කම්මැලි වෙලාවට හප හප ඉන්න කියාපු කෑමක් තමා වඩේ…. ඉතින් මේ වඩේ කියන්නෙ අපේ උදවිය සෑහෙන ආදරේ කරන කෑමක්නේ. ඒත් මේ කාලෙ රටේ තත්වෙත් එක්ක මේ වගේ පොඩි බිස්නස් ගොඩක් වැහිලා තියනවා. ඉතින් අපිට ගෙදරදීම හදාගන්න එක අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසාමයි අපි මේ රෙසිපි ටික ඔයාලට ගෙනාවේ.ට් රයි කරලා බලන්න.
01. කඩල වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :-
පෙඟෙන්න දැමූ කඩල ග්‍රෑම් 200
යීස්ට් තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
කෑලිමිරිස් තේහැඳි 1/2
ලියාගත් රතුළූණු ගෙඩි 2
ලියාගත් කරපිංචා ස්වල්පයක්
ලියාගත් කොච්චි ස්වල්පයක්
කඩාගත් වියළිමිරිස් කරල් 3
බැදීමට තෙල්
පෙඟෙන්න දැමූ කඩල ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මේකට ලුණු, කෑලිමිරිස්, ඊස්ට් හා ලියාගත් අනික් සියල්ලම දාලා හොඳට අනාගන්න. පැයක් වගේ තියලා අතේ තෙල් ගාගෙන ඩෝ එකෙන් පොඩ්ඩක් අරන් පැතලි කරලා ගැඹුරු තෙලේ දාලා බැදගන්න.
02. උළුදු වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :-
උඳුපිටි ග්‍රෑම් 250
පාන්පිටි කෝප්ප 1/4
යීස්ට් තේහැඳි ග්‍රෑම් 8
චොප්කරගත් අමුමිරිස් කරලක්
චොප්කරගත් ළූණු ගෙඩියක්
ලියාගත් කරපිංචා 4-5
කෑලිමිරිස් තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
බැදීමට තෙල්
උඳුපිටි වලට පාන්පිටි, ලුණු හා ඊස්ට් දාලා කලවම් කරගන්න. දැන් මේකට වතුර ටික ටික දාලා ඩෝ එකක් හදාගන්න.මේක පැය 3ක්වත් පිපෙන්න තියන්න. ඊළඟට මේ ඩෝ එකට කපාගත් සියල්ලම දාලා නැවත හොඳට නීඩ් කරගන්න. අතේ තෙල් හෝ වතුර ගාගෙන ඩෝ එකෙන් පොඩි බෝල අරන් අතින් හිලක් හදලා පැතලි කරලා රත්වුණු තෙලට දාලා අඩු ගින්දරේ බැදගන්න.
03. පරිප්පු වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :-
මයිසූර් පරිප්පු ග්‍රෑම් 250
කෝන්ෆ්ලා මේසහැඳි 1
ලියාගත් රතුළූණු ගෙඩි 3
ලියාගත් කරපිංචා ස්වල්පයක්
ලියාගත් අමුමිරිස් කරල් 2
කහකුඩු ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
බැදීමට තෙල්
පරිප්පු ටික පැය දෙකක් පෙඟෙන්න දාගන්න. දැන් මේකෙන් මිටක් අයින්කරලා අනික් ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. අයින්කරපු ටිකත් මේකට දාගන්න. දැන් මේකට කෝන්ෆ්ලා, ලුණු, කෑලිමිරිස්, කහකුඩු හා ලියාගත් සියල්ලම දාලා අනාගන්න. අතින් බෝල හෝ පැතලි විදියට වඩේ හදලා අඩු ගින්දරේ ගැඹුරු තෙලේ බැදගන්න.
04. තට්ටායි වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :-
බැදගත් හාල්පිටි කෝප්ප 1/2
උඳු ඇට මේසහැඳි 1
කඩල පරිප්පු මේසහැඳි 1
සූදුරු ඇට තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
මිරිස්කුඩු තේහැඳි 1/2
කෑලිමිරිස් ස්වල්පයක්
බැදීමට තෙල්
උඳු ඇට හා පරිප්පු පැය 2ක් පෙඟෙන්න තියන්න. දැන් උඳුඇට ටික කබලෙ බැදගෙන හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මේකට හාල්පිටි ටිකත් එකතු කරලා තෙල් හැර අනික් සියල්ලම දාලා වතුර ටික ටික දාලා ඩෝ එකක් හදාගන්න. දැන් මේ ඩෝ එකට තෙල් ටිකක් ගාලා තව ටිකක් හොඳට අනාගන්න. ඊළඟට තෙල් ගාගත් තැටියක තුනී කරලා රවුම් කපාගන්න. ගැඹුරු තෙලේ බැදගන්න.
05. පාන්පිටි වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පිටි ග්‍රෑම් 250
යීස්ට් ග්‍රෑම් 8
ලුණු ස්වල්පයක්
බැදීමට තෙල්
පාන්පිටි වලට යීස්ට් හා ලුණු දාලා කලවම් කරලා වතුර ටික ටික දාලා ඩෝ එකක් අනාගන්න. ඩෝ එකේ තෙල් ටිකක් ගාලා වහලා විනාඩි 45ක් වගේ තියන්න. ඊළඟට අතේ තෙල් ගාලා මේ ඩෝ එකෙන් පොඩි බෝල හදලා අතින් හිලක් හදලා ගැඹුරු තෙලේ දාලා බැදගන්න.
06. මඤ්ඤොක්කා වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :-
තම්බාගත් මඤ්ඤොක්කා ග්‍රෑම් 200
ලියාගත් රතුළූණු ගෙඩි 2
ලියාගත් කරපිංචා ස්වල්පයක්
ලියාගත් අමුමිරිස් කරල් 2
කඩාගත් වියළිමිරිස් කරල් 2
ලුණු ස්වල්පයක්
කෑලිමිරිස් ස්වල්පයක්
බැදීමට තෙල්
තම්බාගත් මඤ්ඤොක්කා වල මැද නාරටි අයින් කරලා හොඳට මෑශ් කරගන්න.මේකට අනික් සියල්ලම දාලා කලවම් කරලා අතින් වඩේ වගේ හදලා අඩු ගින්දරේ ගැඹුරු තෙලේ බැදගන්න.
07. රුලං වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :-
රුලං කෝප්ප 1
චොප්කරගත් රතුළූණු ගෙඩි 3
චොප්කරගත් අමුමිරිස් කරල් 2
ලියාගත් කරපිංචා ස්වල්පයක්
චොප්කරගත් ඉඟුරු ස්වල්පයක්
කර්ඩ් කෝප්ප 3/4
ලුණු ස්වල්පයක්
සූදුරු තේහැඳි 1
බේකින් සෝඩා තේහැඳි 1/4
බැදීමට තෙල්
රුලං වලට කර්ඩ් ටික දාලා චොප්කරගත් සියල්ලම එකතු කරන්න. රස අනුව ලුණු හා සූදුරු ටික දාලා බේකින් සෝඩා ටිකත් දාලා කලවම් කරන්න. පැය බාගයක් වගේ වහලා තියන්න. ඊළඟට අතේ තෙල් ටිකක් ගාගෙන මේ ඩෝ එකෙන් ටික ටික අරන් අතේ තියල පැතලි කරලා මැද හිලක් හදලා ගැඹුරු තෙලේ බැදගන්න.
Leave a Reply