේස්බුක් සංසදේකට සෙට් වෙමුද?

දැන් අහන්න එපා පටන් ගත්තු තැනම සංසදයක් කියන්නෙ මොකද්ද කියලා. සංසදයක් කියන්නේ, යම් කිසි පොදු රුචිකත්වයක් හරි පොදු සබ්ජෙක්ට් එකක් හරි වටේ මිනිස්සු පිරිසක් රැස්වෙලා ඉන්න තැනක්. පොඩි කාලේ හිටපු පිපෙන කැකුළු ළමා සමාජය, මුතු කැට යෞවන සමාජය වගේ එව්වත් සංසද වගේ වුනාට, සාමාන්‍යයෙන් සංසදේකට මූලික වෙන්නේ පොදු කාරණාවක් හරි සබ්ජෙක්ට් එකක් හරි තමයි. උදාහරණයක් විදියට ලංකා කැරම් සංසදය හරි ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා හවුල්කාරීත්ව සංසදය වගේ එව්වා ගන්න පුළුවන්. හැබැයි ඔය කියන සංසද වලට වඩා සෑහෙන ආතල් සංසද තියෙනවා ෆේස්බුක් එකේ. එව්වලත් මොකක් හරි විශේෂ සබ්ජෙක්ට් එකක් හරි ඉන්ටරෙස්ට් එකක් හරි තමයි මූලික වෙලා තියෙන්නේ. හැබැයි එව්වල ඔය උඩින් කියපු සංසද වලට වඩා ආතල් කෝටියයි. ඉතින් එහෙමනම් අපි ඉදිරිපත් කරන ෆේස්බුක් සංසද ලිස්ට් එක බලලා, තමන්ට ගැලපෙන සංසදයක් තියේ නං සෙට් වෙන්නයි තියෙන්නේ!

 

1. ලංකා ඌරුමස් සංසදය

නමෙන්ම තේරෙනවනේ මෙතන ඉන්නේ කොයි විදියේ කට්ටියද කියලා. සතාට කැමති අය තමයි මෙතන ඉන්නේ. සතා කිව්වේ දුවන පුහුල් වලට හෙවත් ඌරාට. ඌරුමස් කියන්නේ ඔය මාංශ භක්ෂකයින්ගේ බොහොම ප්‍රියතම කෑමක්. හැබැයි ඉතින් සමහරු ඉන්නවා ඌරුමස් අප්‍රිය කරන. තවත් ආගමිකයෝ ඉන්නවා තමන්ගේ ආගමෙන්ම ඌරුමස් තහනම් නිසා සතාට අත නොතියන. එහෙම වුනත් ඌරු මස් කන අය නං කියන්නේ, ඌරු මසට ගහන්න මසක් ලොවෙත් නෑ කියලා තමයි. කොහොම නමුත් මේ ලංකා ඌරුමස් සංසදයේ සිද්ධ වෙන්නෙ ඌරාව කන්න ගන්න අය කෑම ප්ලේට් එක ෆොටෝ ගහලා දාන එකම නෙවෙයි. එතනින් එහාට ගිහින් ඌරුමස් ගන්න තියෙන තැන්, ඌරු මස් කන්න තියෙන තැන් මේ සංසදයේ සෑහෙන්න පෝස්ට් වෙනවා. ඒ ඇරුණහම ඌරාව රහට උයාගන්න පුළුවන් රෙසිපි එහෙමත් සමහර වෙලාවට වැටෙනවා!

 

2. ආතල්ජීවිත | සැපේ ඉන්න උන්ගෙ සංසදය

මේ සංසදයේ නම දැක්ක ගමන් එක පාර හිතාගන්න බැරි වෙනවා මේක මොන ආතල් සම්බන්ධයෙන්ද කියලා. ඒ කියන්නේ සමහරුන්ට ෆුල් මඤ්ඤං ආතල් එහෙමත් තියෙනවනේ. හැබැයි මේ ආතල් සංසදය තියෙන්නේ හොඳට කන බොන, ඇවිදලා කරලා සැපේ ඉන්න ආතල් එක ගන්න අය වෙනුවෙන් තමයි. ඒ කියන්නේ තරු පහේ හෝටලේකින් කෑවත්, පෙට්ටි කඩේකින් කෑවත්, නිවාඩුවක් සෙට් වුණු සෙනිකයෙන් සංචාරය කළත්, ගෙදර හොඳට උයාගෙන කෑවත්, යාලුවොත් එක්ක ගාණට මිම්මට ස්ටෙලා පාරක් දැම්මත් අන්න ඒ ආතල් එක මේ සංසදයේ ෂෙයාර් කරගන්න පුළුවන්. දැන් පැහැදිලියිනේ. ආතල් ගන්න, සැපේ ඉන්න උන් වෙනුවෙන්ම විතරයි!

 

3. විවාහ යෝජනා සංසදය

මෙන්න කාලීන සංසද. දැන් මේ අපේ සහෝදර සහෝදරියන් කොයි තරම් පෙලවාසියක් නොමැති කමෙන්, ලව් කරන්න කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි නැති කමෙන් තැවෙනවද? ආන්න ඒ වගේ තැවෙමින් ඉන්න සහෝදර සහෝදරියන්ට විතරක් නෙවෙයි, අංකල්ලාට ඇන්ටිලාට වුනත් ගැලපෙන සංසදය තමයි මේක. තව ඉතින් ජාතියට අනුව තෝරගන්න ඕන නම් ‘සිංහල විවාහ යෝජනා සංසදය’ වගේ එව්වත් ෆේස්බුක් එකේ තියෙනවා. හැබැයි ඉතින් ජාති භේද නැති අපේ තෝරාගැනීම නම් මේක.  මෙතන මංගල දැන්වීම් දාන්න, කොල්ලන්ට කෙල්ලන්ට එකිනෙකාව අඳුනාගන්න, යාලු වෙන්න, ආදරේ කරන්න වගේ ඕන දේකට නිදහස තියෙනවා. හැබැයි ඉතින් අවංක ආදරේ වෙන්න ඕනා. ඒ එක්කම මේ සංසදයට ඇවිත් ආදරේ කරන මුවාවෙන් පොලිටික්ස් කරන්න එහෙම බෑ, හරිද!

 

4. ලංකා අරක්කු සංසදය

දැන් ඔන්න අමද්‍යප සෙට් එක ෆයර් වෙන්න ඔට්ටු නෑ. මෙතන ඉන්නේ නියම ශ්‍රී ලාංකීය අරක්කු නිෂ්පාදන වලට ආදරේ කරන, හොඳට කන බොන උදවිය. මේ කට්ටිය කියන විදියට මේ සංසදය තියෙන්නේ හුදෙක්ම අරක්කු ප්‍රිය කරන ජනතාවගේ හිතසුව පිණිස තමයි. හැබැයි ඔය නීති විරෝධී මත්පැන් ගැන නම් සංගමේ ඇතුළේ කතාබහ කෙරෙන්නේ නෑ. නීතිය කඩන්නේ නැතුව, කන් දෙක නැවෙන ගාණට බොන හොඳ ළමයි තමයි මේ සංගමේ ඉන්නේ. මෙතන ඉන්න සාමාජිකයෝ අරක්කු ගැන මීම්ස් එකක් දෙකක් ෂෙයාර් කරගෙන, අරක්කු අත්දැකීමක් බෙදාහදාගෙන ඉන්නවා විතරක් නෙවෙයි. කෙනෙක්ට කරදරයක් වුණු වෙලාවක උදවුවක් කරන්න ඉල්ලන පෝස්ට් එකක් වුනත් දෙපාරක් නොහිතා බෙදාහදාගන්නවා. ආතල්ම වැඩේ කියන්නේ මේ සංසදේ එක්කම ලඟින් යන ලංකා ගල් අරක්කු සංසදය කියලා එකකුත් තිබීම. ගල් විතරක් ගහන අයට ඕන නම් ඒකට යන්නත් පුළුවන්!

 

5. රූම්ස් යන්නන්ගේ සංසදය

මෙන්න දොරේ සංසද! හිතුවත් වගේම මේ සංසදය ඇතුළේ කතාවෙන්නේ කෙල්ලෙක්ට, කොල්ලෙක්ට ලව් කරන්න, ලව් එක වැඩිදියුණු කරගන්න, සෙක්ස් කරන්න වගේ දේවලට කොහේ හරි යන එක සම්බන්ධ කරුණු කාරණා තමයි. හැබැයි වැරදියට හිතන්න එපා. මේ සංසදය ඇතුළේ ප්‍රධාන අරමුණ වෙන්නේ ප්‍රධාන මිනිස් අවශ්‍යතාවයක් වෙන ආදරය සහ ලිංගිකත්වය ආරක්ෂිතව විඳින්න අවශ්‍ය කරන තොරතුරු හුවමාරු කරගන්න එක තමයි. ඉතින් මේ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන, රූම් කාපර් සහෝදර සහෝදරියෝ, මේ සීන් එකට ආධුනික උන්ට අවවාද අනුශාසනා ලබාදෙනවා. හැබැයි මතක තියාගන්න, මේ අවවාද අනුශාසනා වටිනවා කියන එකත්. ඒ වගේම අඩු වයසින් රූම් යන එක වගේ දේවලට විරුද්ධවත් සෑහෙන අදහස් මේ සංසදේ ඇතුළේ පලවෙනවා කියන එක කියන්නම ඕන.

 

6. සමස්ථ ලංකා දුක් විඳින සැමියන්ගේ සහ පෙම්වතුන්ගේ සංසදය

මෙන්න තවත් අහිංසකයින්ගේ සංසදයක්! හිතාගන්න පුළුවන් විදියටම මේ සංසදේ ඉන්නේ පිරිමි විතරයි. එතනිනුත් පෙම්වතියන් ඉන්න, බිරිඳක් ඉන්න, මේ පෙම්වතියෝ සහ බිරින්දෑවරු නිසා දුක් විඳින පිරිමි විතරයි. ඉතින් මේ අහිංසක කොල්ලෝ, අංකල්ලා මෙතනට ඇවිත් තමන්ගේ හිතේ හිරවෙලා තියෙන කියාගන්න බැරි දුක් වේදනා මීම්ස් වලින්, වීඩියෝ වලින් එහෙම එළියට දානවා. එතකොට අනික් සෙට් එකත් සහෝදර ගැම්මෙන් “ඔව්වා ඔහොම තමයි මචං, මේ අපිත් ඉන්නේ” කියලා සපෝට් එක දෙනවා. හැබැයි ඉතින් මෙතන ඉන්න උන්දැලා වයිෆ්ලට, ගර්ල්ෆ්‍රෙන්ඩ්ලට ආදරේ නැති එවුන් කියලා හිතන්න එපා. ආදරෙයි. ඒකනේ මෙව්වා ගෙදර නෝනට හරි කෙල්ලට හරි කියන්නේ නැතුව මෙතන ඇවිත් කියන්නේ. එහෙම නැතුව බයකට නෙවෙයි, හරි!

 

7. සිංහල ඡන්ද කඩන්නන්ගේ සංසදය

සිංහල ඡන්ද කඩන්නෙපා කියන කෑල්ල එලියට ආවේ මේ පාර ජනාධිපතිවරණෙට හිටපු හමුදාපති මහේෂ් සේනානායක ඉදිරිපත් වුනාට පස්සේ. ඒ කියන්නේ එහෙම කියන අයගේ අදහස වුනේ, සිංහල ඡන්ද වෙනුවෙන් එක හාදයෙක් ජනාධිපතිවරණෙට හිටියහම ඇති කියන එක. හරි, ඔය මොන අදහස එක්ක වුනත් සිංහල ඡන්ද කඩන්නෙපා කෑල්ල අමු ආතල් එකක් බවට පත් වුණා. ඒ වෙනුවෙන් සංසදේකුත් හැදුනා. දැන් මේ සංසදේ කරන්නේ සිංහල ඡන්ද කඩ එකද? අපොයි නෑ. මේ සංසදේ කරන්නේ ජනාධිපතිවරණ ආතල් ගන්න එක. ඕනම පැත්තක ඕනම අපේක්ෂකයෙක්ව බයිට් එකට අරගෙන හැදෙන මීම්ස් එහෙම මේකේ දාලා තමන්ගේ ආතල් එක අහිංසකව ගන්න පුළුවන්. මේ සංසදේ ඡන්ද කඩන අයට ඇති තරම් කඩන්න, කැඩීමේ හැකියාවන් එළිදක්වන්න වේදිකාවක් කියලා තමයි හඳුන්වලා දීලා තියෙන්නේ!

 

මේ සංසද තමන්ට හරියන්නේ නැහැ වගේද? දෙපාරක් හිතන්නෙපා. පටන් ගන්න තමන්ගේම කියලා සංසදයක්! හැබැයි ආතල් සංසදයක්!!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *