එදා මෙදා තුර වැඩිම ආදායම් ලැබූ ඉන්දියානු චිත්‍රපට 10

Highest grossing Indian movies

ඉන්දියාව කියන්නේ ශ්‍රී ලංකාව වගේ ආසන්න වශයෙන් 60 ගුණයක් විතර ලොකු රටක්. භුමිය විතරක් නෙමෙයි ජනගහනය අතිනුත් ඉන්දියාව ඉන්නෙ ලෝකෙ දෙවැනි තැන. ඉතින් මේ ඉන්දියාවේ සිනමාව ගැන කිවුවත් ශ්‍රී ලංකාව එක්ක සසඳද්දී අහසයි පොළොවයි වගේ. ඉන්දියානු සිනමාව ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදෙනවා. ඒ බොලිවුඩ්, කොලිවුඩ් සහ ටොලිවුඩ් විදිහට. බොලිවුඩ් කියන්නෙ හින්දි සිනමාව. කොලිවුඩ් කියන්නෙ දමිල සිනමාව. ටොලිවුඩ් කියන්නේ තෙලිඟු සිනමාව. ප්‍රධාන තුන ඕව වෙද්දී ආන්ද්‍ර සිනමාව, කන්නඩි සිනමාව වගේ තවත් කර්මාන්ත ගැන කතා කරන්නත් අපිට පුළුවන්.  ඔතනින් ලොකුම සිනමා කර්මාන්තය විදිහට හැඳින්වෙන්නෙ කොලිවුඩ් සිනමාව. ඒත් ඉතිං ලෝකෙට ඉන්දියාවෙන් කියල වැඩිපුර යන්නෙනම් හින්දි චිත්‍රපට. ඒකට හේතුවක් විදිහට පේන්න තියෙන්නෙ මේ චිත්‍රපටි වල කතාව. විශේෂයෙන්ම දමිළ චිත්‍රපටිවල ඉලක්කගත ප්‍රේක්ෂක සමුහය සීමා සහිතයි. ඒත් හින්දි චිත්‍රපටියක් එලියට දාද්දි ඒ කතාව ඇතුලෙ හැමදෙනාටම ගැලපෙන විදිහෙ දෙයක් එලියට එනවා. ඉතින් ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ දකුණු ආසියානු කලාපය විතරක් නෙමෙයි යුරෝපය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලත් හින්දි චිත්‍රපටිවලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

හරි දැන් ඔබට ඉන්දියානු සිනමාව ගැන දල අදහසක් ලැබෙන්න ඇති.

දැන් කියන්න යන්නෙ ඉන්දියානු ඉතිහාසයේ වැඩිම අදායමක් ලබපු චිත්‍රපටි 10 ගැන.

 

10. චෙන්නායි එක්ස්ප්‍රස් (Chennai Express)

 

වර්ෂය – 2013

වියදම – ඉන්දියානු රුපියල් කෝටි 115

ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 423

අධ්‍යක්ෂණය – රෝහිත් ශෙට්ටි

රංගනය – ශාරුක් ඛාන් / දීපිකා පදුකෝන්

මේක හාස්‍යමය සහ ආදරණීය චිත්‍රපටියක්. හාස්‍යය සහ ආදරය එකට ගලපලා තිබ්බ හන්දම මේ චිත්‍රපටිය වෙනස් එකක් වුණා. විශේෂයෙන්ම දමිල භාෂාවත් මේ චිත්‍රපටියෙ වැඩිපුර භාවිත වෙලා තිබුණ හන්දා දමිළ ප්‍රේක්ෂකයිනුත් මේ චිත්‍රපටිය වැළඳ ගත්තා. ඒ වගේම මේක තමයි ඉන්දියානු රුපියල් කෝටි 400 පන්නපු පලවෙනි චිත්‍රපටිය. “සී සිනෙ” සම්මාන උළෙලෙ හොඳම චිත්‍රපටිය විදිහට සම්මාන ලබන්න චෙන්නායි එක්ස්ප්‍රස් සමත් වුණා. ඒ වගේම හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම හාස්‍ය නළුවා, හාස්‍ය නිළිය ඇතුළු සම්මාන රැසක් මේ චිත්‍රපටිය දිනා ගත්තා. මේක නිෂ්පාදනය කරේ ශාරුක් ඛාන් ගේම සමාගමක් වන රෙඩ් චිලීස් එන්ටටේන්මන්ට් (Red Chillies Entertainment) කියන සමාගම. මේක හින්දි චිත්‍රපටියක්.

 

9. ප්‍රේම් රතන් දන් පායෝ (Prem Rathan Dhan Payo)

 

වර්ෂය – 2015

වියදම – ඉන්දියානු රුපියල් කොටි 150

ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 432

අධ්‍යක්ෂණය – සුරාජ් ආර් බාජත්‍යා

රංගනය – සල්මන් ඛාන් / සෝනම් කපූර්

මේක ප්‍රේමාන්විත චිත්‍රපටියක්. ෆැන්ටසිගත රාජ්‍යයක් ඇතුලෙ වෙන සිද්ධි දාමයක් සහ ඒ රාජ්‍යයේ රජුගෙ රෝගී තත්වයත් එක්ක මුහුණදෙන්න වෙන සිදුවීම් මත කතාව ගලාගෙන යනවා. සංගීතය උදෙසා ස්ටාර් සම්මානය මේ චිත්‍රපටියට ලැබෙද්දි සෝනම් කපූර් ආකර්ෂණීය කාන්තා රංගනය උදෙසා වන සම්මානය ලබන්නත් සමත් වුණා. මේක නිෂ්පාදනය කරන්නේ ෆොක්ස් ඉන්දියා (Fox India) ආයතනය සහ රාජ් ශ්‍රී (Raj Shri) කියන ආයතන එකතු වෙලා. මේක හින්දි චිත්‍රපටියක්.

 

8. කබාලි (Kabali)

 

වර්ෂය – 2016

වියදම –  ඉන්දියානු රුපියල් කෝටි 120

ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 477

අධ්‍යක්ෂණය – පී ඒ රංජිත්

රංගනය – රජිනි කාන්ත් / රාධිකා අප්තේ

මේක ක්‍රියාදාම චිත්‍රපටියක්. කතාවෙනම් සැලකිය යුතු වෙනසක් තිබුණෙ නෑ. ඒත් තමිල්නාඩු වැසියන් දේවත්වයෙන් අදහන රජිනී කාන්ත් ගේ රඟපෑම බලන්න මිනිස්සුන්ට තිබ්බ උවමනාවත් එක්ක ආදායම් වාර්තා බිඳගෙන මේ චිත්‍රපටය ඉස්සරහට ආවා. මේ චිත්‍රපටිය සම්මාන ගොඩක් දිනාගන්න සමත් වුණේ නෑ. ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලදී හොඳම සහය නිළිය ට ලැබෙන සම්මානයෙන් සෑහෙන්න “කබාලි” ට සිද්ධ වුණා. මේක නිෂ්පාදනය කළේ වී ක්‍රියේෂන්ස් (V Creations) කියන සමාගම. මේක දමිළ චිත්‍රපටියක්.

 

7. සුල්තාන් (Sulthan)

 

වර්ෂය – 2016

වියදම –  ඉන්දියානු රුපියල් කෝටි 145

ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 584

අධ්‍යක්ෂණය – අලි අබ්බාස් සෆර්

රංගනය – සල්මන් ඛාන් / අනුෂ්ක ශර්මා

මල්ලවපොර ශුරයෙක් සහ ඔහුගෙ ප්‍රේමය ගැන කියවෙන අපූරු කතාවක් මේක. ඒ වෙනස් කම සහ සල්මන් ඛාන් ගේ ආකර්ෂණය නිසාම ආදායම් වාර්තා තබන්න හැකියාව “සුල්තාන්” ට ලැබුණා. හොඳම නළුවා, හොඳම නිළිය විදිහට “සී සිනෙ” සහ “ස්ටා ඩස්ට්” සම්මාන උළෙලවල් වලදී සම්මාන ලබන්න මේ සිනමා පටය සමත් වෙනව. මේක යාෂ් රාජ් (Yash Raj)  නිෂ්පාදන ලේබලය යටතෙයි එලියට ආවෙ. මේක හින්දි චිත්‍රපටියක්.

 

6. ධූම් 3 (Dhoom)

 

වර්ෂය – 2013

වියදම –  ඉන්දියානු රුපියල් කෝටි 173

ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 585

අධ්‍යක්ෂණය – විජේ ක්‍රිෂ්ණා ආචාර්යා

රංගනය – අමීර් ඛාන් / කත්‍රිනා කයිෆ් / අභිෂේක් බච්චන්

මේක ක්‍රියාදාම සපිරි චිත්‍රපටියක්. කුඩා කල අසාධාරණයට ලක්වූ පුද්ගලයෙක් ඒ අසාධාරණයට පලිගැනීම සඳහා සිදුකරන සොරකම් සහ ඒ වටා සිදුවන සිදුවීම් ඇතුලත් කර චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙනවා. හොඳම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, හොඳම ක්‍රියාදාම සඳහා සම්මාන බොහොමයක් දිනාගන්න ධූම් තුන සමත් වෙනවා. මේකත් යෂ් රාජ් (Yash Raj) හින්දි චිත්‍රපටියක්.

 

5. බජිරන්ගි භයිජාන් (Bajirangi Bhaijaan)

 

වර්ෂය – 2015

වියදම –  ඉන්දියානු රුපියල් කෝටි 90

ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 626

අධ්‍යක්ෂණය – කබීර් ඛාන්

රංගනය – සල්මන් ඛාන් / කරීනා කපූර් / හර්ශාලි මල්හෝත්‍රා (ළමා චරිතය)

ආගම පදනම් කොට මිනිසුන් ඈත් කිරීම නොකළ යුතු දෙයක් බව කියවෙන සුන්දර නිර්මාණයක් “බජිරන්ගි භයිජාන්”. මව පියා සොයාගත නොහැකිව දේශ සිමා අතර අතරමං වූ කුඩා ගොලු දැරියක් සිය මව පියා ලඟට රැගෙන යන ගමන ගැන මෙම කතාව දිවෙනවා. හොඳම කතාව, හොඳම පණිවුඩය, හොඳම නළුවා ඇතුළු සම්මාන බොහොමයක් සම්මාන උළෙලවල් කිහිපයකදීම දිනාගන්න මේ චිත්‍රපටිය සමත් වුණා. මේක සල්මන් ඛාන් සහ කබීර් ඛාන්  එකතු වී කළ නිෂ්පාදන කාර්යයක්. මේකත් හින්දි චිත්‍රපටියක්.

 

4. බාහුබලී – ද බිගිනින් (Bahubali -The Beginning)

 

වර්ෂය – 2016

වියදම –  ඉන්දියානු රුපියල් කෝටි 180

ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 650

අධ්‍යක්ෂණය –  එස් එස් රාජ්මවුලි

රංගනය – ප්‍රභාස් / අනුෂ්කා ශෙට්ටි / තමන්නා

මේක තමයි ඉන්දියානු සිනමාව උඩුයටිකුරු කළ චිත්‍රපටිය. Epic එහෙමත් නැත්නම් “මවාගත් ඉතිහාස කතා” ගණයට අයිති වෙන මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම රූපගත කළේ ස්ටුඩියෝවක් ඇතුලෙම වීම විශේෂත්වයක්. ඒ වගේම භාවිත වුණු තාක්ෂණික ප්‍රයෝග නිසාම ලැබුණු ආකර්ෂණීය බවින් උපරිම ප්‍රයෝජනය අරගෙන මේ චිත්‍රපටිය ආදායම් වාර්තා තබන්න සමත් වුණා. සම්මාන උළෙලවල් වලදි උපරිම ගෞරවය ලබමින් හොඳම චිත්‍රපටිය, හොඳම දෘශ්‍ය ප්‍රයෝග, හොඳම ක්‍රියාදාම , හොඳම නළුවා, හොඳම අනාගතවාදී චිත්‍රපටිය, හොඳම සංගීතය ආදී සම්මාන රැසකින් පිදුම් ලබන්න මෙය සමත් වුණා. අර්කා මීඩියා වර්ක්ස් (Arka Media Works) කියන ආයතනය තමයි මෙය නිෂ්පාදනය කළේ. මේක නම් දමිළ / තෙලිඟු චිත්‍රපටියක්.

 

3. පී කේ (PK)

 

වර්ෂය – 2014

වියදම –  ඉන්දියානු රුපියල් කෝටි 85

ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 690

අධ්‍යක්ෂණය – රාජ් කුමාර් හිරාණි

රංගනය –  අමීර් ඛාන් / අනුෂ්කා ශර්මා

හාස්‍ය දනවන චිත්‍රපටියක් වගේම මිනිසුන් ආගම් වලට වෙන්වී එකිනෙකාට සිදුකරගන්නා හතුරුකම් හාස්‍යයට ලක් කළ චිත්‍රපටියක්. ඉන්දියානු මිථ්‍යා මතවාද දැඩිව විවේචනය කළ චිත්‍රපටියක් කිවුවොත් වඩාත් නිවැරදියි. විදෙස් රටවල් තුල පවා බොහෝ පිරිසක් නැරඹු නිසාම ආදායම් වාර්තා කරා පහසුවෙන් ලං වෙන්න මේ චිත්‍රපටියට පුළුවන් කම ලැබුණ. හොඳම චිත්‍රපටිය, හොඳම දෙබස්, හොඳම තිර රචනය ඇතුළු ෆිල්ම් ෆෙයා සම්මාන කිහිපයක් දිනගන්නත් තවත් බොහෝ සම්මාන උළෙලවල් වලදී සම්මානයට පාත්‍ර වෙන්නත් “පී කේ” ට පුළුවන් වුණා. විදූ විනෝද් චොප්රා සහ රාජ් කුමාර් හිරාණි එකතු වෙලා තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කළේ. මේක හින්දි චිත්‍රපටියක්.

 

2. බාහුබලි 2 – ද කන්ක්ලූශන් (Bahubali 2 – The Conclusion)

 

වර්ෂය – 2017

වියදම –  ඉන්දියානු රුපියල් කෝටි 250

ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 1725

අධ්‍යක්ෂණය – එස් එස් රාජ්මවුලි

රංගනය – ප්‍රභාස් / අනුෂ්කා ශෙට්ටි / තමන්නා

2015 ඉදිරිපත් කළ බාහුබලි මුල් චිත්‍රපටියෙන් ලැබූ නොසිතු විරූ ආදායමත් එක්ක රාජ්මවුලි ඒ නළු නිලි කැලම එකතු කරගෙන එහි දෙවැන්න නිර්මාණය කරනවා. මෙයටත් ලැබෙන්නෙ උතුරා යන ප්‍රතිචාරයක්. පලවෙනි චිත්‍රපටියෙ කථාංගයටම අමුණපු කතාවකින් මේ දෙවැනි චිත්‍රපටය අන්තර්ගත වුණා. ඉන්දියානු සිනමාවේ දෙවනියට කෝටි දාහක ආදායමක් ලබපු චිත්‍රපටිය විදිහට මේක ඉතිහාස ගත වෙනවා. මේ චිත්‍රපටියට ලැබෙන සම්මාන ගැන බලන්න වෙන්නෙ නම් ලබන අවුරුද්දෙ. පළවෙනි චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටියත් නිෂ්පාදනය කරන්නෙ අර්කා මීඩියා වර්ක්ස් (Arka Media Works) කියන ආයතනය. මේක දමිළ / තෙලිඟු  චිත්‍රපටියක්.

 

1. දංගල් (Dangal )

 

වර්ෂය – 2015

වියදම –  ඉන්දියානු රුපියල් කෝටි 70

ආදායම – ඉන්දියානු රුපියල් කෝටි 1979 සහ තවමත් ගණනය වෙමින් පවතී

අධ්‍යක්ෂණය – නිතේෂ් තිවාරි

රංගනය – අමීර් ඛාන් / ෆාතිමා ශානා ෂයික් / සන්යා මල්හෝත්‍රා

මේක හඳුන්වන්න වෙන්නේ  මැජික් එකක් කියලා. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු කතාවක්. ඉන්දියානු හිටපු මල්ලවපොර ශුරයෙක් ඊළඟ පරම්පරාවට තම හැකියාව දීම වෙනුවෙන් තමන්ගේ දුවල දෙන්නට මල්ලවපොර ක්‍රීඩාව පුරුදු පුහුණු කරන හැටි සහ අවසානයේ මේ ක්‍රීඩිකාවන් දෙන්නා ලෝක මල්ලවපොර පිටිය පවා ජයගන්න හැටි ගැන කියවෙන අපූරු කතාවක් මේ චිත්‍රපටියෙන් අපිට කියනව. අපි දන්නා හඳුනන තරු චරිතෙකට කියලා මේ චිත්‍රපටියේ හිටියේ අමීර් ඛාන් විතරයි. දැනට මේ චිත්‍රපටිය උපයල තියෙන ආදායම ඉන්දීය රුපියල් කෝටි 1979 ක්. මේක මෙතනින් නවතින බවක් පේන්නෙත් නෑ. මොකද සිංගප්පූරුව, චීනය ආදී රටවල් රැසක ඉදිරියට මේක තිරගත වීමට නියමිතයි. ඉතින් ඒ ආදායමත් එකතු වුණාම මේක ස්ථිරවම ඉන්දීය සිනමාවේ පළමු කෝටි 2000 ආදායම් වාර්තාව තියාවි. හොඳම නළුවා, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු ෆිල්ම් ෆෙයා සම්මාන රැසක් දිනාගන්න “දංගල්” සමත් වුණා. මේක නිෂ්පාදනය කලේ අමීර් ඛාන් , යූ ටී වී (UTV)  සහ වෝල්ට් ඩිස්නි (Walt Disney)  කියන ආයතන එකතු වෙලා. මේකත් හින්දි චිත්‍රපටියක්.

ඔන්න ඔය විදිහට තමයි ඉන්දියානු සිනේමාවේ වැඩිම අදායම් ලබපු චිත්‍රපට දහය සනිටුහන් වෙන්නේ. ඉදිරි ලිපියකින් හොලිවුඩ් සිනෙමාවේ වැඩිම අදායම් ලබපු චිත්‍රපට දහයත් අරගෙන එන්නම්කෝ. ඔබේ දැනුමට යමක් එකතු වුණානම් යාලුවන්ටත් දැනගන්න SHARE කරන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – santabanta.com /indiatoday.com / imdb.com / google.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *